
ගෝල්ෆේස් අරගලයට මැයි 28 දා ට දින 50 ක් සම්පූර්ණ වෙයි. මේ රටේ ඇතැම් එළවළු වර්ග හිටවූ දවසේ සිට දවස් 45 කට පසු පරිභෝජනයට ගත හැකිය. සත්ත්ව ඝාතනයට අප කොතරම් විරුද්ධ නමුදු දවස් 45 පිරුණු ගමන් බ්‍රොයිලර් කුකුළා මරා වෙෙළඳපොළට යැවීම කුකුල් ෆාම්කාරයාගේ සිරිතය. එහෙත් ගෝල්ෆේස් ජන අරගලයට දවස් 50 ක් ගතවී ඇති මේ මොහොතේදීත් එමඟින් ලබා ගැනීමට හැකිවූ ප්‍රතිඵලය කුමක්ද යන ප්‍රශ්නය මේ රටේ දේශපාලන ඉතිහාස පොත්වල ප්‍රශ්නයක් ලෙස ඉතිරි වනවා ඇත. මහින්ද රාජපක්ෂ අගමැතිකම අත්හැර ගියේ ගෝල්ෆේස් අරගලකරුවන් විසින් කරන ලද ඉල්ලීමට අවනත වීම නිසා නොවේ. අරලිය ගහ මන්දිරයෙන් එළියට පැමිණි දාමරිකයන් ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දී දත් කැඩීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ අගමැතිකමෙන් අස්වී ගෙදර යා යුතු තත්ත්වයක් නිර්මාණය විය. ඒ අනුව මහින්ද ගෙදර යැවීමේ ගෞරවය ගෝල්ෆේස් අරගලකරුවන්ට හිමිවන්නේ නැත.
අගමැති රනිල් වික්‍රමසිංහයන් ගේ පුරෝකතනයට අනුව මේ රටේ ආර්ථිකය තවත් සෑහෙන කලකට මේ ආකාරයෙන්ම පවතිනවා ඇත. රොයිටර් පුවත් සේවයට අගමැතිවරයා විසින් කියා ඇති පරිදි ඉදිරි කාලයේදී තව තවත් උද්ඝෝෂකයන් මහ පාරට පැමිණීමට ඉඩ තිබේ. අගමැති මෙන්ම මුදල් ඇමති ද වන රනිල් වික්‍රමසිංහයන් මේ මාසයේ රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවීම සඳහා රුපියල් ට්‍රිලියනයක මුදල් අලුතෙන් මුද්‍රණය කිරීමට අවසර දී තිබේ. මේ අතර පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ගේ සංගමය රැස්වීමක් පවත්වමින් තම කාර්ය මණ්ඩලවලට මේ මාසයේ වැටුප් ගෙවීමට තමන්ට නොහැකි බැවින් සල්ලි අච්චු ගසන යන්ත්‍ර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. මේ සංකේතාත්මක ඉල්ලීමකි. කොම්පැනිවලත් සුපර් මාර්කට්වලත් කම්හල්වලත් බුලත් විට කඩවලත් සල්ලි අච්චු ගසන්නට පටන් ගත්තොත් මුළු මහත් ආර්ථිකයම පිස්සු කෙළියක් බවට පත්වේ. කෙසේ හෝ වේවා ඉහත සඳහන් සංගමය කියන පරිදි වැටුප් ගෙවීමට මුදල් නැති නිසා තම කොම්පැනි වසා දැමීමට සිදුවුණොත් පෞද්ගලික අංශයේ හතළිස් පන්ලක්ෂයක් වූ සේවක පිරිසක් මහ මඟට වැටීමට නියමිතය. එසේ නම් අගමැති වික්‍රමසිංහ ගේ පුරෝකතනය නිසැකවම ඇත්ත වීමට ඉඩ තිබේ. රට වැසියන් සහ පාලකයන් නිසි පරිදි මොළය පාවිච්චි කර වැඩ නොකළොත් සියලු දෙනාගේම මොළේ ඇළේ දමා පෑගීමට සිදුවන්නේය.
