
අරගලය හෝ විප්ලවය පිළිබඳ ලෙනින්ගේ අදහස මෙසේය; අරගලය හෝ විප්ලවය යන දෙකම අශුද්ධය. ස්ත්‍රී, දූෂණ, සොරකම්, මිනී මැරුම් ඇතුළු පාපකර්ම රැසක් ඒ තුළ ඇත. එහෙත් අරගලයේ හෝ විප්ලවයේ අවසන් ඵලය පාරිශුද්ධය. එනම් අශුද්ධ අරගලයෙන් පසු යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ අවස්ථාව පණ පිටින් ඉතිරිවන ජනයාට ලැබෙයි.
1917 ඔක්තෝබර් මාසයේ දවසක ලෙනින්ගේ විනයවත් රතු හමුදාව රුසියාවේ සාර් රජ මාළිගය ආක්‍රමණය කළහ. ඉන්පසු රතු හමුදාව මුලින්ම කළේ සාර් රජුගේ බල්ලාට වෙඩි තබා මැරීමය. ඒ බල්ලා ධනවාදය හෝ සමාජවාදය ගැන කිසිත් දැන නොසිටි අසරණයෙකි. ඊළඟට මේ රතු හමුදාවේ සෙබළු සාර් රජ මාලිගය පිහිටි සුරතල් මසුන් ඇති කරන පොකුණට පැන එහි සිටි වර්ණවත් මසුන් සියලුම දෙනා පුලුස්සා අනුභව කළහ. තුන්වන අවස්ථාවේදී රතු හමුදාවට දකින්නට ලැබෙන්නේ සාර් ගේ සත්තු වත්තය. මෙහි සිටි ගෝනුන්, මුවන්, හාවන්, දුර්ලභ ඝනයේ ගව වර්ග සහ මොනරුන්ද රතු හමුදාව විසින් මරාගෙන කන ලදී. ඉහත කී විසිතුරු මසුන් සහ සත්තු වත්තේ සිටි දුර්ලභ සත්තු සාර් හෝ රුසියන් රජ පරම්පරාව හෝ විප්ලවය ගැන හෝ කිසිවක් දැන සිටියේ නැත. බඩ කට පිරී ගිය පසු රතු හමුදාව මාළිගය කොල්ලකෑමට පටන් ගත්හ. එවැනි විටෙක එවැනි කොල්ලයක් නැවත්වීමට නොහැකිය. ලෙනින් එතනට ඇවිත් එපා කීවත් රතු හමුදාව කොල්ලකෑම නවත්වන්නේ නැත. සමහරවිට ලෙනින් වැඩිදුරටත් කතා කරන්නට ගියා නම් ඔහුටද වෙඩි කෑමට ලක්වේ.
පසුගියදා කොළඹ නගරයේ පැවති ජන අරගලයේදී අරලිය ගහ මන්දිරය, ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය විනාශ කිරීමට අරගලකරුවෝ පියවර ගත්හ. මේ වනවිට අරලිය ගහ මන්දිරයේ තිබූ ඇතැම් වැදගත් රාජතාන්ත්‍රික රහස් ලියකියවිලිද වෙනත් වටිනා දේ ද අතුරුදන් වී ඇත. අරලිය ගහ මන්දිරයේ තැන තැන ගුල් හාරා තිබේ. ජනාධිපති මන්දිරයේ තත්ත්වයද මෙවැනිම ඛේදවාචකයකි. වසර සිය ගණනක් පැරණි ජනාධිපති මන්දිරයේ උඩ සොල්දරය සම්පූර්ණයෙන්ම සාදා ඇත්තේ දැව වලිනි. පසුගිය දින කිහිපය තුළ, ජනාධිපති මන්දිරය බැලීමට කොළඹට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනගහනය පෙර කී සොල්දරයට නැඟීම නිසා එහි ආධාරක පුපුරා ගොස් සොල්දරය කඩා වැටීමේ තර්ජනයක් හටගෙන ඇත. අරලිය ගහ මන්දිරය, ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන තැන්වලට මුලින්ම ඇතුළු වූ අරගලකරුවෝ ඒවා ජාතික දේපළක් සේ සලකා පාවිච්චි කළ නමුත් ඉන්පසුව මෙම ස්ථාන බැලීම සඳහා රටේ හැම තැනකින්ම වන්දනා නඩ මෙන් බස් සහ කෝච්චි වලින් පැමිණි පිරිස් හැසිරෙන්නට පටන් ගත්තේ සර්කස් එකක සෙල්ලම් පෙන්වන රිලවුන් මෙනි. මේ ඇතැම් රිලව් ජනාධිපති මන්දිරය සහ අරලිය ගහ මන්දිරයේ අහුමුළුවල ගංජා ගසමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී. කෙසේ වුවද අරගලයේ ගිනි සිළු තවමත් දැල්වෙමින් පවතී.
