මෝල් වහ­න්සේ­ලාගේ සහල් කොල්ලය | සිළුමිණ

මෝල් වහ­න්සේ­ලාගේ සහල් කොල්ලය

හල් මාෆියාව යන යෙදුම මේ දිනවල අපට නිතර අසන්නට ලැබේ. වසර 2005 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මේ රටේ ජනාධිපති ධුරය දැරූ අවස්ථාවේදී සම්බා සහල් කිලෝවක් රුපියල් 60 දක්වා මිල ඉහළ ගියේය. මේ අවස්ථාවේදී මේ රටේ විරුද්ධ පක්ෂය ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ගල ග්‍රහයෙන් ගෙන පොළවේ ගසා එවකට තිබූ පොදු පෙරමුණු ආණ්ඩුව දෙකට තුනට නමා බිම දමා පාගන්නට පටන් ගත්තේය. රටේ ජනතාවද විපක්ෂය ද කොතරම් හැඬුව ද සහල් මිල පහත දමා ගැනීමට ආණ්ඩුවට බැරි විය. එයට හේතු වූයේ පොළොන්නරුවේ සහ මරදගහමුල පිහිටි මේ රටේ සහල් රාජධානිය පාලනය කළ සහල් මාෆියා වෙළෙන්දෝ සහල් මිල පහත දැමීමට එකඟ නොවීමය. මෙහිදී ඒ ආණ්ඩුව ඉතා වැදගත් පියවරක් ගත්තේය. හාල් මාෆියාකාරයන් රටට කෙලිනවාය යනුවෙන් හඬ හඬා නොසිටි චන්ද්‍රිකා ආණ්ඩුව වහාම ඉන්දියාවෙන් පොන්නි නමැති සහල් විශේෂයක් ආනයනය කළේය. මේ රටේ ජනයා ජීවිතේ මුල් වතාවට පොන්නි සම්බාවල රස බලන්නේ මේ කියන කාලයේදීය. එම සහල් වර්ගය දේශීය සම්බා සහල් හා සමාන වූ අතර කිලෝව රුපියල් 40 බැගින් විකිණීමට හැකිවිය. මේ කියන කාලයේදී සම්බා, සූදුරු සම්බා යන සහල් වර්ග දෙක හැරුණු විට කීරි සම්බා යන සහල් විශේෂය මේ රටේ නිපදවා තිබුණේ නැත. ආණ්ඩුව විසින් ගන්නා ලද ක්‍රියා කලාපයේ ප්‍රතිඵලයක් වශයෙන් මාසයක් පමණ කාලය තුළදී සම්බා සහල් කිලෝව රුපියල් 40 දක්වා පහත දැමීමට පොළොන්නරු සහල් රාජධානියට සහ මරදගහමුල සහල් පෞර රාජ්‍යට සිදුවිය. ඊට සාපේක්ෂව සුදු කැකුළු, රතු කැකුළු, සම්බා කැකුළු යන සහල්වල මිලද අඩු විය.

සහල් මිල රුපියල් 60 ට ගිය විට රෙදි කරේ තබාගෙන නැටූ මේ රටේ ජනතාවට අද සිදුවී ඇත්තේ සම්පූර්ණයෙන්ම හෙලුවෙන් නටන්නටය. මන්ද යත් මේ වනවිට සුදු කැකුළු කිලෝවක පාලන මිල රුපියල් 220 තෙක් ඉහළ ගොස් තිබේ. එම පාලන මිල වලංගු වන්නේ පිළිගත් සුපර් මාකට් ජාල දෙකකටත් සතොස වෙ‍ෙළඳසල් සමූහයටත් පමණි. සාමාන්‍ය සිල්ලර කඩවල සුදු කැකුළු කිලෝවක් රුපියල් 260 කි. සාමාන්‍ය සම්බා කිලෝව රුපියල් 300 ට පමණ කිට්ටු වී තිබේ. ඩඩ්ලි සිරිසේනගේ සහ සිරිපාල ගම්ලත්ගේ කීරි සම්බා රුපියල් 260 උපරිම මිලක තිබුණ ද ඒවා ආගිය අතක් නැත. මෙය දීර්ඝ කතාවකි.

