
හදවත් බද්ධය ගැන මෙරට ජනයා පසුගිය කාලයේදී බොහෝ සෙයින් කතාබහ කළහ. ඒ, මෙරට වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් හදවත් බද්ධ කිරීම ආරම්භවීමත් සමඟයි. මෙරට පළමු හදවත් බද්ධය මෑතකදී සිදු කෙරුණද පසුගිය වසර පනහ පුරාම හදවත් බද්ධ කිරීම් ලෝකයේ විවිධ රටවල සිදු කෙරුණු බව අප ඔබට සිහිපත් කළ යුතුය. එමෙන්ම එකී කාලපරිච්ඡේදය තුළ හදවත් බද්ධ කිරීමේ තාක්ෂණය අඛණ්ඩව වැඩි දියුණු වූ බවද සැබෑවකි. එසේ වුවද අදින් වසර පනහකට පළමුව හදවතක් බද්ධ කරන අවස්ථාවේදී පැන නැඟුණ ගැටලුවලින් ඇතැම් ඒවා අද මේ වනතුරුත් විසඳි නැත. එදා මෙන්ම අදටත් හදවත් බද්ධය අභියෝගාත්මක බව ද අප අමතක නොකළ යුතුව තිබේ.
පළමු හදවත් බද්ධය සිදුකෙරුණේ 1967 වසරේ දෙසැම්බර් මස 3වැනිදාය. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි ගෘට් ශූර් රෝහලේදී එම සැත්කම සිදු කෙරුණේ දකුණු අප්‍රිකා ජාතික හෘද ශල්‍ය වෛද්‍ය ක්‍රිස්ටියන් බර්නාඩ්ගේ මූලිකත්වයෙනි. දකුණු අප්‍රිකා ජාතිකයකු වූ පනස් තුන් හැවිරිදි ලුයිස් වෂ්කන්ස්කී පළමු හදවත් බද්ධයට මුහුණ දුන් රෝගියා විය. බද්ධයට අවශ්‍ය හදවත ලබාගත්තේ ඩෙනිසේ ඩාර්වල් නම් විසි පස් හැවිරිදි තරුණියකගෙනි. ඩෙනිසේත් මවත් පාර හරහා ගමන් කිරීමේදී බීමත් රියදුරකුගේ නොසැලකිලිමත්කම නිසා අනතුරකට ලක් වූහ. ඩෙනිසේගේ මව එතැනම ජීවිතක්ෂයට පත්වූවාය. ඩෙනිසේගේ හිස බරපතල ලෙස තුවාල වී තිබුණේය. ඇයව ගෘට් ශූර් රෝහලට රැගෙන එන ලදී. නමුත් ඒ වනවිට ඇගේ මොළය මුළුමනින්ම අක්‍රිය තත්ත්වයේ පවැතිණ. ඇගේ දේහය අවයව බද්ධයන් සඳහා ලබාදෙන්නට පියා කැමති වූයෙන් ලුයිස් වෂ්කන්ස්කීට හදවත බද්ධ කිරීමේ ශල්‍යකර්මයට මුහුණ දෙන්නට හැකි විය.
පළමු හදවත් බද්ධය විශේෂඥ වෛද්‍යවරුන් තිස් දෙනෙකුගේත් නිර්විදන වෛද්‍යවරුන් කණ්ඩායමකගේත් ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු බව සඳහන් වේ. සැත්කමක් ලෙස ගත් කළ පළමු හදවත් බද්ධය සාර්ථක මට්ටමක පැවැතිණ. සැත්කමෙන් පසු පළමු වරට කතාකරමින් ලුයිස් වෂ්කන්ස්කී කියා සිටියේ “මම තවමත් ජීවතුන් අතර” කියායි. ඔහු සිය බිරිය සමඟ පමණක් නොව මාධ්‍යවේදීන් සමඟත් අනතුරුව කතා කළේය. එසේ වුවද ලුයිස් වෂ්කන්ස්කීට සැත්කමෙන් දින දහ අටකට වඩා ජීවත්වන්නට නොහැකි විය. ප්‍රතිශක්තිකරණය දුර්වල මට්ටමක පැවැති බැවින් ඔහු නියුමෝනියා රෝගයේ ගොදුරක් බවට පත් විය. එනිසා ඇතිවුණු සංකූලතාවලින් ලුයිස් වෂ්කන්ස්කී ජීවිතක්ෂයට පත්විණ.
