ටික ටික ගලවා අපිව ආපිට අන්දන ෆැෂන් | Page 2 | සිළුමිණ

ටික ටික ගලවා අපිව ආපිට අන්දන ෆැෂන්

 අද කාලය වන විට බැලු බැලූ අත විවිධ වර්ගයේ ඇඳුම් ආයිත්තම් දකින්නට ලැබෙනවා. පත්තර, ටීවී, අන්තර්ජාලය ආදී කොයි අත බැලුවත් ගස් වලට හේත්තු වෙලා, බිම දිගාවෙලා, කකුල් උස්සගෙන, එකිනෙකාගේ මූණු බලාගෙන කරේ නැගලා ඉන්න ගැහැනු සහ පිරිමින්ගෙන් අඩුවක් නැහැ. එසේ පවතින කාලයක සෑම වයස් කාණ්ඩයකටම අයත් බොහෝ දෙනා ෆැෂන් ගැන උනන්දු වීම පුදුමයක් නොවෙයි. පාසල් යන දරුවාගේ සිට වළ පයයි - ගොඩ පයයි තියෙන ආච්චිලා සීයලා පවා අද කාලයේ රෙදි කඩයකට ගියාම ටිකක් වෙලාව අරගෙන කාලයේ හැටියට ගැලපෙන්න ඇඳුමක් තෝරගන්න පසුබට වෙන්නේ නැහැ. මොකද මේ වන විට සෑම වයසකටම ගැලපෙන විලාසිතාවන්ගෙන් යුත් ඇඳුම් මෙන්ම විලාසිතා කරන්නට වයස බාධවක් නොමැති බවට නිදහස් මතවාදයක් නූතන ටෙලිනාට්‍ය සහ මාධ්‍ය හරහා සමාජගතව තිබෙනවා. එසේම තමන්ගේ එකල සිත්ගත් නළු නිළියන් දැන් වයසට ගියත් තවමත් වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටිමින් රූ සපුව රැකගන්නට සහ බාහිර පෙනුම පවත්වා ගන්නට විවිධ දේවල්කරන බව දුටුවාම “එයාලාට හොඳ නම් ඇයි අපිට බැරි?” කියලා ආච්චිට සීයාට වුණත් හිතෙනවා. සමාජ ක්‍රමය එලෙස වූවත් විලාසිතාවලට එන ඇනුම් බැණුම්වලත් අඩුවක් නම් නැහැ.

මූලික අවශ්‍යතාවයක් ලෙස විලි වසා ගැනීම එක්වුණේ මිනිසා ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගෙවීම ආරම්භ කළ අවධියේ සිටයි. මුල් කාලයේදී කොළ අතු, සතුන්ගේ අං ආදිය භාවිතයෙන් ප්‍රජනේන්ද්‍රීන් වසා ගැනීම සිදු කෙරුණු අතර සීගිරි යුගය වන විටත් කාන්තාවන් උඩු කය වැසීම එතරම් අත්‍යාවශ්‍ය දෙයක් කොට සැලකුවේ නැහැ. පිරිමි පවා උඩුකය නිරුවත්ව සිටීම මහා ග්‍රාම්‍ය දෙයකැයි සමාජ ගතවන්නට පටන් ගත්තේ ලන්දේසි, ඉංග්‍රීසි මහත්වරු, නෝනලා, කලිසම්, බොස්තොරොක්ක ආදිය හැඳ ක්‍රමවත් බවක්, ශිෂ්ඨවත් බවක් ආරූඪ කර දීමෙන් අනතුරුවයි. ඉපැරණි කතා චිත්‍රපටයට, රූපවාහිනියට නගද්දීත් ඒ කතුන්ට හැට්ට අන්දන්නට සිදුවූයේ අතීතය එලෙසින්ම පෙන්වන්නටම නොව රැඟුම් පාලක මණ්ඩලයේ ශිෂ්ටත්වය කතාවලට කැවීමට ය. රොඩී වැනි අඩු කුලවල කාන්තාවන් ඉහළ පැළැන්තිය ඉදිරියේ නිරුවතින් සිටීමද පිළිකුලක් ලෙසද හඳුන්වනු ලැබූ නමුත් අතීතයේ ඇඳුම් යනු හුදෙක් සරාගී අයිතමයක් නොව, අවස්ථානුකූලව ශරීර අවයව ආරක්ෂා කර ගැනීමේ හා පිළිකුල, මුහුණ දීමට බැරි අවස්ථා වළක්වා ගන්නට භාවිත කරන ලද දෙයක් පමණයි. හැබැයි වර්තමානයේ නම්, බඩේ බත් ඇටයක් නැතත් සළු පිළියෙන් ගැවසී ගන්නට අපි හැම කෙනෙක්ම කැමතියි.

අතීතයට වඩා ඇත්තෙන්ම අද සමාජ ක්‍රමය බොහොම වෙනස්. ඉස්සර රත්රන් පලඳින්නට, සිතූ සිතූ සළුපිළි ඇඟලා ගන්නට අවස්ථාව තිබුණේ රජ කුමරියන්ට පමණක් වුවත් අද අම්මා දුන් ටියුෂන් පන්තියේ සල්ලි ටික, පෙම්වතා සමග රවුම් ගහලා ඉතුරු කරගෙන ඒවායෙන් ලස්සන ගවුමක්, සායක්, සපත්තු කූට්ටමක් ගන්නට නගරයේ විතරක් නෙවෙයි ගමේ තරුණියන්ටත් අවස්ථාව ලැබිලා.

