
දුරකතනය යන වචනයේ අර්ථය 'දුර සිටින අයෙක්ට කතා කිරීම' වන නමුත් ස්මාර්ට් දුරකතන පැමිණීමත් සමඟ එහි නම ‘ෆේස්බුක්-බලනය’ තරම් වෙනස් වන තරමට සමාජ ජාල වෙබ් සේවාවන්හි ආධිපත්‍යය පැතිරුණා. සෝෂල් මීඩියා හරහා මෙතෙක් කල් ලොවට ඇතිව තිබූ එකම ගැටලුව වූයේ ඒවායේ සිටින අයගෙන් ඇතිවූ බලපෑම් හරහායි. ඡායාරූප අවභාවිතය, බ්ලැක්මේල් කිරීම්, පෞද්ගලික තොරතුරු අනවශ්‍ය අය දැන ගැනීම, වාචික හිංසනය මේ අතර වුණා. නමුත් සමාජයේ ජීවත්වීමට උගැන්ම ම සෝෂල් මීඩියාවල කටයුතු කිරීමට සමානකර දක්වමින් එයට විසඳුම් දෙන්නට සහ සාමාන්‍යකරණය කරලන්නට හැකියාව තිබුණත් දැන් ඇතිව තිබෙන ගැටලුව නම්, සමාජ ජාල සේවා සපයන්නන් විශ්වාස කිරීමට නොහැකි තත්ත්වයක් ද ඇතිව තිබීමයි.
පසුගියදා ෆේස්බුක් සමාගමේ පරිශීලකයන් මිලියන 50කගේ පමණ දත්ත පිටට ගිය බව අනාවරණය වීමත් සමඟ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට උසාවියේ උත්තර බඳින්නට සිදුවුණා. ෆේස්බුක්හි තිබූ ඇප් එකකින් එය පාවිච්චි කළ අයගේ මෙන්ම ඔවුන්ගේ මිතුරන්ගේ සියලු දත්ත මීට වසර ගණනාවකට පෙර ලබාගෙන තිබූ අතර එම හිමිකරුවා විසින් කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමට එම දත්ත ලබාදී තිබුණා. ඒවා භාවිතයෙන් ට්‍රම්ප් බලයට ගෙන ඒමට ඡන්ද ව්‍යාපාර දියත් කෙරුණේ එරට එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඩොලර් 0.75ක් (රුපියල් 120ක් පමණ) වැයකරමින්. එම ඇප්එකට තිබූ කාලයට පසුව ෆේස්බුක් විසින් ආරක්ෂණ පියවර ලබාගෙන තිබුණත් ඒ වන විටත් ඔවුන් පමා වැඩියි. කොහොම නමුත් කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමට එල්ලවූ චෝදනා හේතුවෙන් එහි සේවක පිරිස ඉවත්ව ගිය අතර ඒ සමඟ බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති එම සමාගම වසා දැමුණා. නමුත් ඊට දින කිහිපයකට පසු ‘එමර්ඩේටා ලිමිටඩ්’ නමින් නව ආයතනයක් බ්‍රිතාන්‍යයේ සක්‍රීය ව්‍යාපාර ලැයිස්තුවේ ලියාපදිංචි වුණා. එහි ලිපිනයන් සියල්ලම කේම්බ්‍රිජ් ඇනලිටිකාහි තිබූ ඒවා මෙන්ම කළමනාකාරීත්වය සහ ආයෝජක ලැයිස්තුවේ දකින්නට ලැබුණේ සමාන, නම් ලයිස්තුවක්. මේ කලබැගෑනිත් සමඟ අපි නිතර පාවිච්චි කරන සේවාවන් විසින් අපේ දත්ත කෙතරම් ප්‍රමාණයන් ඔවුන් තබාගන්නවාද යන්න පිළිබඳව ලෝකයේ දෑස් විවර වුණා.
