
දැනට දශක පහ-හයකට ඉහත ශ්‍රී ලංකාව සිංගප්පූරුවට වඩා ඉදිරියෙන් තිබුණත්, අද කතා කරන්නේ මේ රට සිංගප්පූරුවක් බවට පත් කර ගැනීම ගැන යි! එහෙත් සිංගප්පූරුව තරමට හෝ මේ රට දියුණුව කරා ගෙන ඒම හිතන තරම් ලෙහෙසි ද නො වේ. එසේ වන්නේ එවැනි ඉදිරි ගමනකට අවශ්‍ය හැකියාව හෝ මානව සම්පත් නැති නිසා නො වේ.
සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ වෙනත් සාධක කිහිපයක් දිගින් දිගට ම අප මඟහරිමින් හෝ අමතක කරමින් හෝ ඇති බැවිනි. ඒ මඟහැරීම හෝ අමතක වීම හෝ ප්‍රධාන වශයෙන් සිදු වන්නේ දේශපාලනයේ දී ය. රටේ ඉදිරිය වෙනුවෙන් හරි මඟ නොගන්නා ඒ දේශපාලනය පටු අරමුණු අරභයා සමාජීය වශයෙන් ද අනුමත වන නිසා රටක් ලෙස ම මේ පසුබෑමට වගකිව යුතු ව ඇත.
සිංගප්පූරුව එතැනට ගෙන එනු ලැබුවේ පිරිසුදු දේශපාලනය විසිනි; නීතිය නිවැරදි ව ක්‍රියාවට නැංවීමෙනි; එමෙන් ම කාගේත් කැප වීම මතිනි. මෙරටෙහි වෙසෙන හිතන පතන ජන පදාසයේ නිරන්තර බලාපොරොත්තුව ද රට ඒ මඟට ගැනීම යි. යහපාලනය ඇති කිරීම පිණිස සම්මුතිවාදි ආණ්ඩුවකට ජන වරම ලැබෙන්නේ ද ඒ අනුව යි.
එහෙත් පිරිසුදු දේශපාලනය, නීතිය සාධාරණ වීම හා කාගේත් කැප වීම යන සාධක ජීවමාන නොවීම මත ඒ ජනතා බලාපොරොත්තුව බිඳ වැටෙයි. විශේෂයෙන් ම පිරිසුදු දේශපාලනය හා සාධාරණ නීතිය යන සාධක කාගේත් කැප වීම ඇති කිරීම කෙරෙහි තීරණාත්මක ව බලපායි. කැප වීම වෙත සමාජයක් යොමු කිරීමට දිරි ගැන්වීම ද එය ම වුණත්, දේශපාලනයේ දී නොවන්නේ ද එය යි.
ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන විට, යුරෝපයට ඇති - එහෙත් දකුණු ආසියාවට නැති පුරුද්දක් ශ්‍රී ලංකාව මෙතැනින් ඉදිරියට ගැනීම කෙරෙහි දරුණු ලෙස බලපායි. ඒ අන් කිසිවක් නො ව, ජනවරමකින් පැරදුණත් බලය අත්හරින්නට බලය අත දැරූ අය දක්වන අකැමැත්ත යි. බලය යනු කලින් කලට වෙනස් වෙන භාරකාරත්වයක් මිස පරම්පරා බූදලයක් නොවන බව සිතන්නට එවන් නායකයන් කල්පනා කරන්නේ නැත.
සමීප ම නිදසුන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වසර දෙකහමාරකට පසුවත් තමන් තවමත් පක්ෂයේ නායකයා බව ප්‍රකාශ කිරීම යි. බලයෙන් මත් වී එය අත්හරින්නට ඇති අකැමැත්ත අනුව කළ ප්‍රකාශයක් මිස, එය අමතක වීමකින් කළ ප්‍රකාශයක් ලෙස සැලකිය නොහැකි යි.
එවැනි ප්‍රකාශයකින් කෙරෙන්නේ එක අරමුණකට කැප විය යුතු ජන සමාජය විවිධ අතට බෙදා විසුරුවාලීම යි. පක්ෂ දේශපාලනය විසින් දිගු කලක් තිස්සේ රටේ ඉදිරි ගමනට හරස් කරන ලද මහා බාධකයක් එවැනි ප්‍රකාශයක් මඟින් තව දුරටත් තහවුරු කරයි. ඔහු පැරදුණාට පසු පන්සල් ගානේ ගොස් කරන්නේ ද ජන සමාජය එකිනෙකාට වෛර කරන තැනකට බෙදීම යි. පන්සල අත්හරින්ට පොලඹවන තැනක් විය යුතු යි.
එහෙත් පැරදුණු දේශපාලනයේ පටු අරමුණු වෙනුවෙන් ගමේ දායක සභාව පවා දෙකට තුනට බෙදී කුලල් කා ගන්නා තැනට පන්සල පවා පත් කරනු ලැබ ඇත. යටත්විජිත පාලකයන්ට එදා ඔවුන්ගේ පාලනය පහසු කර දුන්නේ ද මේ බෙදීම යි. හිටපු නායකයා දැනට කරගෙන යන, ජන සමාජය විවිධ අතට බෙදීම අවසානයේ රටට හතුරු අතකට වාසි සැලසෙනවා මිස, එයින් රටට සමාජයට අත් වන යහපතක් නැත.
දේශපාලනය පිරිසුදු කිරීමට දේශපාලකයන් කැප නො වී, අනෙක් තැන් පිරිසුදු කරන්නට කතා කිරීම විහිළුවකි. තම සොරකම වසා ගැනීමට අනෙකාගේ සොරකම හුවා දැක්වීම සාධාරණ නීතිය නො වේ. ජනවරමකින් පැරදුණාට පසු හෝ බලය අත්නොහැරීම ජනතා සිතුම් පැතුම් ඉටු කිරීමක් නො ව, රටත් සමාජයත් තව දුරටත් ආපස්සට ඇදීමකි. හිතන පතන මිනිසුන්ගේ කැප වීම මොට කිරීමට කාලයත් සමඟ වෙනස් නොවීමත් තීරණාත්මක ව බලපානු ඇත.