ශ්‍රී ලංකාවේ සහල් මිල පාලනය කරන්නේ වී මෝල්කාරයන් කිහිප දෙනකුත් සුපර් මාකට් ජාල කිහිපයකුත් මඟිනි. ඉහත සඳහන් සුපර් මාකට් සමූහය වී ගොවීන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් පවත්වති. එම ජාලය සමඟ සම්බන්ධකම් පවත්වන කුඹුරු ගොවියකු අසනීප වූ කළ අදාළ රෝගියාගේ නෑ හිතවතුන්ටත් කලින් සුපර් මාර්කට් නියෝජිතයෙක් ඔහුගේ නිවසට දුවයි. ඔහුට බේත් හේත් සියල්ලම සුපර් මාකට් ජාලය ගානේ සැපයෙන අතර ඒවා පසුව අයකර ගනු නොලැබේ. කුඹුරු ගොවියකුගේ ට්‍රැක්ටරය හැප්පුණු විට සුපර් මාර්කට් නියෝජිතයෝ ඉන්ෂුවරන්ස් කොම්පැනියටත් පෙර ගොවියා වෙත දුවති.

ගොවියාගේ තුවාලවලට බෙහෙත් දමන්නේත් ඔහුගේ ට්‍රැක්ටරය අලුත්වැඩියා කරන්නේත් සුපර් මාකට් එකය. මෙහිදී ගොවියාට වාසි දෙකක් ලැබේ. පළමුවැන්න සුපර් මාර්කට් ජාලයේ වියදමින් ට්‍රැක්ටරය අලුත් වැඩියා කරදීමය. දෙවැන්න ට්‍රැක්ටරයේ ඩැමේජ් එක සහ තමන්ට සිදුවූ ඩැමේජ් එක ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවීමය. මේ මානුෂික ප්‍රවේශය නිසා තම සියලු අස්වැන්න ඉතා හොඳ මිලකට සුපර් මාර්කට් ජාලයට විකිණීමට ගොවියාට සිදුවෙයි. හාල් මෝල් කාරයාගේ ප්‍රවේශය මීට වඩා වෙනස්ය.

ඔහු ගොවියාට ණය දෙයි. ගොයම් කපන දාට කුඹුරටම ගොස් ණය අඩු කරගෙන වැඩි මිලකට වී ගනී. මේ වන විට ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව නිපදවන වී වලින් 80% ක් සුපර් මාර්කට් කාරයන් සහ මෝල්කාරයන් අතර විකිණී අවසන්ය. ඉතිරි වී 20% බීර කොම්පැනිකාරයන් විසින් මිලට ගනු ලැබේ. ඕනෑම රටක් මත්පැන් පෙරන්නේ තම රටේ බහුලව පවත්නා ධාන්‍ය වලිනි. ඒ අනුව ලංකාවේ බීර පෙරීමට වී යොදාගනු ලැබේ. බීර කාරයන්ට වී විකිණීම තහනම් නැති නිසා ආණ්ඩුවට කරන්නට දෙයක් නැත.

මේ රටේ සියලු දෙනා සහල් මාෆියාව ලෙස අර්ථකථනය කරනු ලබන්නේ ඉහත සඳහන් ක්‍රියාවලියයි. මෙය ඉතා සරල ක්‍රියාවලියක් වන බැවින් එම ක්‍රියාවලිය මාෆියාවක් යනුවෙන් නම් කිරීම මාෆියාව නමැති වචනයට කරන නින්දාවකි. මාෆියා සංවිධානය හටගන්නේ සිසිලි දූපතේය. ක්‍රි ව 806 සහ 1072 අතර කාලයේදී මේ දූපත ඉස්ලාමීය රාජධානියක්ව තිබිණ. මාෆියා යනු අරාබි මූලයක් සහිත වචනයකි. මාෆියා කාරයෙක් ගේමක් ගැහුවොත් එය එළි කරගන්නට කාටවත් බැරිය.