නූතන විලාසිතාව කියන්නේ සරලවම කිව්වොත් ව්‍යාපාරයක්. එය සාමාන්‍ය භාණ්ඩ විකිණිමෙන් ඔබ්බට ගිය, හැඟීම් සහ ඊර්ෂ්‍යාව පෙරටු කරගත් ව්‍යාපාර ක්‍රමවේදයක්. තමන්ගේ යාළුවාට, අසල්වැසියාට වඩා හොඳ ඇඳුමක් තමා ඇඳිය යුතුය, මට තිබෙන ඒවා ඔවුනට නොතිබිය යුතුය ආදී වශයෙන් ආත්මාර්ථකාමී ආකල්ප තරුණ සිත්වලට කා වැද්දීම සහ නැවත නැවත ඒවා උද්දීපනය කිරීම හරහා තමන්ගේ මඩිය තර කර ගැනීම විලාසිතා වෙළෙඳපොල තුළ සිදුවෙනවා. මෙහි අතුරුඵලයක් විධියට තමයි පෙම්වතුන්ට තමන්ගේ පෙම්වතිය මුළු නගරයේම කඩවල්වලට තමාවත් ඇදගෙන පිළිවෙලින් ගොස් මුලින් තෝරා හොඳ නැතැයි කී ඇඳුම ම නැවතත් ගොස් මිලදී ගන්නා හැටි අත්විඳින්නට සිදු වන්නේ. මේ ව්‍යාපාරය ඇඳුම් සහ ආභරණවලට ම සීමාවී නැහැ. දැන් එයින් අතුරු ප්‍රයෝජන ලබාගන්නට රූපලාවණ්‍ය ශිල්පීන්ට, ඡායාරූප ශිල්පීන්ට මෙන්ම ගොසිප් වෙබ් අඩවිවලට ද අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අනුව බැලූ කල විලාසිතාව අද වන විට රැකියා මවන කලාවක් බවට පත්වීමෙන් ජනගහණයේ වැඩිවීමත් සමග රැකියා ඉල්ලුම වැඩිවීම සනසාලන සාධකයක් බවට පත්ව තිබීමත් විශේෂ දෙයක්. නමුත් ගැටලුව නම්, ඊට සමාජය අනුගත වන්නේ කෙසේද යන්නයි.

මුලදී නිරුවත්ව සිටි විලාසිතාව ඉන්පසු යටිකය වසන්නට පටන් ගත්තා. කල් ගතවත්ම එය උඩුකය වෙත පැතිරී උරය වසා ගොස් දෑතට ම පැතිර ගියේ වළලුකර සිට මැණික් කටුව දක්වා වසාලන විලාසිතා සංස්කෘතියක් බිහි කිරීමෙන්. නමුත් සම්පූර්ණයෙන් කය වසා සිටීම මුලදී ප්‍රතාපවත් බවක් ගෙන දුන්නත් කාලයාගේ ඇවෑමෙන් සංස්කෘතිය, ශිෂ්ටත්වය සහ ආගම දහම ආදියෙන් ඈත්වී රාගය වර්ධනය වීමත් සමග සම්පූර්ණයෙන් කය වසා ගැනීම ඒකාකාරී දෙයක් බවට පත්වුණා. ඉතින් ඇඳුමේ ටික ටික නැවතත් ගැලවී යමින් පවතිනවා. එය දැන් ලිංගේන්ද්‍රීයයන් පෙනෙන නොපෙනන මට්ටමට මෙන්ම උඩින් ඇඳුම් ඇන්දත් යටින් ඉස්මතුව පෙනෙන ආකාරයේ කලාවකට පැමිණ තිබෙනවා. එපමණක් නොවෙයි, ඉස්සර තැනින් තැන ඉරුණු ඇඳුම්, අණ්ඩ දැමූ කමිස දුප්පත් බව පෙන්වීමේ සංකේතයක් ලෙස සාහිත්‍යයේ භාවිතා වූවද අද වන විට එය තාරුණ්‍යයේ හදගත් නවතම විලාසිතාව බවට පත්වී හමාරයි.

භාෂාව, මුදල් කියන්නේ නීතියකට අනුව සැලසුම් කොට බිහිවූ යමක් නොවෙයි. ඒවා කාලයාගේ ඇවෑමෙන් වර්ධනය වෙමින් පැමිණ තවමත් පෝෂණය වෙමින් පවතින දේවල්. ඉතින් විලාසිතාවත් එහෙමයි. එය ව්‍යාපාරික, කාලීන ආකල්ප, ඒකාකාරීත්වයෙන් මිදීම ආදිය කරණ කොට ගෙන බිහිව, වැඩෙමින්, වෙනස් වෙමින් චක්‍රයක් වශයෙන් යන දෙයක්. අද ගැලවී යන ඇඳුම් තවත් කාලයකදී ඒකාකාරී බවට පත්වෙලා අනාගතයේ දවසක නැවතත් ඉහේ සිට දෙපතුළට වසාගත් ඇඳුම් ඇඳීම අපූරු දෙයක් බවට පත්ව යාවි. එනිසා එය නීති දමා පාලනය කරනාවට වඩා, රැයක් දෙවේලක් නැතිව බනිනවාට වඩා; එය යන අතක යන්නට දී අප ඊට අනුගත වීමේදී, තාර්කිකව අප මෙය කරන්නේ මන්දැයි බුද්ධිමත්ව විමසමින් කරනවා නම් ඇතිව-වෙනස්ව-නැතිව යන සෝඩා බෝතල රැල්ලෙන් මිදී ශිෂ්ටවත් දිවියක් ගෙවන්නට අපට හැකියාව ලැබේවි.

ඉතින් ඔබ ඇඳුම් අල්මාරියට ඊළඟට එකතු කරගන්නේ මොන පාට ඇඳුමක් ද?

තඹරු විජේසේකර

Comments