වානිජ ලෝකය තුළ නොමිලේ සේවාවක් සපයද්දී එම සේවය ලබන්නා නිතැතින්ම විකුණුම් භාණ්ඩය බවට පත් වෙනවා. ගූග්ල් සමාගම තම දුරකතන මෙහෙයුම් පද්ධතිය වන ඇන්ඩ්‍රොයිඩ් නොමිලේ ලබා දෙද්දි, ජීමේල් සහ ගූග්ල් ඩ්‍රයිව් හරහා එක් අයෙකුට ගිගාබයිට් 15ක් තරම් විශාල ධාරිතාවක් නොමිලේම ලබා දෙමින් ඒවා භාවිතයට අපිව නතු කරගන්නවා. ෆේස්බුක් විසින් ඉඩ සීමා පණවන්නේත් නැතිවම අපේ සියලුම ඡායාරූප ඊට උඩුගත කරන්නට ඇරයුම් කරනවා. අපේ චැට් කිරීම් වෙනුවෙන් ඔවුන්ගේ සර්වර් පැය විසි හතරම සක්‍රීයව තබා ගනිමින් අඛණ්ඩ සේවාවක් සපයා දෙනවා. සාමාන්‍ය වෙබ් අඩවියක් පවත්වා ගැනීමේදීත් වාර්ෂික මුදලක් ගෙවීමට සිදු වනවා. එනමුත් ගූග්ල්, ෆේස්බුක් හරහා ඕනෑම කෙනෙක්ට තමන්ගේ ගොනු සහ පෞද්ගලික අවශ්‍යතාවයන් කරගන්නට ඉඩදී තිබෙන්නේ ඔවුන් සතුව සේවය කරන දහස් ගණන්වූ ක්‍රමලේඛකයන්ට, මෘදුකාංග ඉංජිනේරුවරුන්ට, අනෙකුත් කාර්යාල තානාන්තරයන් ද පවත්වා ගනිමින්. ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ගේ ප්‍රධාන රැකියාව ෆේස්බුක් නම්, ඔහු මේ සියල්ලටත් ගෙවා අපිට නොමිලේ සේවාවක් සපයන්නේ අනාගතයේ බුදුවන්නට දාන පාරමිතා පුරන්නට ද? එසේනම් ඔහු ලොව වැඩිම ධනවතුන් 10 දෙනා අතර ඉන්නේ කොහොම ද? මෙයට සරල පිළිතුර අපේ පෞද්ගලික දත්ත ඔවුන්ගේ බඩ වියත රැකදෙන මාර්ගය වීමයි.
ගූග්ල්වලටත් වඩා ෆේස්බුක් විසින් අපේ අවශ්‍යතාවන්, වැඩිපුර කැමති දේවල්, ඡායාරූපවල පෙනී සිටින්නේ කවුරුන් සමඟද, දුරකතනයේ වර්ගය, සම්බන්ධවී සිටින දුරකතන ජාලයේ තොරතුරු ආදී තොරතුරු විශාල ප්‍රමාණයක් රැස් කරගන්නවා. මේවා ඔවුන් සතුව තිබෙන විට අපට වඩාත්ම සුදුසු වෙළෙඳ දැන්වීම් පෙන්වීමට හැකි ආකාරයේ පසුබිමක් ඔවුන්ට ලැබෙන අතර ඒ බව පෙන්වාදී වෙළෙඳ දැන්වීම් පළකරන්නන්ගෙන් වැඩිපුර ආදායම් ලබාගන්නට ඔවුන්ට හැකි වෙනවා. රූපවාහිනියේ බීම බෝතලයක් ගැන දැන්වීමක් ප්‍රචාරය කරද්දී එය දියවැඩියාව සහිත-රහිත බව, බීම පානයට ආසා කරන-නැති බව, රසට ආසා ඇති-නැති ආදී ලෙස වූ අනවශ්‍ය පිරිසක් වෙත ද එම දැන්වීම ළඟාවෙනවා. එවිට එම දැන්වීම වෙනුවෙන් වැය කරන මුදලින් ඉතාම සුලු ප්‍රමාණයක් පමණයි ආයෝජනයක් බවට පත්වෙන්නේ. නමුත් ෆේස්බුක් මත දැන්වීමක් පළ කරද්දී පුද්ගල ආසාවන් පදනම් කරගෙන, වයස් මට්ටම් අනුව, ස්ත්‍රී පුරුෂ බව අනුව එම දැන්වීම දැකිය යුතු සමාජ කණ්ඩායම් පෙරහන් කරලිය හැකියි. එවිට දැන්වීම වෙනුවෙන් වැය කරන මුදලින් ඉහළ ප්‍රතිශත ප්‍රමාණයක සාර්ථකත්වයක් ලැබෙනවා.
