මේ අවුරුදු කාලේ හිනා වෙයන් රාලේ | සිළුමිණ

මේ අවුරුදු කාලේ හිනා වෙයන් රාලේ

ශ්‍රී ලංකාව සතුව ප්‍රධාන අලුත් අවුරුදු උත්සව හතරක් තිබේ. ඉන් පළමුවැන්න නම් ජනවාරි 1 දාට යෙදෙන අලුත් අවුරුද්දය. ග්‍රෙගරි පාප්තුමා විසින් සාදන ලද අලුත් කැලැන්ඩරයට අනුව 1582 ජනවාරි 1 දා මේ කියන අලුත් අවුරුද්ද මුල් වරට සමරන ලදී. මේ රට ලංකාව ලෙස පැවති කාලයේදීත් සිලෝන් ලෙස පැවති කාලයේදීත් ශ්‍රී ලංකාව ලෙස පවතින මෙදාත් ජනවාරි 1 දා අලුත් අවුරුද්ද හැකි උපරිමයෙන් සමරනු ලැබේ. අප විසින් සමරනු ලබන ඊළඟ අලුත් අවුරුද්ද වන්නේ සිංහල අවුරුද්දය. මෙය විජයාගමනයෙන් පසු සහ බුදු දහම මෙහි පැළපදියම් වූ පසු සැමරීමට පටන්ගත් අලුත් අවුරුදු උත්සවයකි. මෙයට සමගාමීව ශ්‍රී ලංකාවේ හින්දු දෙමළ ජාතිකයෝ ද එම අලුත් අවුරුද්ද සමරති. බොහෝවිට මේ අලුත් අවුරුද්ද ලබන්නේ අප්‍රේල් 14 දාය. එබැවින් මෙය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වශයෙන් හඳුන්වනු ලැබේ.

මෙයින් පළමුව හටගත්තේ සිංහල අවුරුද්ද ද නො එසේ නම් දෙමළ අවුරුද්ද ද යන කාරණය සෙවීම සඳහා අප දන්නා තරමින් ශාස්ත්‍රීය පර්යේෂණයක් සිදු කෙරී නැත. එක අතකට මෙකල තිබෙන මතවාදයන්ට අනුව ශාස්ත්‍රීය පර්යේෂණවල ප්‍රතිඵල වලින් සාමාන්‍ය ජනතාවගේ බඩ පිරෙන්නේ නැත. එබැවින් මුලින් හටගත්තේ කිකිළිය ද නැත්නම් බිත්තරය ද යන්න සෙවීම මෙන් පළමුව හට ගත්තේ සිංහල අවුරුද්ද ද නැත්නම් දෙමළ අවුරුද්ද යන්න සෙවීම නිෂ්ඵලය. තුන්වනුව ලංකාවේ සමරන අලුත් අවුරුද්ද වන්නේ දීපාවලි උලෙළයි. දෙමළ සම්භවයක් ඇති මෙම උලෙළ ලංකාවේ අලුත් සහල් මංගල්‍යය හා සමාන වන අතර මෙහි ප්‍රධාන අංගය වන්නේ පහන් පත්තු කිරීමයි. ඒ අතර, ඉස්ලාමීය අලුත් අවුරුද්ද හෙවත් හිජ්රි ලෙස හඳුන්වන අරාබි අලුත් අවුරුදු උත්සවයක් ද මේ රටේ සමරනු ලැබේ. එම සැමරුම පටන් ගන්නේ ක්‍රිස්තු වර්ෂ 622 සිට ය. මහම්මත්තුමා ස්වකීය අනුගාමිකයන් ද සමඟ මක්කම සිට මදීනා නුවරට පය ගසන්නේ මෙදාය. මේ අවුරුද්දේ මේ කියන අලුත් අවුරුදු දවස යෙදී ඇත්තේ ජූලි මස 18 වනදාටය.

ශ්‍රී ලංකාව යම් තරමකට හෝ හොඳට, අවුරුදු තුනකට පසු සිංහල අලුත් අවුරුද්ද සමරන්නේ මෙවරය. ගිය අවුරුද්දේ ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, දේශපාලන අස්ථාවරත්වය සහ රාජ්‍ය විරෝධී පෙළපාලි නිසා සිංහල අවුරුද්ද ස්වරූපමය වශයෙන් ඇද වුණු කොකිසක් හෝ කොණ්ඩය නැති කැවුමක් හා සමාන විය. ඊට කලින් අවුරුදු දෙකේදී කොවිඩ් වයිරසය විසින් සිංහල අවුරුදු උත්සව දෙකක් කා දමන ලදී. කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් අත්දැකීම් නොතිබූ එවකට පැවති ආණ්ඩුව ඕනෑවට වඩා රට වසා තැබීම නිසා අපට සිංහල අවුරුදු කන්නටත් සිංහල අවුරුද්දට අප කන්නටත් අවස්ථාව ලැබුණේ නැත.

