කියවීමේ මාසය හා ළමා ලෝකය | සිළුමිණ

කියවීමේ මාසය හා ළමා ලෝකය

 ‘මවුපිය වැඩිහිටි සෙනෙහස රඳවමු - සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවමු' යනු, අදට යෙදී ඇති ලෝක ළමා දින තේමාව යි. මේ අතර ලෝක වැඩිහිටි දිනය ද අදට යෙදේ. එමෙන් ම ජාතික කියවීමේ මාසය ලෙස මේ ඔක්තෝබර් මාසය නම් වී ඇත. සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවන්නට ඇති මාර්ගයක් ලෙස 'කියවීම' දැක්විය හැකි යි. වයසත් සමඟ දැනුමෙන් පරිණත වීම ද එමඟින් ඉටු වෙයි. එමෙන් ම දරුවන් වෙනුවෙන් සොඳුරු ලොවක් තැනීම වැඩිහිටියන්ගේ පළමු වගකීම ද වන්නේ ය. ළමා ලෝකයට සෙනෙහස රඳවන්නට හැකි නම් එය වැඩිහිටියන් තම වගකීම සෑහෙන පමණින් හෝ ඉටු කිරීමකි.

වත්මන් දරුපරපුර ඉපදුණේ තාක්ෂණික ලෝකයකට ය. එකිනෙකා අතර සහජීවනයට අවශ්‍ය ගනුදෙනු පවා යන්ත්‍ර සූත්‍ර වෙත පැවරීම නිසා පුද්ගලයා හුදෙකලා වීම හා එයින් දැනෙන අතෘප්තිය, මේ තාක්ෂණික ලෝකයේ දරුවන් ද මුහුණ දෙන විශාල ම අභියෝගයකි. දරුවන් ඉපදුණේ ම තාක්ෂණික ලෝකයකට වුව ද මුහුණවර වෙනස් ව නමුත් ඒ හුදෙකලාවේ පීඩාව දරුවන්ට ද දැනෙයි. සෙනෙහස ඒ අඩුව පිරවීමට ඇති තීරණාත්මක සාධකයකි. දෙමවුපියන්ගේ සෙනෙහස දරුවන් වෙත නිබඳ ගලා යා නම් තාක්ෂණික ලෝකය හමුවේ දරුවන්ට දැනෙන වෙහෙස, හුදෙකලාව යම් පමණකට හෝ මඟ හැරෙනු ඇත. එහෙත් අද වැඩිහිටියන්ගේ ලෝකය ද දැඩි තරගයකට යොමු වීම නිසා දරුවන්ට දිය යුතු සෙනෙහස මඟහැරී ඇත. දරුවන් විභාග තරගයට යොමු කරමින් තමන්ට මඟහැරුණා ය කියා හිතන ඉලක්ක වෙත දරුවන්ගේ දෙපාවලින් දෙමවුපියන් දුවන්නට වීම නිසා ද ළමා ලෝකය ඕනෑවටත් වඩා වෙහෙස කරවමින් සිටී.

වයසත් සමඟ දැනුමෙන් ද පරිණත වීම හැරුණු විට කියවීම දරුවන්ට ඉතා වැදගත් වන්නේ, තාක්ෂණික ලෝකය තුළ දැනෙන චිත්ත පීඩාවට කියවීමෙන් ලැබෙන උත්තේජනය වටිනා සහනයක් බැවිනි. කියවීම පොදුවේ මිනිසාගේ ජීවිතයට වැදගත් ම අංගයකි. විශේෂයෙන් ම තාක්ෂණික දියුණුවට කළ නොහැකි එහෙත් මිනිසාගේ ජීවිතයට අත්‍යවශ්‍ය ආධ්‍යාත්මික සංවර්ධනයට කියවීම මනා පිටුබලයකි. දරුවන් කියවීම වෙත හැරීම තාක්ෂණික ලෝකයේදී දුර්ලභ වුව ද ඒ මඟට ගැනීමේ වගකීමෙන් වැඩිහිටියන්ට ඉවත්ව යා නොහැකි ය. මවුපිය - වැඩිහිටි සෙනෙහස දරුවන්ට සොඳුරු ලොවක් තනන්නේ එකී වගකීම් නිසි පරිදි ඉටු වන්නේ නම් පමණි.