ෆේස්බුක් ආයතනය කේම්බ්‍රික් ඇනලිටිකා සිද්ධියේදී වරද්දාගත් තැන නම්, ඔවුන්ගේ ෆේස්බුක් ක්‍රීඩාවලට ලබාදී තිබූ දත්ත රැස් කරගැනීමේ නිදහසයි. ඔවුන්ට තනිව ලබා ගැනීමට හැකිව තිබූ වාසිය ඔවුන්ගේ නොසැලකිලිමත්කම නිසා තෙවන පාර්ශ්වයක් වෙත ද ගමන් කළා. නමුත් මේ පැනය ඇතිවන්නටත් පෙර සිටම ඔවුන් එම සියලු මාර්ග අවුරා තිබුණා. මෙවන් තවත් නොසැලකිලිමත් තැන් අනාගතයේදී දැනගන්නට ලැබුණොත් සහ මීටත් වඩා විනාශයක් ඒ හරහා සිදුවී තිබුණහොත් පෞද්ගලික දත්තවලට සහ ඒවායේ හිමිකරුවන්ට සිදුවන අසාධාරණය ගැන අමුතුවෙන් කිව යුතු නැත. තනි පුද්ගලයකුට ඉන් විශාල බලපෑමක් සිදුවිය නොහැකි නමුත්, රටක් - ජාතියක් හෝ ව්‍යාපාරයක් වශයෙන් ඊට අයත් තොරතුරු අනවශ්‍ය පාර්ශ්වයකට ලැබීමෙන් සිදුවිය හැකි විනාශය මෙතෙකැයි කියන්නට බැහැ.
උපාධිවලින් සහ දක්ෂතාවලින් අගතැන්පත් මෘදුකාංග ඉංජිනේරුවන් සිටින සමාගම්වලත් මෙවන් සිදුවීම් සිදුවන බව ඔප්පුවන තවත් කරුණක් වූයේ ට්විටර් සමාගම විසින් ආකේතනය නොකොට පරිශීලක මුරපද ගබඩා කරගෙන ඇති බව ඔවුන් විසින්ම සොයාගැනීමෙනුයි. වාසනාවකට ඔවුන් එය වෙනත් පාර්ශ්වයකට යන්නට පෙර පිළිසකර කොට, මකා දැමූ බවත් වැඩි ආරක්ෂාව වෙනුවෙන් ට්විටර් භාවිත කරන පුද්ගලයන් මිලියන 300කගෙන් මුරපද වෙනස් කරන ලෙසත් ඉල්ලා සිටියා. මෙවන් අත්වැරදීමක් සොයාගනිද්දී ඉන් සිදුවිය හැකි අලාබහානිය හරහා ඊට වන්දි ගෙවන්නට පරිශීලකයන්ට තම ජීවිත පවා පුද දෙන්නට නොහැකි වෙතැයි කාට නම් කිව හැකි ද? ඒ නිසා, හැමදේම ෆේස්බුක් දාන්නට පෙර බිත්තිවලටත් කන් තිබෙනවා යැයි පැරැන්නන් කියූ කීම හිස රඳවා දුරකතනය අතේ දුරින් තබාගෙන, දුර සිටින අයට කතා කිරීමයි නුවණට හුරු.
තඹරු විජේසේකර