බුද්ධි­යට වෛර කිරීම සහ ප්‍රඥා­වට සම­ච්චල් කිරීම | සිළුමිණ

බුද්ධි­යට වෛර කිරීම සහ ප්‍රඥා­වට සම­ච්චල් කිරීම

මේ රටේ වසර තිහක් තිස්සේ පැවති බෙදුම්වාදී යුද්ධය දිනුවේ ත්‍රිවිධ හමුදාව මිස දේශපාලනඥයන් නොවන බව අපි සෑම කල්හිම කියන්නෙමු. එහෙත් යුද ජයග්‍රහණය සඳහා මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ කළ දේශපාලනික මෙහෙවර කිසි කලෙකත් අමතක කළ හැකි නොවේ. ගෝඨාභය රාජපක්ෂට මේ මොහොතේදී අත්වී තිබෙන ඉරණම ඛේදවාචකයකි. යුද ජයග්‍රහණයේ එක් ප්‍රමුඛ පාර්ශ්වකරුවකු වූයේ සරත් ෆොන්සේකාය. ඔහු සමගි ජන බලවේගයේ සභාපති වුවද සරත් ෆොන්සේකා ප්‍රකාශ නිකුත් කරන්නේ වෙනම අලුත් පක්ෂයක නායකයකු ලෙසය. ඔහු කියන සෑම කතාවක්ම සමගි ජනබලවේගයේ මතය නොව ෆොන්සේකාගේ පුද්ගලික මතය බවට ප්‍රකාශ කිරීමට නිතරම සමගි ජනබලවේගයට සිදු වේ. ඉකුත් 9 දා ගෝල්ෆේස් පරිශ්‍රයෙන් හෝ වෙනත් තැන්වලින් අරගලය නැවත අරඹා ආණ්ඩුව එලවා දමමු යැයි ෆොන්සේකා කීවේය.

එහෙත් ඔහුගේ ඉල්ලීම කිසිදු අරගලකරුවෙක් තඹ දොයිතුවකටවත් ගණන් ගත්තේ නැත. ඒ වෙනුවට අරගලකරුවන් කළේ ආණ්ඩුවට විරුද්ධව අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් හතරකුත් ඉල්ලා අස්කරගෙන තමන් විසින් අරගල භූමියට ගෙනා කූඩාරම් ගලවා බේරේ වැවට විසිකර ගෙදර යාමය. මේ අරගලය පටන් ගත්තේ නිර්පාක්ෂික සහ නිරාගමික අරගලයක් හැටියටය. අරගලයේ පළවෙනි කොටසේදී ඒ ගුණාංගය එසේම පැවතියද එහි දෙවන කොටස පටන් ගන්නා විට සම්පූර්ණ පරිවර්තනයක් සිදුවිය. අරගලයේ දෙවැනි කොටසේදී වඩා බලවත් වූයේ නිර්පාක්ෂික හා නිරාගමික තරුණ තරුණියන් නොව වෙනත් අරමුණු වෙනුවෙන් පෙනී සිටියවුන් ය. අරලිය ගහ මන්දිරයත්, ජනාධිපති මන්දිරයත් කොල්ලකන ලද්දේ මෙකී වෙනත් අපේක්ෂාවන් විසින් කුළු ගැන්වුණු අයගෙනි. අද මේ කියන අය එකා බැගින් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබේ. රාජ්‍ය දේපලවලට හානි කිරීම බරපතළ වරදකි. ආණ්ඩුව පෙරලූ පසු ජනාධිපති මන්දිරයත් පෙරළා දැමිය හැකි බවට මෝඩ චූන් එකක් පාදඩ පන්තිය තුළ තිබේ. ඔවුන් හිතන්නේ ජනාධිපතිගේ පුටුවේ ඉඳ ගැනීම, ජනාධිපතිගේ කොඩිය ඇඳ රෙද්දක් ලෙස පාවිච්චි කිරීම, එහි තිබෙන ස්විමින් පූල් එකේ මළපහ කිරීම කිසිදු දඬුවමක් නොලබන විප්ලවීය කටයුත්තක් ලෙසය. එහෙත් අරගලයක් නිමවී රට සන්සුන් වී නීතියේ ආධිපත්‍යය තහවුරු වීමෙන් පසු පොදු දේපලවලට හානි කළ සාපරාධි පාදඩ අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම හැම රටකම සිදු වේ.

අරගලයකදී මරා දමන ලද හැම ජීවිතයකට මිනීමරුවා වගකිව යුතුය. ඊජිප්තුවේ ආණ්ඩුව පෙරළීම සඳහා මෙයට අවුරුදු කිහිපයකට පෙර පැවති අරාබි වසන්තය නමැති අරගලයේදී රජයේ නිලධාරීන් ඝාතනය කළ හැම අරගලකරුවකුම එල්ලා මරණ ලදී. මෙවැන්නක් සිදු නොවූයේ ලිබියාවේ ගඩාෆි ඝාතනයේදී පමණි. කාණුවක් තුළ සැඟව සිටියදී අල්ලා ගන්නා ලද ගඩාෆි, 22 හැවිරිදි තරුණයකු විසින් වෙඩි තබා මරණ ලදී. එහෙත් ලිබියාවේ පවතින අරාබි ගෝත්‍රික සමාජයේ සම්මුතිවාදී එකඟත්වයකට අනුව ගඩාෆි මැරූ තරුණයාට දඬුවම් කළේ නැත. ගඩාෆි ඝාතනය පිළිබඳව පැවති පරීක්ෂණයකදී හෙළිවූ පරිදි ගඩාෆි විසින් දහස් ගණනක් ඝාතනය කරන ලද බව ඔප්පු විය. ඒ අනුව ඔහුට මරණ දඬුවම හිමි ය. එම දඬුවම ක්‍රියාත්මක කළ අලුගෝසුවා ලෙස ගඩාෆිට වෙඩි තැබූ තරුණයා නීත්‍යානුකූල ලෙස හඳුනාගන්නා ලද අතර ඔහුට නිදහස ලැබිණ.

