මෝටර් රථ ක්ෂේත්‍රයේ රැකියා ඕනෑතරම් | සිළුමිණ

මෝටර් රථ ක්ෂේත්‍රයේ රැකියා ඕනෑතරම්

කාර්මික අධ්‍යාපනයේ ඉතා ජනප්‍රිය පාඨමාලා අතර මෝටර්රථ අලුත් වැඩියාවට ඇත්තේ විශාල ඉල්ලුමකි. ජර්මන් කාර්මික ආයතනය - මොරටුව , ජපන් ටෙක් - ඔරුගොඩවත්ත ඒ සඳහා නම් දරා ඇති ආයතන වෙති. වෘත්තීය පුහුණු අධිකාරිය, කාර්මික විද්‍යාල, මෙන්ම පෞද්ගලික මෝටර් රථ අලුත්වැඩියා පුහුණු ආයතනද සිය ගණනක් ලංකාවේ ඇත. මේ ආයතන සියල්ලම එකම රාමුවක් ඔස්සේ පුහුණුව ලබා දේ. ඒ ජාතික නිපුණතා සහතිකයේ හතරවෙනි හෝ පස්වෙනි මට්ටමට (NVQ) අනුවය. සැහැල්ලු වාහන, බර වාහන මෙන්ම ඩීසල් සහ පෙට්ට්‍රල් ක්‍රියාකාරි මෙන්ම බැටරි බලය සහ සූර්ය ශක්තියෙන් ධාවනය වන වාහනද වර්තමානයේ වෙළෙඳපොලට පැමිණ ඇත. මේ සැම වාහනයක් සඳහාම සේවා සහ නඩත්තුව අවශ්‍ය වේ. සමහර විට අලුත් වැඩියාවන් මෙන්ම කොටස් මාරුව සහ විවිධ ධාවන දුෂ්කරතා සඳහා පිළියම් යෙදිය යුතු වන්නේය.

මෝටර් රථ අලුත්වැඩියා පුහුණු පාඨමාලාවෙන් පසු වාහන ඒජන්තවරුන්ගේ අලුත්වැඩියා සහ සේවා ස්ථාන වෙත හෝ තමන්ගේම ගරාජයක් ආරම්භ කිරීමට හැකියාවක් ලැබෙන්නේය. පුහුණුවන ශ්‍රමිකයින්ගෙන් 50% ප්‍රමාණයක් විදේශ‍ීය රටවල රැකියා සඳහා යති.

මෝටර් රථ අලුත්වැඩියා පුහුණු පාඨමාලාව විශාල වපසරියකින් යුක්තය. නිසි පුහුණුව සඳහා වසර තුනක් හෝ හතරක් පමණ කාලයක් අවශ්‍යමය. ඒ අනුව මෙකී පුහුණුව ක්ෂේත්‍ර කිහිපයක් වශයෙන්

වෙන් කර ඒ ඒ ක්ෂේත්‍ර වර්ගීකරණය කරමින් කාල රාමු අනුව වෙන් වෙන් පාඨමාලා ලෙස පවත්වයි. එන්ජින් අලුත්වැඩියාව, බැටරි අලුත්වැඩියාව, ඩීසල් පොම්ප අලුත්වැඩියාව, විද්යුත් පද්ධති අලුත්වැඩියාව, බොඩි ටිංකරින් සහ පින්තාරු කිරිම, ඉන්ජෙක්ටර් අලුත්වැඩියාව ඇතුලු බොහෝ ක්ෂේත්‍ර මෙයට අදාළ වේ. මේ සෑම ක්ෂේත්‍රයක්ම (NVQ) සම්මතයට හා හතරවෙනි හෝ පස්වෙනි මට්ටමට සකසා තිබේ.

නාරහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ පවත්වාගෙන යනු ලබන මෝටර් රථ කාර්මික පාඨමාලාව පිළිබඳව අපි විමසිළිවත් වූයෙමු. එම පුහුණු මධ්‍යස්ථානයේ අංගසම්පුර්ණ වැඩපොලක් පවත්වාගෙන යයි.

සියලුම පුහුණු උපකරණ විදේශාධාර ලෙස ලැබී තිබේ. මෝටර් රථ සඳහා වන සියලුම කොටස් ආම්පන්න මෙන්ම පරික්ෂා කිරීමේ මෙවලම් සහ යන්ත්‍රසූත්‍රවලින් පරිපුර්ණය. වසරකට දෙවරක් ආධුනික සිසුන්

බඳවා ගන්නා අතර ජාතික නිපුණතා සහතිකයේ හතරවෙනි මට්ටම දක්වා පුහුණුව ලබා දී ඇගැයීමකට ලක් කර රැකියා අවස්ථා පවා ලබා දීමට කටයුතු කෙරේ. දේශීය මෙන්ම විදේශීය වශයෙනි. විදෙස් රැකියා

ඒජන්තවරු මේ වෘත්තියෙන් නිපුණතා ලබන්නන් ගැන සිටින්නේ මහත් විමසිල්ලෙනි. පාඨමාලාව අවසන් වූ සැණින් ඔවුන් වෙත විදේශ රැකියා සඳහා අවස්ථාවන් ලබා දෙන්නේ මාසික වැටුප රුපියල් ලක්ෂයද ඉක්මවමිනි.

නාරහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු නිලධාරි බස්නායක මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

"පුවත්පත් දැන්වීම් මගින් මේ ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන ආධුනිකයන් තෝරාගනු ලබනවා. වර්තමානයේ පවතින තාක්ෂණික දියුණුව මත Hybride, Battery Operated, Auto Brake, electronic control, Auto Electrical, Diesel & petrol Engine සහ තවත් උපාංග සම්බන්ධව පුහුණු කිරීම් සිදු කරනවා. වර්තමානයේ විවිධ අංගයන්ටම සුවිශේෂ වු නිපුණතා ලබා ගැනීමට හැකියාව ලැබීම් තුලින් රැකියා අවස්ථා මෙන්ම නිපුණතා අවස්ථාවන් අනුව විශාල මුදල් ඉපැයීමක් සිදු කරන්න පුළුවනි. වත්මන් ගමනාගමනය වෙනුවෙන් ලොවෙහි ඕනෑම රටක නිපැදෙන වාහනයක් වෙනුවෙන් පවතින තාක්ෂණය හා එහි වෙනස්කම් අන්තර්ජාල විද්‍යාගාරයේදී දැනුවත් කිරිමට හැකියාව ලැබීම ආධුනිකයාට ලැබෙන සුවිශේෂ අවස්ථාවක්. රාජ්‍ය ආයතනයක් ලෙස සිදුකෙරෙන මේ පුහුණු කිරීම්වල පවතින විශ්වාසය ජාත්‍යන්තරව පිළිගැනීමකට ලක්වීම මහත් භාග්‍යයක්.

අනිල් ලසත් පෙරේරා

Comments