
බීමට ගත හැකි පිරිසුදු ජලය දිනකට ලීටර් 30,000ක් පමණ නිකුත් කරන, පදවිය රක්ෂිතයෙන් ගලන ස්වාභාවික ජල උල්පතක් ගැන ලිපියක් අද අප පත්‍රයේ පළ වේ. ‘සිංහයා උල්පත’ නමින් හැඳින්වෙන මේ ජල සම්පත ඓතිහාසික වටිනාකමක් ද සහිත වන අතර, එවැනි උල්පත් ගණනාවක් මේ ප්‍රදේශය පුරා ඇති බව ද වාර්තා වෙයි. රජරට පොළොවේ පිරිසුදු ජලය හිඟ වී, ගොවිතැනට යෙදූ වස-විස මුසුව කෙලෙසුණු ජලය බීමට ගෙන එහි ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වීම ගැන කථා කරන සමයක සිංහයා උල්පත වැනි ජල සම්පත් අපගේ විශේෂ අවධානයට ලක් විය යුතු යි. වකුගඩු රෝගයට ගොදුරු වූ-නොවූ කාටත් වස-විස මුසු නැති පිරිසුදු ජලය තම සෞඛ්‍යය රැක ගැනීම සඳහා අවශ්‍ය දිව ඔසුවක් වී තිබීම ම ඊට සෑහේ.
පොසිල ඉන්ධන (තෙල්) බලය වසර 2040 වන විට නිම වීමට නියමිත නිසා ඊළඟ ලෝක යුද්ධය ඇති වීමට ඉඩ ඇත්තේ පිරිසුදු ජලය අරබයා යැ යි ප්‍රකාශ වේ. එතරම් වටිනාකමක් ජලයට ලැබෙන අනාගතයක් ලෝක මට්ටමින් නිර්මාණය වෙමින් තිබේ. රටට ඇති ස්වාභාවික ජල සම්පත නිවැරදිව තක්සේරු කිරීම හා එය රටට ඇති වටිනා ම ධනය ලෙස සැලකීම අත්‍යවශ්‍ය කාරණයක් වන්නේ එකී ලෝක ප්‍රවණතාව නිසා පමණක් ද නො වේ. දරුණු වකුගඩු රෝගයකට සමාජය ගොදුරු වූයේ ජලය ධනය ලෙස සැලකූ ඉතිහාසයක් මෙන් ම ජලය පිරිසුදුව තබා ගන්නට අවශ්‍ය ආවේණික ජල කළමනාකරණය පිළිබඳ දැනුමක් ද රට සතුව තිබිය දී ය.
මහ පරිමාණයේ හා කුඩා පරිමාණයේ වැව් 35,000ක් පමණ වියළි කලාපයේ තිබිණි. වැස්සෙන් වැටෙන ජලය අපතේ යා නොදී රැකගන්නා ආදර්ශය පෙරදැරි කර ගත් මේ වැව් පද්ධතිය මඟින් ආහාර නිෂ්පාදනයට හෝ කෘෂිකර්මාන්තයට හෝ දුන්නේ විශාල පිටුබලයකි. ඒ, පරිසරයේ සමබරතාව රැක ගැනීමට හා පිරිසුදු ජල උල්පත් පෝෂණය කිරීමට අමතරව යි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ශ්‍රී ලංකාව ද අද එකඟව කටයුතු කරන තිරසර සංවර්ධනයට, මෙරට පැවති ජල කළමනාකරණය වැනි ආදර්ශයක් තවත් තිබේ දැ යි සැක සහිත යි. එනම්: ලෝකයේ නව ප්රවණතා හමුවේ රටට මුහුණ දිය හැකි වටිනා ම ධනයක් රට තුළ ම ඇති බව අප දැන ගත යුතු යි. ආර්ථික සංවර්ධනය සඳහා යොමු වන නිෂ්පාදනය වෙතට හෝ ආයෝජන ගෙන්වා ගන්නා සංවර්ධන ක්‍රියාවලියකට හෝ අමතරව රටේ ඉදිරි දියුණුවට අදාළ අගනා සම්පතක් අප සතුව ඇති බව වටහා ගෙන, ඒ අනුව ආර්ථික සංවර්ධනයට අදාළ සැලසුම් සකස් කිරීම වැදගත් ය. අනාගතයට වටිනා රට සතු ආර්ථික හැකියාව ජලය යි.