ලුයිස් වෂ්කන්ස්කීට කෙරුණු මේ හදවත් බද්ධය මානව ඉතිහාසයේ සිදුවුණු පළමු අවයව බද්ධය නොවේ. 1954 වසර වනවිටත් වකුගඩු බද්ධය ආරම්භ වී තිබිණ. එපමණක් නොව අග්න්‍යාශ බද්ධ කිරීම 1966 වසරේදීත් අක්මා බද්ධය 1967 වසරේදීත් අත්හදා බලා වෛද්‍යවරුන් අත අත්දැකීම් පැවැතියේය. හෘදයක් හාපුරා කියා බද්ධ කරන්නට උත්සාහ කෙරුණේත් 1967 වසරේ නොවන බව අප අමතක නොකළ යුතු කාරණයකි. මානව අවයව බද්ධ ඉතිහාසයේ සටහන් වන අන්දමට 1905 වසරේදී මිනිසකුට හෘදයක් බද්ධ කරන්නට වෛද්‍යවරුන් උත්සාහ ගෙන ඇත. නමුත් ඒ උත්සාහය ව්‍යර්ථ වී ගොස් තිබේ. හෘද ශල්‍ය වෛද්‍ය ක්‍රිස්ටියන් බර්නාඩ් හදවත් බද්ධයක් කිරීමට පෙලඹෙන්නේ මේ අත්දැකීම් පරිමාවත් සමඟයි. එනිසා වෛද්‍ය ක්‍රිස්ටියන් බර්නාඩ් ලබාදුන් ආරම්භයත් සමඟ ලොව පුරා රෝහල් තුළ හදවත් බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීමට හොඳ පසුබිමක් නිර්මාණය විය. එය වඩාත් තහවුරු වන්නේ 1968 වනවිට ලෝකයේ විවිධ ස්ථානවල හදවත් බද්ධයන් 100කට වඩා වැඩි සංඛ්‍යාවක් සිදුව ඇති බව වාර්තා වීමෙනි. එසේ වුවද මාස තුනකට වඩා වැඩි කාලයක් ජීවත්වීමට වාසනාව ලද්දේ හදවත් බද්ධයන්ට ලක්වුණු ඒ රෝගීන්ගෙන් තුනෙන් එකකට පමණි.
හදවත් බද්ධයන් සිදු කිරීමට මුල් කාලයේදී විශාල බාධාවක් වී තිබුණේ ආචාර ධර්ම ආශ්‍රය කරගත් ගැටලුය. ඒ අතර වඩාත් කැපී පෙනුණේ හදවත ක්‍රියාත්මක, එහෙත් මොළය අක්‍රිය තත්ත්වයට පත් කෙනෙකුගේ හදවත ලබා ගන්නේ කෙසේද යන්නයි. හදවත ක්‍රියාත්මක තත්ත්වයේ පවතින විට එම පුද්ගලයා මිය ගියේ යැයි කියා නිශ්චය කරන්නේ කෙසේද යන තර්කය බොහෝ දෙනෙක් නැඟූහ. අනෙක් අතට, එවැනි පුද්ගලයකුගෙන් හැර මුළුමනින්ම මියගිය කෙනෙකුගේ හදවත, බද්ධයක් පිණිස යොදාගන්නට කෙසේවත් පුළුවන්කමක් නැත. මොළය මුළුමනින්ම අක්‍රිය තත්ත්වයට පත් කෙනෙකුත් මියගිය කෙනෙකුය යන නිර්වචනය ගොඩනඟන්නට සහ එය හඳුවන්වා දෙන්නට වෛද්‍යවරුන්ට සිදුවිය. ඒ සඳහා පෙරමුණ ගත්තේ එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය විද්‍යාලයන් බව වාර්තාවල සඳහන් වේ. නව තත්ත්වයත් සමඟ හදවත් බද්ධයන් ඉක්මන් කෙරිණ. එමෙන්ම මතභේදාත්මක පරිසරයන් ඇතිවීම අවම විය.
එසේ වුවත් බද්ධයන් සඳහා හදවත් දානය කරන්නන් සීමා සහිත බව අප අවබෝධ කර ගතයුතුව ඇත. ඒ බව පෙන්වා දෙමින් යුරෝපා සංගමය පසුගිය දා වාර්තාවක් පළකර තිබිණ. මේ වාර්තාවේ දැක්වෙන අන්දමට යුරෝපා සංගමයට අයත් රටවල පුද්ගලයෝ 63,000කට අධික පිරිසක් අවයව බද්ධයන් සඳහා 2013 වසරේ පොරොත්තු ලේඛනවල රැඳී සිටියහ. මෙයින් පුද්ගලයන් 3450ක්ම හදවත් සැත්කම්වලට භාජනය වීම සඳහා හදවත් බලාපොරොත්තුවෙන් සිටි අයයි. මෙයින් පෙනී යන්නේ හදවත් සැත්කම් සඳහා අවශ්‍ය හදවත් ලබාගැනීම කෙතරම් දුෂ්කරද යන්නයි. මෙය හදවත් සැත්කම් ආරම්භ කෙරුණු දා සිටම පවත්නා ගැටලුවකි. අදටත් එයට විසඳුමක් නැත. මේ තත්ත්වයට පිළිතුරක් සෙවිය හැකි වන්නේ කෘත්‍රිම හදවත් වර්ධනය කර ඒවා මනුෂ්‍යය ශරීරයට ඇතුළු කර අත්හදා බැලීමෙනි. කෘත්‍රිම හදවතක් සැකසීම පිළිබඳ පර්යේෂණ විද්වතුන්ගේ මූලිකත්වයෙන් මේ වනවිටත් සිදු කෙරේ. ඒ නිසා කෘත්‍රිම හදවත් මිනිසාට සවිකිරීම සාර්ථකව ආරම්භ කරන්නට තවත් කාලයක් ගතවනු ඇති බවට සැකයක් නැත.