එහෙත් සහල් මාෆියාව ලෙස හඳුන්වන ප්‍රාථමික ක්‍රියාවලියේ සියලු පාර්ශ්වකරුවන් ගැන හැමෝම දනිති. මෙහිදී තවත් යමක් කිව යුතුය. සිල්ලර කඩවල සහල් සුපර් මාකට් සහල්වලට වඩා මිල අධික ඇයි? සුපර් මාකට් සහ හාල් මෝල්කාරයන්ට අත්හැරෙන වී ගොවින් සමූහයක්ද මේ රටේ සිටිති. සිල්ලර කඩවලට හාල් සපයන්නේ ඒ කුඩා මෝල්වහන්සේලාය. සුපර් මාකට් සහ ලොකු මෝල්වහන්සේලා සමඟ ගැටීමට මේ අයට බැරිය. ඒ නිසා ඔවුන් වී ගන්නේ වැඩි මිලටය. එහි ඊළඟ ප්‍රතිඵලය වන්නේ ඔවුන් නිපදවන සහල් ද මිලෙන් වැඩි වීමය. අප කලින් කී පරිදි මේ රටේ සිල්ලර කඩවලින් වැඩි හරියක පාලන මිලට ලබාගත හැක්කේ ලුණු පමණි. එහෙත් තුන් වේලටම ආහාර වශයෙන් ලුණු පමණක් අනුභව කිරීමට නොහැකිය. ජනතාවට අඩු මිලට සහල් දීමේ වගකීම ආණ්ඩුවට තිබේ. මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ අඩු මිලට සහල් ලබා ගැනීමටත් එක්කය. ඒත් අන්තිමේදී වැඩේ අල විය. තවත් දුර කතා කළොත් අල කිලෝවකුත් රුපියල් 300 ට කිට්ටුය.

අපගේ වැටහීමට අනුව මෝල් කාරයන්ට කුද ගසා ගන්නැයි කියා බුරුමයෙන් හෝ වියට්නාමයෙන් වහාම සහල් තොග ගෙන්වා අඩු මිලට වෙ‍ෙළඳපොළට මුදා හැරියොත් සහල් මිල පහත හෙළීමට ආණ්ඩුවට හැකියාව ලැබෙන්නේය. ආණ්ඩුව එසේ කරන්නට උත්සහ කළොත් සහල් මිල පවත්වාගෙන යනු පිණිස තමන් සතු සහල් තොග වෙ‍ෙළඳ පොළට නිකුත් නොකර සහල් හිඟයක් මැවීමට මෝල්වහන්සේලා තැත් කරනු ඇති. මේ වගේ වෙලාවක සිටිය යුතු හොඳම රාජ්‍ය නායකයා ආර් ප්‍රේමදාස බව ඇතැම්හු කියති. ඔවුන් එසේ කියන්නේ සජිත්ට ප්ලග් එකක් ගැසීමට නොව අධිපතිවාදීන්ගේ වැඩ කළමනාකරණය කිරීමේ අපූරු හැකියාවක් ආර් ප්‍රේමදාසට තිබුණා යැයි විශ්වාස කරන හෙයිනි.

අපට කීමට තව කාරණයක් තිබේ. රටේ සහල් මිල පහත හෙළීම සඳහා බුරුමයෙන් හෝ වියට්නාමයෙන් සහල් තොග ගෙන්වීමට ආණ්ඩුවට ඩොලර් තිබේදැයි අපි නොදනිමු. අප දන්නේ කිසිදු කාරණයක් සඳහා අපේ අතේ තඹ සල්ලියක්වත් නැති බව පමණය.

 

Comments