වෙසක් අරුත | සිළුමිණ

වෙසක් අරුත

 අද වෙසක් පොහොය දිනය යි. වෙසක් පොහොය දිනය අප්‍රේල් මාසයට යෙදීම ගැන සංවාදාත්මක කතාබහක් මතු විණි. වෙසක් පොහොය අප්‍රේල් 29 දිනට නොගෙන, මැයි මාසයේ 29 වැනිදාට යෙදෙන අධි පොසොන් පොහොය දිනට යොදා ගත යුතු ව තිබුණා නොවේ දැ යි යන තර්කය ද මෙකී සංවාදයට පදනම් කර ගැනිණි. වෙසක් පොහොය නම් කෙරෙන්නේ චන්ද්‍ර මාස ක්‍රමය අනුව මිස භාවිත කැලන්ඩරයේ ඉංග්‍රීසි මාස ක්‍රමය අනුව නොවන නිසා ද චන්ද්‍රමාස ක්‍රමය අනුව වෙසක් මාසය ඇරඹුණේ අමාවකට පසු ව; එනම්, අප්‍රේල් 16 වැනිදා සිට නිසා ද අද වෙසක් පොහොය ලෙස ගැනීම වඩාත් නිවැරදි බව තහවුරු කෙරිණි. ඒ විසඳුම නොතකා දිගින් දිගට වෙසක් පොහොය අරබයා, ජන සමාජයේ ඒකාග්‍රතාවට හානි කරන, පහන් සංවේගය බිඳෙන ලෙස ගැටලුවක් මතු කෙරිණි.

සංවාද කතාබහ ඇති වීම ඉදිරිගාමී සමාජයකට වටී. ඒ විවිධාකාරයෙන් මතු වන ගැටලු ළිහා විසඳුම් සොයා ගැනීම වෙනුවෙනි. බුදු මඟ ද විසඳුම් සොයා යෑම වෙනුවෙනි. එහෙත් මේ ඇති වන සංවාද කතාබහ මඟින් ගම්‍ය වන්නේ එවැනි විසඳුම් සොයනවා වෙනුවට ගැටලු ම පතන බව යි; ගැටලු ම හඹා යන බව යි.

වෙසක් යනු බුදුන් වහන්සේගේ ඉපදීම, බුදු වීම හා පිරිනිවන් පෑම යන තෙමඟුල සැමරුම යි. මෙහි කේන්ද්‍රීය අවස්ථාව සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් වීම යි. එබැවින් වෙසක් සැමරුම බුද්ධත්වයේ අරුත වටහා ගැනීමට මුල් තැන දිය යුතු ය. එහි දී ගැටලුවට විසඳුම ලෙස තමා හඳුනා ගැනීමට පුද්ගලයා යොමු කෙරෙන, බුද්ධ මාර්ගයේ දී ලැබෙන ප්‍රධාන කමටහන ගැන අමතක කළ නොහැකි ය. තමා සියල්ල දන්නවා ය කියා ලෝකයත් සමඟ ගනු දෙනු කරන්නට යනවා වෙනුවට තමා කවුරුන් දැ යි යන්න තමා තුළට එබී, තමාව හඳුනා ගෙන ලෝකයත් සමඟ ගනු දෙනු කරන්නට යොමු කිරීම එහි දී සිදු වෙයි.

සම්ප්‍රදායෙන් එන දේ වුව ද බුදු දහම අනුව පිළිගත යුතුව ඇත්තේ සබුද්ධික තර්කයෙනි. ඒ සඳහා තමා, තමා හඳුනා ගැනීම අවශ්‍ය වන්නේ එසේ නොවන විට විසඳුම වෙනුවට ගැටලුවට ම කොටු වීමට ඉඩ ඇති බැවිනි. වෙසක් පොහොය ගැන මතු කළ ප්‍රශ්නයේ දී සිදු වූයේ එය යි. එම ප්‍රශ්න කිරීම වෙසක් අරුතට හා ඊට අදාළ සංස්කෘතික සම්ප්‍රදායට පටහැනි වීම, භාවිත කැලැන්ඩරයට කොටූ වී තමන් දන්නවා යැ යි අධිතක්සේරුවට පැමිණිමෙන් සිදු වන්නකි.

මෙරට ජන සමාජය බුද්ධ මාර්ගයේ යනවා වෙනුවට ඊට එරෙහි ගමනක නිරත ව ඇති සැටි මෙසේ ගැටලු හඹා යෑම දෙස බලන විට ද පැහැදිලි වෙයි. මහ මඟ දී සිදු වන හදිසි අනතුරක දී ඊට අදාළ පාර්ශ්වකරුවකු වහා වට කර ගන්නා ආවේගශීලී පිරිස ගිනි තබමින්, පහර දෙමින් කරන්නේ විසඳුම වෙනුවට ගැටලුව හඹා යෑමකි. දේශපාලනිකව ගත් කල ‘ජිනීවා මානව හිමිකම් ගැටලුවේ සිට පොහොර සහනාධාරය‘ තෙක් සිදු වන සංවාද කතාබහේ ද, ‘යහපාලනය අර්ථ දැක්වීමේ සිට පවතින ආණ්ඩුව පරාජයට පත් කිරීම‘ තෙක් සිදු වන මාධ්‍ය සන්දර්ශන හා දේශපාලන ඝෝෂාවල ද ඇත්තේ එසේ ගැටලුව හඹා යෑම නො වේ ද?

තමා දෙසට හැරී තමා හඳුනා ගන්නවා වෙනුවට අනුන් දෙසට හැරී අණ කිරීමත්, එකිනෙකා බෙදා හදා ගන්නවා වෙනුවට තනිවම බදා ගැනීමත්, බුද්ධ මාර්ගය පිළිගැනීම නො වේ. ඒ ගැන නොසලකන විට වෙසක් සැමරුම නාමයෙන් කරන කියන දෑ බුද්ධත්වයේ අරුතට පටහැනි වෙයි. මෙහි පැහැදිලි ප්‍රතිඵලයක් වී ඇත්තේ අසතුට අතෘප්තිය පිරි සමාජයක් බැලූ බැලූ අත දිස් වීම යි.

ශ්‍රී ලාංකික ජන සමාජයට සතුට ගෙනෙන විසඳුම මඟ හැර යන සැටි ඒ මතු පිට දසුනින් ද මොනවට පැහැදිලි කෙරෙයි.

ජන සමාජයේ සෑම දෙනකුට ම එක සමාන ව තමන්ට රිසි සේ තෘප්තිමත් වීමට සොබා දහමට අනුව ද ඉඩ නැති නමුත් මඳ අසතුට ඇති ව හෝ එකිනෙකා අතර සහයෝගී බැඳීමෙන් ජීවත් වන්නට උගන්වන බුදු මඟ, පුද්ගලයා හෝ තමා හෝ යනු සමස්ත සොබා දහමේ අල්ප මාත්‍රයක් බව සිතන්නට පුරුදු කරයි. ඒ අවබෝධයට පැමිණීම වෙසක් සැමරුමට අර්ථය දීමකි.

Comments