බද්ධ කෙරුණු හදවත දේහයෙන් ප්‍රතික්ෂේප වීම වළක්වාගැනීම සඳහා 1983 වසරේදී සයික්ලොස්පොරීන් නැමැති ඖෂධය හඳුන්වා දෙන ලදී. මේ ඖෂධය, හදවත් බද්ධයේ විප්ලවීය වෙනසක් ඇති කරනු ඇති බව විද්‍යාඥයෝ පළමුව විශ්වාස කළහ. එසේ වුවත් සයික්ලොස්පොරීන් නිසා තවත් භයානක ගැටලු රාශියක් ඇතිවන බව කල් යත්ම විද්‍යාඥයන්ට අවබෝධ විය. ඒ අතර ප්‍රධාන වන්නේ ආසාදන සහ පිළිකාවලට ගොදුරුවීමට ඇති සම්භාවිතාව ඉහළ යෑමයි. එවැනි භයානක තත්ත්වයක් මතුව තිබුණද හදවත, එය බද්ධ කෙරුණු සිරුරෙන් ප්‍රතික්ෂේප වීම වලක්වා ගැනීම සඳහා රෝගියා ජීවිත කාලය තුළම යටකී අන්දමේ ඖෂධයක් ලබාගත යුතුව ඇත. බද්ධ කෙරෙන හදවත දේහයෙන් ප්‍රතික්ෂේප වීම වලකාලන්නට දෙනු ලබන ඖෂධ නිසා ඇතිවන අතුරු ආබාධ මඟ හැර ගන්නට තවමත් හරියාකාර විකල්ප නැත.
හදවත බද්ධ කර ගැනීමේ අවශ්‍යතාවයෙන් පසුවන බොහෝ දෙනෙකුට ඒ සඳහා පිවිසීම විවිධ කාරණා නිසා දුෂ්කර වී ඇත. ඒ අතර ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ හදවත් බද්ධයන් සිදු කරන මධ්‍යස්ථානවල සහ හදවත් බද්ධයන් කළ හැකි වෛද්‍ය කාර්යය මණ්ඩලවල හිඟකමය. ඇමෙරිකා එක්සත් ජනපදය සෑම පුද්ගලයන් 120,000කටම එකක් වශයෙන් හෘදය පිළිබඳ ප්‍රතිකාර ලබාදෙන මධ්‍යස්ථාන ස්ථාපනය කර ඇත. මේ නිසා හදවත් බද්ධයෙන් අද මුල් තැන සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. නමුත් මොසැම්බික් නමැති අප්‍රිකා රාජ්‍යයයේ මිලියන 27ක ජනකායකට ප්‍රතිකාර ගන්නට හදවත් ප්‍රතිකාර ඒකක තිබෙන්නේ දෙකක් පමණි. මෙය, සංවර්ධනය වෙමින් පවත්නා රටවල් රාශියකම දැකිය හැකි සුලභ තත්ත්වයකි. මේ නිසා හදවත බද්ධ කිරීම පමණක් නොව නොයෙක් අන්දමේ හදවත් සැත්කම්වලට භාජනය විය යුතු මිලියන ගණනක් ජනතාව හරිහැටි ප්‍රතිකාරයක් නොමැතිකමෙන් පීඩා විඳින බව රහසක් නොවේ. මේ තත්ත්වය නැති කිරීමට නම් ඒ ඒ රටවල රජයන්, රාජ්‍ය නොවන සංවිධාන, අධ්‍යාපන ආයතන, ප්‍රතිපත්ති සකසන්නන්, ව්‍යාපාරිකයන් සහ සෞඛ්‍ය සේවකයන් එකට එක්ව සහයෝගයෙන් වැඩ කළ යුතුව ඇති බව විද්වත්හු පෙන්වා දෙති.
බ්‍රිතාන්‍යය හදවත් පදනම පළ කරන “heart matters” (හාර්ට් මැටර්ස්) සඟරාව ඇසුරෙනි
මංජුලා විජයරත්න