ශ්‍රී ලංකාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතී. වැඩවර්ජන, උද්ඝෝෂණ සහ කඩාකප්පල්කාරී ක්‍රියා වලින් බැහැරව නැවත වරක් ඉතා දුකසේ ජීවිතය ගෙන යාමට ජනතාව පටන්ගෙන ඇත. රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ තෙල් පෝලිම් සහ ගෑස් පෝලිම් ක්‍රමයෙන් අතුරුදන්වී තිබේ. බඩු මිල යම් ප්‍රමාණයකට අඩු වුවද එහි වාසිය පාරිභෝගිකයාට නොලැබීම අවාසනාවකි. ලයිට් බිල 75% න් වැඩි වීම සමාන වන්නේ වොල්ටීයතාව 33,000 ක් වූ අධිබල කරන්ට් වයර් එකක් අතින් ඇල්ලීමටය. ළඟදී වැඩිවන වතුර බිල නිසා ජනතාවගේ ජීවන බර බෙහෙවින් කටුක වනවා ඇත. එහෙත් නීතිය සහ සාමය නැවතත් හිස එසවීම රටේ වාසනාවකි. ගැටුම්, සටන්, දේශපාලනඥයන්ගේ කුණු වැඩ සහ නිලධාරීන්ගේ දූෂණ නිසා ජනයා අපේක්ෂා භංගත්වයට පත්ව සිටිති. සරත් ෆොන්සේකා වැනි රණවිරුවකු මෙවැනි රෝගී සමාජයකට තවදුරටත් විෂබීජ ඉසින්නට තැත් කිරීම ජාතියේ අවාසනාවක් නොව ෆොන්සේකාගේම අවාසනාවය. මෙවැනි වැඩ නිසා රණවිරු සරත් ෆොන්සේකා “හිටපු රණවිරු” සරත් ෆොන්සේකා බවට පත්වෙයි. අරගලයට ප්‍රතිපත්තියක් වශයෙන් ආශිර්වාද කළ ද අරගලකරුවන් ප්‍රචණ්ඩත්වයට පත්කිරීම සඳහා කටයුතු කිරීමට ස.ජ.බ. නායක සජිත් ප්‍රේමදාස කිසිදු ප්‍රකාශයක් කළේ නැත. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ වෙනත් කිසිදු වගකිව යුතු දේශපාලන පක්ෂයක් අරගලයෙන් ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීමට වැඩකර නැත. සාමය තරම් වටිනා දෙයක් නැති බව අරගලය අවසන් වීමෙන් පසු අපට වැටහෙන්නට පටන්ගෙන තිබේ. රටේ නීතිය ආධිපත්‍යය යළි තහවුරු වීම ජනතාවගේ වාසනාවකි.

පිරිසිදු අරගලයක් දේශපාලනඥයන් හෝ හාල්පාරුවන් අතට පත්වීමට කිසිකලෙකත් ඉඩ දිය යුතු නැත. නිර්පාක්ෂිකව තිබූ අරගලය එහි දෙවැනි වටයේදී සර්ව පාක්ෂික විය. අහිංසාවාදීව තිබූ අරගලය එහි දෙවැනි වටයේදී ප්‍රචණ්ඩ කොල්ලකරුවන්ගේ ආධිපත්‍යට යටත් විය. මිනිසුන්ගේ ගෙවල් ගිනි තැබීමෙන් ප්‍රශ්න විසඳිය හැකි නම් මේ රටේ සියලුම දෙනා ස්වේච්ඡාවෙන්ම තම තමන්ගේ ගෙවල් ගිනි තබා ගන්නවා ඇත. ගෝල්ෆේස් අරගලකරුවන්ට අරලියගහ මන්දිරේ දාමරිකයන් පහරදීමෙන් පසු දේශපාලනඥයන් සිය ගණනකගේ ගෙවල් ගිනි තබන ලදී. එක්තරා විද්‍යුත් මාධ්‍යයක ආරාධනයෙන් කොළඹ හතේ පස්වෙනි පටුමගට එක්රැස් වූ කොල්ලකරුවන් පිරිසක් හිටපු දේශපාලනඥයකුගේ පුත්‍රයාගේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහගේ ගෙට ගිනි තිබ්බේය. මෙයින් ඒ ගෙදර තිබූ පොත් තුන්දහසකින් සමන්විත පුස්තකාලයෙන් භාගයක් අළු විය. මෙයට අවුරුදු දහස් ගණනකට පෙර එවකට පැවති ලොව විශාලතම පුස්තකාලය වූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ මහා පුස්තකාලයට ගිනි තබන ලද්දේ බුද්ධියට වෛර කළ නොහික්මුණු පිරිස් විසිනි. යාපනේ පුස්තකාලයට ගිනි තබන ලද්දේ ද එවැනිම පිරිසකි. කිසියම් රටක මෙවැනි පන්තියක නැඟී සිටීම වැළක්විය යුත්තේ මේ කරුණු නිසාය.

 

Comments