තාක්ෂණික ලෝකය පුද්ගල කණ්ඩායමකට හෝ තනි රටක සමාජයකට හෝ වෙනස් කළ හැකි ප්‍රවණතාවක් නො වේ. එහෙත් ඊට මුහුණ දිය යුතු ය. ඒ, ලෝක ප්‍රවණතා හමුවේ වුව ද මානුෂීය ගනුදෙනු, සහජීවනය, ඉතිරි කර ගැනීම වෙනුවෙනි; මාපිය වැඩිහිටි සෙනෙහස රැඳුණු දරුවන්ගේ සොඳුරු ලොව වෙනුවෙනි. එහෙත් ඒ මුහුණදීම වැඩිහිටියන් වෙතින් මඟහැරී යන නිසා දරුවන්ගේ සොඳුරු ලොව ඔවුන්ගෙන් ඈත් වෙමින් තිබේ. කියවීම සොඳුරු ලොවක් ළඟා කර ගත හැකි මඟක් නමුත්, කියවීමට තරම් දෙයක් අද ලියවෙන්නේ නැතැයි දරුවන්ට හැඟී යා නම් එය වැඩිහිටියන්ට තම වගකීම මඟහැරී ඇති අවස්ථාවකට නිදසුනකි.

අද වැඩිහිටි පරපුර, කියවීමෙන් උත්තේජනයක් ලැබූ, දැනුමෙන් පෝෂණය වූ, එමඟ ගෙන පරිණත වූ සමාජයකි. තමන් කියවීමට යොමු කළ කරුණාසේන ජයලත්, ටී.බී. ඉලංගරත්න වැනි ලේඛකයන්ගේ ලිවීම අද ලියවෙන්නේ නැති බව මේ වැඩිහිටි පරපුර දනී. දරුවන් තාක්ෂණික ලෝකයෙන් මෙපිටට‍ ගන්නට නොහැකි වීම කෙරෙහි කියවන්නට දෙයක් නැති ආකාරයේ හිස් තැන් ද ඔවුන්ට බලපාන බව වැඩිහිටියන් අවබෝධයට ගත යුතු යි. දරුවන්ගේ සොඳුරු ලොව සඳහා කියවීමට යමක් පැරණි පොතපත පෙරට ගැනීමෙන් සොයා ගත හැකි ය. ඒ බව දරුවන්ට පෙන්වා දීම අද වැඩිහිටි පරපුරේ වගකීමකි.

භෞතික ලෝකය ජය ගන්නා තරගය වෙත දරුවන් පිම්මේ යොමු වන්නේ තාක්ෂණයට යට වූ ලෝක ප්‍රවණතාව හා එහි පෙලඹුම නිසා ය. දරුවන්ගේ අනාගතය ගැන කනස්සලු වන දෙමවුපියන් හෝ වැඩිහිටියන් හෝ හැම විට ම ඒ පිළිබඳ අවබෝධයෙන් සිටිය යුතු යි. විභාග තරගයට ම යොමු කරවනවා මිස පාසල තුළ ද ළමයාට පෙන්වන සොඳුරු ලොවක් නැති බව පළමුව කල්පනාවට ගත යුතු වන්නේ දෙමවුපියන් ය.

භෞතික දියුණුව එක ම දිනුම ලෙස දකින, ඒ හඹා යෑම වෙනුවෙන් තාක්ෂණික ලෝකයට යට වන, හිතේ සතුට නැති වීම නමැති කටුක අඳුරින් ළමා ලෝකය වැසී යමින් තිබීම ලෝකයට ම පොදු කතාවකි. ළමයින් සඳහා සොඳුරු ලොවක් යනු හිතේ සතුට නමැති ආලෝකයට ඉඩ පාදා ගැනීම යි. එකිනෙකා අතර සහජීවනය වඩන, අනෙකා කෙරෙහි සංවේදි වන, ආධ්‍යාත්මික නැඹුරුව ද සහිත සමබර ජීවිතයකට ඉඩ සැලසීම දරුවන් වෙනුවෙන් සෙනෙහස රැඳවීම වේ. සමාජයක් ලෙස මෙන් ම පුද්ගලයන් ලෙස ද ඒ සඳහා මඟ පෑදීම, දරුවන්ට ආදර්ශයක් වීම දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් වැඩිහිටියන්ට අද කළ හැකි මෙහෙවර යි. මවුපිය - වැඩිහිටි පරපුරට එය පැහැර හැරිය නොහැකි වගකීමකි. 

Comments