ශ්‍රී ලංකාව මේ ගමන් කරන්නේ කොතැනටද? අපට හැඟෙන පරිදි ශ්‍රී ලංකාව මේ ගමන් කරන්නේ 1997 දී ඇල්බේනියාව ගමන් කළ තැනටය. ඇල්බේනියාව යනු පැරණි කොමියුනිස්ට් රාජ්‍යයකි. පසුව එය ධනවාදී රටක් බවට පත්විය. ඉන්පසු රට තුළ සිටි විවිධ ජාවාරම්කාරයෝ පිරමීඩ් ආයෝජන ව්‍යාපෘති රැසක් පටන් ගත්හ. පිරමීඩ් ව්‍යාපෘති වලින් ඉහළ ප්‍රතිලාභ ලැබුණු නිසා ඇල්බේනියානු වැසියෝ තම දේපළ පමණක් නොව කලිසමද යට ඇඳුමද විකුණා ඒ මුදල් පිරමීඩ ජාවාරම්වල ආයෝජනය කිරීමට පටන් ගත්හ. එහෙත් පිරමීඩ ජාවාරම්වලට සෑම කල්හිම සිදුවන්නාක් මෙන් ඇල්බේනියාවේ පිරමීඩ ව්‍යාපෘතිද එක පිට එක හිටි හැටියේ කඩා වැටෙන්නට පටන් ගත්තේය. ඒ සමඟම පාරට බට මිනිස්සු තම තැන්පතු මුදල් පිරමීඩකරුවන්ගෙන් ලබාදෙන ලෙස ඉල්ලා අරගලයක් දියත් කළහ.
එය ලංකාවේ අරගලය වැනි සුපිරි ආතල් එකක් සැපයූ අහිංසාවාදී නාඩගමක් නොව පසුකායේදී සිවිල් යුද තත්ත්වයක් දක්වා වර්ධනය වූ Public unrest තත්ත්වයක් විය. මේ අනුව ඇල්බේනියාව කොල්ලකරුවන්ගෙන්, ස්ත්‍රී දූෂකයන්ගෙන් සහ වැඩි මිලට කෑම ජාති හා ඩීසල් විකුණන රටක් බවට පත්විය. අල්බේනියානු අරගලයේ සිටම ජනාධිපතිවරු දෙතුන් දෙනෙක්ද අගමැතිවරු තිදෙනෙක් පමණද මාරුවෙන් මාරුවට ඉල්ලා අස්වූහ. එහෙත් එමඟින් ස්වකීය පිරමීඩ් ආයෝජන මුදල් හෝ අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීමට ඇල්බේනියානු ජනතාවට බැරි විය. අන්තිමේදී මේ යුද්ධය නවත්වන ලද්දේ එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් ඇල්බේනියාවට පැමිණීමෙනි.
අප කවදත් ජනතා අරගලවලට පක්ෂපාතය. එහෙත් ජනතා අරගලය පිස්සුවක් නම් ඊට සහයෝගය නොදීමේ අයිතිය අපට ඇත. ශ්‍රී ලංකාව මේ මොහොතේදී ස්වකීය ඉතිහාසයේ වඩාත්ම නරක ආර්ථික සෝදා පාළුවට හසුවී සිටින්නේය. දැන් කිරීමට ඉතිරිව ඇත්තේ එකකුට ගුටි ඇනීම, යුවළක් ගුටි කෙලගන්නා අයුරු ජනේලයේ හිල්වලින් බැලීම වැනි මෝඩ වැඩ කිරීම නොව ජාතියක් වශයෙන් අප යළි පටන්ගත යුතු තැන සොයා බැලීමය. මෙවැනි විධිමත් පාපොච්චාරණයකින් පසු අප කළ වැරදි පිළිගැනීමට අප පුරුදු වියයුතු අතර අලුත් ලංකාවක් බිහිවීම පටන්ගනු ඇත්තේ එකී අවබෝධය මතය. මේ රටේ දැනට තිබෙන ප්‍රශ්න එකක්වත් ලබන සතියේ හෝ ඊළඟ සතියේදී විසඳා අවසන් කිරීමට බැරිය.
මේ අතර අපට හැඟෙන පරිදි ජනතාවාදී පාලනයක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කිරීමට සියලු පාර්ශ්ව ක්‍රමයෙන් එකඟ වෙමින් සිටිති. තව ටික කලක් මේ විදිහට ගියොත් මහ බැංකුවද වසා දැමීමට සිදුවන බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ කියා තිබේ. මහ බැංකුව වැසූ දවසට මේ රට තනිකරම ලේ බැංකුවක් බවට පත්වීමට ඉඩ තිබේ. සොරුන් විසින් එම ලේ බැංකුවේ ඝනකම් බිත්ති කඩා දැමුවහොත් ලේ සියල්ල කානු දිගේ ගලා යාමත් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම අරාජික රාජ්‍යයක් බවට පත්වීමත් වැළැක්විය නොහැකිය.