මීට පෙර මේ අන්දමින් දියවී ගිය සිංහල අවුරුද්දක් යෙදී තිබුණේ 1971දීය. 1971 අප්‍රේල් 5 දා ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට පහර දෙන ලදී. එවකට කැරලි මර්දනය පිළිබඳ කිසිදු අත්දැකීමක් නැති ශ්‍රී ලංකා පොලිසිය හා යුද හමුදාව තරුණ තරුණියන් සමූල ඝාතනය කරන්නට පටන් ගත්තේය. ඊට ප්‍රමුඛ හේතුව වුණේ එවකට තිබූ ආණ්ඩුව ප්‍රමාණයට වඩා JVPයට බය වීමය. මේ නිසා ඒ 1971 අවුරුද්දේ අප්‍රේල් 14 දා රතිඤ්ඤාවක්වත් පත්තු නොකරන ලදී. රතිඤ්ඤා යනු ගිනි අවි ඛාණ්ඩයට අයත් භාණ්ඩයක් නොවේ. එහෙත් රතිඤ්ඤා තුළ තිබෙන වෙඩි බෙහෙත් ගිනි අවි ඛාණ්ඩයේ බඩුය. මේ අනුව අවසන් විග්‍රහයේදී කඩවල භාණ්ඩ විකිණීම තහනම් කිරීමට පොලිසියට සිදු විය. එවකට තිබූ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව ජේ.වී.පී.යට ඕනෑවට වඩා බය වුණේ ආණ්ඩු පෙරළියක් ඇති කිරීමට තරම් ශක්තියක් ඔවුන් සතුව ඇතැයි සිතමිනි. එහෙත් ඉතා ප්‍රාථමික ගිනි අවි සහ කැති පොලුවලින් කෙරෙන ගෝත්‍රික සටනකට වැඩි වෙනසක් ජේ. වී. පී. කැරැල්ල තුළ තිබුණේ නැත. එසේම තවත් වැදගත් යමක් කිව යුතුය. අවුරුද්දකට දවස් 365 ක් තිබේ. මේ දවස් 365 න් දවස් 70 ක් පමණ විවිධ රටවල අලුත් අවුරුදු දින යෙදේ. ඒ දිනවල යෙදෙන අලුත් අවුරුදු උත්සව සියල්ලටම සහභාගී වීමට නම් පුද්ගලික ජෙට් එකක් තමන්ට තිබිය යුතුය. සිංහල අවුරුද්දට අවුරුදු අධිෂ්ඨානයක් තිබේ. මේ අවුරුද්දේ අපේ එකී අදිටන මෙහෙය විය යුත්තේ ඊළඟ අවුරුද්දේ සිංහල අවුරුදු දවස මීට වඩා සාර්ථක කර ගැනීමටය.

මෙවර සිංහල අවුරුද්ද වෙනුවෙන් ආණ්ඩුව හැකි සහනාධාර ලබාදී තිබේ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කල් තබා ගෙවීමත්, පාරිභෝගික භාණ්ඩ මිල අඩු කිරීමත් මෙවර සිදු කර ඇත. ඒ සමඟ ම රුපියල ශක්තිමත් වීමෙන් යම් වාසියක් ලැබී තිබේ. ආණ්ඩු පෙරළීම සඳහා මහ පාරට විත් බෙරිහන් දී කවුරු හෝ පුද්ගලයකු දෙන බත් පාර්සලයක් කා දමා ඇතැම් රාජ්‍ය නොවන සංවිධානයකින් බෙදන සල්ලි කොළ කිහිපයකුත් රැගෙන ගෙදර යාමට පුරුදුව සිටින අයට මේ වගක් තේරෙන්නේ නැත. අපේ රටේ සිටින කොයි ජාතියටත් හරියට අවුරුදු කෑ හැක්කේ රට සශ්‍රීක වූ විට පමණි. කොළඹ කන්තෝරුවල වැඩ කරන මහත්වරු උදේට හා හවසට කොටම කොට ජංගි කෑල්ලක් ඇඳගෙන ව්‍යායාම පිණිස ගම වටා දුවන නමුදු එක උදලු පාරක් මහ පොළවට ගසන්නේ නැත. ඒ ගැන ප්‍රශ්න කළොත් ඔවුන් කියනු ඇත්තේ තමන් කිසිදු හොරයක් බොරුවක් නොකර ආදායම් බදු ගෙවන බවය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් බදු ගෙව්වා යැයි කියා ගොයම් ගස් පහළ වන්නේ නැත. කිරි හරක් පහළ වන්නේ ද නැත. මඤ්ඤොක්කා හෝ බතල අල බහින්නේ ද නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ රට භාර ගන්නේ එය ඉතා නරක ලෙස කඩා වැටෙමින් තිබූ මොහොතකදීය. කෙසේ හෝ මාස 8 ක් තුළ ඔහු මේ රට ගොඩ දැම්මේය. ඒ නිසා ලබන අවුරුද්දේ මීටත් වඩා හොඳට අවුරුදු කෑමට හැකි රටක් අපට දෙන මෙන් අපි ඉල්ලා සිටිමු.

Comments