
පෘථිවියෙහි පාරිසරික තත්ත්වය වෙනස් කිරීමෙහිලා ඉතා ඈත අතීතයේ සිට මිනිසා දායක වී ඇතැයි ඊශ්‍රායලයේ ටෙල්අවිච් විශ්වවිද්‍යාලයේ විද්වත්හු පිරිසක් පවසති. ඔවුන් පෙන්වා දෙන අන්දමට වසර 11,500කට පළමුව පැවති පාරිසරික තත්ත්ව වෙනස් කරන්නට එකල ජීවත් වුණු මානවයන්ගේ මැදිහත් වීම ලැබී තිබේ. මළ මුහුද ආශ්‍රිත පාෂාණවල ස්වභාවයන් සැලකිල්ලට ගනිමින් විද්‍යාඥයෝ එකී නිගමනයන්ට එළඹ සිටිති. එම පාෂාණ ලබා ගෙන තිබෙන්නේ අඩි 1500ක් පමණ පොළොව ගැඹුරට විදීමෙන් අනතුරුවය. මළ මුහුද ආශ්‍රිතව තැන්පත් වී ඇති පාෂාණ එලෙස තැන්පත් වී තිබෙන්නේ ඛාදන හේතුවෙන් බැව් ඔවුහු පෙන්වා දෙති. එම ඛාදන තත්ත්වයන් ඇති වී තිබෙන්නේ කිසිදු ස්වාභාවික හේතුවක් මුල් කරගෙන නොවන බවත් තහවුරු වී ඇත.
“... මළ මුහුද ආශ්‍රිත පාෂාණ තුළ ඉතා සියුම් වැලි තැන්පත් වීම තුන් ගුණයකින් ඉහළ ගොස් තිබී ඇති බව අපට තහවුරු වුණා. එය සිදුව තිබෙන්නේ අධික වර්ෂාව නිසා හටගත් ගංවතුර තත්ත්ව යටතේ. ...” යනුවෙන් පවසා ඇත්තේ පර්යේෂණයට සහභාගි වුණු මහාචාර්ය ශාමුවෙල් මාර්කෝය. මෙකී තත්ත්වය විද්‍යානුකූලව පැහැදිලි කරන්නට විද්‍යාඥයෝ සමත්ව සිටිති. ඔවුන් පවසන්නේ මෙවැනි ඛාදන තත්ත්වයක් ඇති වන්නට තුඩු දී ඇත්තේ නියෝලිතික කාල පරිච්ඡේදය තුළ ඇති වුණු විප්ලවය බවයි.
නියෝලිතික විප්ලවය ඇති වන්නේ මානවයා දඩයමින්ද වන පල එකතු කරගෙන ආහාරයට ගනිමින්ද ගෙවූ කාලය අවසන් කර කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වීමත් සමඟය. කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වීමත් සමඟ මානවයන් පිරිස් වශයෙන් ජීවත් වීමද ආරම්භ කර තිබේ.
“... ඔවුන් ස්වාභාවික ගහ-කොළ විනාශ කර-දමා බව බෝග හිටෙව්වා. නිවෙස් තුළ සතුන් ඇති කරන්න පටන් ගත්තා. ගවයන් ආදි සතුන්ගේ උලා කෑම් නිසා පොළොව වසා පැවැති තෘණ ආදි ශාක විනාශයට පත් වුණා. ඊළඟට වනාන්තර එළිපෙහෙළි කිරීමටත් මානවයන් පෙලඹුණා...” යැයි මහාචාර්ය මාර්කෝ වැඩිදුරටත් විස්තර කරයි.
එකී විප්ලවයත් සමඟ පාංශුඛාදනය අනුක්‍රමයෙන් ඉහළ ගොස් ඇත. පාංශුඛාදනයට වැඩි වන විට ගංගාද්‍රෝණි ආදියෙහි තැන්පත් වන අවසාදිත මට්ටමද වැඩි වේ. මේ අවසාදිත සැලකිල්ලට ගෙන, ඒවා තැන්පත් වන අවධියේ පැවැති පාරිසරික තත්ත්ව ගැන නිගමනයන්ට පැමිණෙන්නට විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇත.
මංජුලා විජයරත්න