සමස්ත ඡන්ද ප්‍රතිඵලය | සිළුමිණ

සමස්ත ඡන්ද ප්‍රතිඵලය

 පළාත් පාලන මැතිවරණයට පසුව සිදු කළ යුතු ආණ්ඩු වෙනසක් ගැන නැඟුණු ඝෝෂාව නිසා රටේ දේශපාලන සාමකාමී බව ගිලිහී ගිය අතර, දින කිහිපයක් රට එසේ ව්‍යාකුලව පැවතිණි. අනතුරුව නැවත රට සන්සුන් විණි. එම ව්‍යාකුල බව ඇතිවීම හා පසුව රට සන්සුන් වන්නේ කවර හේතු මතද යන්න මෙහිදී අවධානයට ගැනීම වටී.

මැතිවරණ ප්‍රතිඵලයට අනුව ආණ්ඩුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බවට පොහොට්ටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වූ කණ්ඩායමෙන් ප්‍රකාශ වීම මේ දේශපාලන නොසන්සුන් බව තීව්‍ර කළේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය මත ආණ්ඩුව විසුරුවන්නට නොහැකි බව දැන දැන ම පොහොට්ටු කණ්ඩායම එම මතය සමාජගත කළේ දේශපාලන නොසන්සුන් බවක් ඔවුන් බලාපොරොත්තු වූ බැවිනි. තනි කණ්ඩායමක් ලෙස ගත් කල පොහොට්ටුව ලකුණට බහුතරය ලැබුණත් එම ඡන්ද පදාසය සමාජයේ නොසන්සුන් බවට නෑකම් කියන ආකාරය ගම් මට්ටමේ දී හොඳින් දැක ගත හැකි ය. එහෙත් ඒ ඝෝෂාව අවස්ථාවාදී හෝ පවුල්වාදී සහිත බව, රටේ යහපත වෙනුවෙන් නොවන බව, දූෂණය හා වංචාව නිසා එන සමාජ විරෝධය වෙනතක හැරවීමට බව පැහැදිලි වන්නට වැඩි දවසක් ගත වූයේ නැත.

නියමිත පරිදි මහජන ඡන්දයෙන් පත් වූ ආණ්ඩුවක ජනප්‍රිය බව ඊළඟ ඡන්දයට පෙර, අතරමග දී මැන බලන්නට මිම්මක් වූ, පෙර පැවති අතුරු මැතිවරණයක් බඳු, පළාත් පාලන මැතිවරණයක ප්‍රතිඵල පෙන්වා ආණ්ඩු වෙනසකට බල කිරීම ම ප්‍රජාතන්ත්‍ර විරෝධී වේ. එකී ප්‍රජාතන්ත්‍ර විරෝධී ඝෝෂවාව සමාජයේ සන්සුන් බවට හෙවත් ජාතික සංහිඳියාවට මහා බාධාවකි. එය රටේ ඉදිරි ගමනට ම මහා බාධාවක් බව ඇති වූ නොසන්සුන් බව විසින් ම පසක් කර දෙනු ලැබිණි. නිවෙස තුළ, මහ මඟ, වැඩපොළේ, රාජකාරී ස්ථානයේ ආදි වශයෙන් මේ කොතැනත් ‘මොක ද වෙන්නේ?‘ කියන, අවිනිශ්චිතභාවය වපුරන පැනය පමණක් ඒ දින කිහිපයේ පෙරට විත් තිබිණි. එහෙත් ඇත්ත වටහා ගන්නට ඒ ලැබුණු අවස්ථාව වැදගත් විණි. රටේ දේශපාලන අස්ථාවර බව ඇති කරන්නේ අවස්ථාවාදී, පවුල්වාදී, පක්ෂවාදී, කණ්ඩායම් තම වහලුන් උසිගැන්වීමෙන් බව දැන ගන්නට එම අවස්ථාව මඟින් මඟ පෑදිණි.