රජරට වියළි කලාපයේ පමණක් නො ව, තෙත් කලාපයේ ද පානීය ජලය හිඟ වීම හෙවත් පිරිසුදු ජලය නැති වීම ගැන අසන්නට ලැබෙන්නේ ජල කළමනාකරණය අතින් ලෝකයට ආදර්ශයක් වූ රටක බව මෙහි දී විශේෂ අවධානයට ගතු යුතු යි. විශේෂයෙන් ම තේ වගාව සඳහා ද අනෙකුත් බෝග වගා වෙනුවෙන් ද රසායනික යෙදවුම් පොළොවට හැලීම තෙත් කලාපයේ ජලය අපිරිසුදු වීම කෙරෙහි බලපාන ප්‍රධාන හේතුවක් බව වාර්තා වේ. විදේශ විනිමය උපයන්නට හැකි තේ නිෂ්පාදනය සඳහා පොළොවට වස-විස හැලීමෙන් තේවලට ඇති වෙළෙඳපොළ ඉල්ලුම ද අඩු වනවාට අමතරව සැඟව ඇති විදේශ විනිමයක් ද රටට අහිමි වෙමින් ඇති බව වහා අවධානයට ගත යුතුව ඇත. ඒ අන් කිසිවක් නො ව, පිරිසුදු ජලය යි. ජලය කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු ආවේණික දැනුම ප්‍රයෝජනයට ගෙන, වැරදී ඇති තැන් නිවැරදි කර ගන්නට පියවර ගැනීම මඟින් වැවිලි බෝග වෙනුවට විදේශ විනිමය උපයන නව මාර්ගය බවට පිරිසුදු ජලය පත් කළ හැකි ය.
සිංහයා උල්පතේ ජලයට ඇති ඉල්ලුම එහි ජලය විකිණෙන අදියර තෙක් වැඩී ඇති බව ද වාර්තා වෙයි. රජරටට පානීය ජලය හිඟ වීම ගැන සිහිපත් කෙරෙනවාට අමතරව, අමතකව ඇති තවත් කරුණක් එමඟින් මතු කෙරේ. එනම් වියළි කලාපයේ එතරම් වැව් ප්‍රමාණයක් තිබිය දී හා තෙත් කලාපයේ දිය ඇලි ගංගා, ස්වාභාවික ජල උල්පත් ඇති තරමක් තිබිය දී, කිරි බෝතලයක මිලට වඩා ඉහළ මිලකට වතුර බෝතලයක් අලෙවි කරන්නට හැකි වීම යි. එසේ වූයේ අප සතු ධනයට පිටුපා ජලය අපිරිසුදු කරන මඟට අප පිවිසි නිසා ය. වතුර බෝතලයට ඉල්ලුමක් ඇති වීමෙන් අනෙක් අතට පෙන්වන්නේ අප සතු ජලයේ පිරිසුදු බව ගැන අපට ම ඇති සැකය යි. එබැවින් ජලය පිරිසුදුව තබා ගැනීමට හැකි සෑම මඟකට ම පිවිසීම අද අත්‍යවශ්‍ය කරුණක් වන්නේ පිරිසුදු ජලය රටේ අනාගත ධන උල්පත ද වන නිසා ය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රජය ආරම්භ කළ වැව් 500ක් පිළිසකර කරන ව්‍යාපෘතිය වැනි, ජලය රටට ඇති වටිනා ම ධනය ලෙස සලකන ව්‍යාපෘති තව-තවත් ආරම්භ කළ යුතු වේ.
එමෙන් ම තෙත් කලාපයේ භෝග වගාවේ දී - විශේෂයෙන් ම තේ වගාවේ දී - රසායනික යෙදවුම් භාවිත කරන විට පිරිසුදු ජලය කෙලෙසීමට ඇති මං අසුරා-ලීම කෙරෙහි නොපමාව ම අවධානය යොමු කළ යුතු වේ.