හැත්තෑ වසරක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය | සිළුමිණ

හැත්තෑ වසරක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය

 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හැත්තෑ වසර පසු කරයි. බ්‍රිතාන්‍ය කිරීටයෙන් රට නිදහස් වීමටත් ප්‍රථම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අත්හදා බලන්නට ලැබුණත් එය අදටත් අත්හදා බැලීමක් පමණක් ද? පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පෙරදිගට ආගන්තුක වුව ද සමඟියෙන් රැස් වී, සමඟියෙන් සාකච්ඡා කර, සමඟියෙන් විසිර යෑම යන සංස්කෘතික හුරුව නිසා පෙරදිග දේශපාලනයට මෙය පහසුවෙන් ගළපා ගත හැකි විණි. එහෙත් අනෙකා අගයමින් අනෙකාගේ නිදහසට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික දේ පවා හැත්තෑ වසරකට පසුවත් පාර්ලිමේන්තුවට ආගන්තුක බව පෙන්වයි. මෙතැනට පත් වී එන මහජන නියෝජිතයන් වගකියන්නට බැඳෙන්නේ රටේ යහපතට නො වේ ද යන කුකුස තුඬ තුඬ රැව් දීම, මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නමැති කතාවෙන් බැහැර කළ නොහැකි යි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් තම දේශපාලන වුවමනාවන් ඉටු කර ගන්නට නොහැකි ය, යන විශ්වාසයෙන් උතුරේ මෙන් ම දකුණේ ද විකල්ප ක්‍රියාමාර්ග අත්හදා බැලුවේ ය. විශේෂයෙන් ම තරුණ කණ්ඩායම් නායකත්වය දුන් එම අත්හදා බැලීම් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ විමුක්ති කොටි සංවිධානය ආයුධ අතට ගැනීම යි. එම ආයුධ සන්නද්ධ අරගල අසාර්ථක වූයේ මුළු මහත් ජන සමාජය ම එහි වින්දිතයන් බවට පත් කරමිනි. එහි අසාර්ථක භාවයට එක ම හේතුව වූයේ ආණ්ඩුව ඊට එරෙහිව ගත් ක්‍රියාමාර්ග නො වේ. සංස්කෘතිකව ද සමාජය එසේ අවි ගත් මඟ ප්‍රතික්ෂේප කළේ ය. එසේ වූයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රටේ දේශපාලන ප්‍රශ්න විසඳන්නට ඇති එක ම මඟ හැටියට විශ්වාසයට ගැනීමෙන් නො වේ; සමඟියෙන් රැස් වී, සමඟියෙන් සාකච්ඡා කර, සමඟියෙන් විසිර යෑම වෙනුවට ප්‍රචණ්ඩත්වයට ඉඩ දීම වඩාත් භයානක බවට ශ්‍රී ලාංකික ජන සමාජයට ඇති වූ සංස්කෘතික අවබෝධය නිසා ය.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලු වීමක් ලෙස විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වීම ද දැක්වේ. '72 ජනරජ ව්‍යවස්ථාව වෙනුවට හඳුන්වා දුන් '78 ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාධාරණීකරණය කෙරුණු ප්‍රධාන කරුණ වූයේ රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් එවැනි ඒකීය පාලනයක අවශ්‍යතාව යි. රටේ ඒකීයභාවය වෙනුවෙන් ද විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගත යුතු ය, යන තර්කයක් අද මතු වී තිබේ. එවැනි අදහස් එකවිට බැහැර කළ නොහැකි වන්නේ ක්‍රමයේ වරදකට වඩා එහි නියෝජිතයන්ගේ වැරදීම් ඉස්මතු වන බැවිනි. '72 හා '78 යන ව්‍යවස්ථාවලින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට බාධා වූ බවට තර්ක කළ හැකි නමුත් ඒ වෙනුවෙන් ඇති නිදසුන් ක්‍රමයේ වරදකට වඩා මහජන නියෝජිතයන් විසින් වරද්දා ගනු ලැබූ, ඔවුන්ගේ පුද්ගල න්‍යායපත්‍ර පෙරට ගෙන කළ වැරදීම් බව ද බැහැර කළ නොහැකි ය. ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වන්නේ සාධාරණව හිතන පතන බුද්ධිමත් සමාජයක දී පමණක් බවට ඇති නිගමනය ද මෙහි දී අවධානයට ගැනීම වටී. විධායක ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට බාධා කරන්නේ එහි භාවිතය අතින් මිස ක්‍රමය විසින් නොවේ.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට විධායක ජනාධිපති ක්‍රමයෙන් එල්ල වූ ඇතැම් බාධා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් නිවැරදි කෙරිණි. බලයේ සිටින ජනාධිපතිවරයා ම තම බලය අත්හරිමින් එම පියවර ගැනීම ලෝකයට ම වැදගත් දේශපාලන පාඩමක් විණි. බලය භාවිතය තම ස්වාර්ථය පිණිස නො ව, රටේ යහපතට යන දැක්ම අනුව විධායක ජනාධිපති ක්‍රමය තුළ වුව ද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන බවට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සාක්ෂි දරයි. රටේ යහපත වෙනුවෙන් එලෙස තමන්ටත් කළ හැකි දෙයක් ඇති දැ යි පාර්ලිමේන්තු නියෝජිතයන් ද කල්පනාවට ගත යුතුයි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය බිඳී යෑම කෙරෙහි මඟහැරුණු අවස්ථා මොනවා දැ යි වගකීමෙන් යුතුව සිතා බලන්නට මෙය අවස්ථාවක් කර ගත හැකි යි.

දේශපාලන පක්ෂ විසින් ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් හඳුන්වා දුන් මනාප ඡන්ද ක්‍රමය ද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට මහත් බාධාවක් විණි. ඒ අනුව මැතිවරණ ව්‍යාපාර බවට පත් වීමත්, මහජන නියෝජිතයා ඡන්දදායකයාට වග නොකියන ඉහළකට එසවී යෑමත් නිසා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවකට වැටිණි. එයට විසඳුමක් දැන් ඉදිරිපත් වී ඇති අතර, මහජන නියෝජිතයන් ඊට දක්වන ප්‍රතිචාරය අනුව ද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වනු ඇත. එහි දී ද උරගා බැලෙනු ඇත්තේ රටේ යහපත වෙනුවෙන් මහජන නියෝජිතයාට පැවරෙන වගකීම යි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් වසර හැත්තෑවක් තුළ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මඟින් විශාල මෙහෙයක් ඉටු කෙරුණු බව ඇත්තකි. එහෙත් මහජන විශ්වාසය මුළුමනින් ම තහවුරු කර ගැනීම වෙනුවෙන් එය ප්‍රමාණවත් නොවුණු බව ද පිළිගන්නට සිදු වෙයි. මහජන නියෝජිතයන් ඒ ගැන අප්‍රමාදව අවධානයට ගත යුතු යි. ඒ අවබෝධයට පිවිසිය හැකි නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත් කර එවීම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අගයන ජනතාවගේ ද වගකීම යි. 

Comments