ගිලිහුණු සන්සුන් බව ජන සමාජයේ යළි ඇති වීම කෙරෙහි බලපෑ ප්‍රධාන හේතුව වන්නේ සම්මුතිවාදී රජය ඉදිරියටත් පවතින බව ප්‍රකාශ වීම යි. තනි පක්ෂයක බලය මත ආණ්ඩුවක් ඇති වුව හොත් ඊට එකඟ ජන පදාසයට වඩා, රටේ අති බහුතරයක් දෙනා, තමන්ට හෝ රටට හෝ එවැනි ආණ්ඩුවකින් සෙතක් සැලසෙන්නේ නැතැයි අවිඥානකව හෝ මේ ‘නොසන්සුන් සංක්‍රාන්ති කාලය‘ තුළ දැන ගත්තාට සැක නැත. රටේ ඉදිරි ගමන සඳහා අද අත්‍යවශ්‍ය සාධකය වන්නේ ජාතික සංහිඳියාව වන අතර, සමාජයේ සන්සුන් බව හෝ ජාතික සංහිඳියාව හෝ ඇතිවීම කෙරෙහි සම්මුතිවාදී දේශපාලනය අත්‍යවශ්‍ය බව පළාත් පාලන මැතිවරණයෙන් ඉතිරි කළ පාඩමයි. තනි පක්ෂයක ආණ්ඩුවක් ගැන කතා කරන විට ම අද මෙරට සමාජය නොසන්සුන් වන බවත්, ප්‍රධාන පක්ෂ දෙක එක්ව රට පාලනය කරන සම්මුති ආණ්ඩුවවක් පවතින බව ප්‍රකාශ වීම ම හා එහි ස්ථාවර බව සමාජයට දැනීයෑම ම, මෙරට සමාජය සන්සුන් වීමට හේතු වන බවත් එයින් පැහැදිලි වෙයි.

පක්ෂ දේශපාලනයෙන් රට හති වැටී ඇති තරම අනෙක් අතින් එයින් කියැවෙන කතාවයි. දශක ගණනාවක් තිස්සේ දේශපාලන කාන්තාරයක ඇදෙන රටට සම්මුතිවාදී දේශපාලනය විකල්ප කෙම්බිමක් බව අවධානයට ගත යුතු යි. එනම් 2015 ජනවාරි 8 වැනිදා රටේ බහුතර ජන පදාසය තැබූ බලාපොරොත්තුව සුන් වී නැත. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ පළාත් පාලන මැතිවරණයේ දී ලැබූ ඡන්ද ප්‍රමාණය එකතු කළ විට ජය ලබා ඇත්තේ ද එම සම්මුතිවාදී යහපාලන සංකල්පය බව පැහැදිලි වේ.

රටේ ධනය දේශපාලකයන් අතට ගලා යන දූෂණය, වංචාව නවතන පාලනයක් සම්මුතිවාදී ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වෙයි. පක්ෂ දේශපාලනය විසින් සමාජය බෙදා වෙන් කරනු වෙනුවට ජාතික සංහිඳියාව ද සම්මුතිවාදී ආණ්ඩුවට එකඟ ජනතා පැතුම යි. පක්ෂ දේශපාලනය විසින් කලක් තිස්සේ පුරුදු පුහුණු කළ ගෝත්‍රවාදී ආකල්පවලින් ගැලවී යෑම ලෙහෙසි කටයුත්තක් නොවී ඇති පසුබිමක සම්මුතිවාදී ආණ්ඩුවේ ඉදිරි ගමන අතිදුෂ්කර වුව ද එමගින් පිට පැනීම රටේ බහුතර පදාසය දැන් ඉවසන්නේ නැත. එම සංඥාව මිස ආණ්ඩු වෙනසක් මේ පළාත් පාලන මැතිවරණයෙන් රටේ බහුතර ඡන්ද දායකයා බලාපොරොත්තු වූයේ ද නැත. සම්මුතිවාදී ආණ්ඩුව තහවුරු කරන ගමන්, එහි ඉදිරි මඟ පිළිසකර කිරීම පිණිස එකී ජනතා පැතුම අමතක නොකළ යුතුව ඇත. අනෙක් අතට තනි පක්ෂයක් රටේ ආණ්ඩු බලය පිහිටුවීම යනු එන්න එන්න ම අසීරු වන දේශපාලනයක් වන ලකුණු මේ මැතිවරණය මඟින් සංඥා කොට තිබේ. සම්මුතිවාදයේ ඇති ගැටුම යහපත් සමාජයක් උදෙසා විවෘත සංවාදයක් කර ගත හැකි ය.

Comments