ශ්‍රී ලංකාව ගමන් ගන්නේ දැනට තිබෙන පරණ පුරුදු ට්‍රැක් එකේම නම් රටට කිසිදු ගොඩ ඒමක් නැත. දැනට ආර්ථිකය තුළ සිදුවන්නේ කුමක්ද? එක රටකින් ඩොලර් ණයට ගෙන ගෑස් මිලට ගැනීමය; තව රටකින් ඩොලර් ණයට ගෙන තෙල් මිලට ගැනීමය; තවත් රටකින් ණයට කෑම ගැනීමය; තවත් රටකින් බෙහෙත් ණයට ගැනීමය; ඒ අතර හිටි ගමන් කිසියම් පින්වතෙක් අපට ආධාර කරයි. උදාහරණයක් ලෙස පසුගියදා තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලුම දෙනා සිය මාසික වේතනය ලංකාවට පරිත්‍යාග කළහ. ඉන්පසු ප්‍රාන්තයේ සිටින ධනවතුන් සියලුම දෙනාගෙන් මුදල් එකතු කළ ඔවුහු එමඟින් මිලට ගත් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය තොගයක් නැවකට පටවා ලංකාවට එවූහ. මේ ආධාර යාපනයට පමණක් දෙන්නැයි තමිල්නාඩු දේශපාලනඥයෝ කිසිවිටකත් නොකීහ. ඔවුන් කීවේ එම ආධාර මුළු ලංකාවටම බෙදන ලෙසය. ඉන්දියාවේ මේ යහගුණය ගැන අප ගෞරවයෙන් කතා කළ යුතුය. එහෙත් වැඩිදෙනා මේ ගෞරවය ඉන්දියාවට ලබාදීමට අමතක කළහ. දැන් නැවතත් අපේ ඔළුවට උඩින් ගොස් තිබෙන භයානක ආර්ථික ජල කඳ දෙසට හැරෙමු. වගා කළ හැකි සෑම බිමක්ම වගා කටයුතු සඳහා යොදවන ලෙස අගමැති වික්‍රමසිංහයන් ඉල්ලා තිබේ. එසේම ලංකාවේ ආර්ථිකය අපනයනය මූලික කර්මාන්තවලින් සංතෘප්ත කරන ලෙසද ඔහු ඉල්ලා ඇත. ඉදිරියට පැමිණීමට නියමිත “කන්න නැති කාලයට” එකම උත්තරය වන්නේ වහාම වගා කටයුතු ඇරඹීමය. “Anything can wait, but agriculture can’t wait” යනුවෙන් ප්‍රසිද්ධ කියමනක් ඉන්දියාවේ ඇත. මෙයින් කියවෙන්නේ අන් ඕනෑම දෙයකදී කල් ගත්තත් කෘෂිකර්මයේදී කල් ගැනීමට නොහැකි බවය. කෘෂිකර්මය කරන විට සියලු දේ නිසි ලෙස නිසි කලට කළ යුතුව තිබේ. වැස්සට කලින් සීසා බිම සකස් කළ යුතු අතර වැස්සට පසු එය කළ නොහැකිය. වැසි කාලයේදී කළ යුතු දේ පායන කාලයේදීත් පායන කාලයේදී කළ යුතු දේ වැසි කාලයේදීත් කිරීම කෘෂිකර්මාන්තයේදී නොගැළපේ. ඒ නිසා අද කළ යුතු දේ හෙටට කල් තබමින් කෘෂිකර්මය කළ නොහැකිය. රටක් වශයෙන් ගත් කල ද මේ සංකල්පය මෙසේම වලංගු වේ.
දැනට මේ රටේ සිටින තරුණ තරුණියන් රැසක් අරගල භූමිවල කල් ගෙවති. ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණ ආණ්ඩුව මාරු කිරීමය. එය කර ගැනීමට ඔවුන්ට හැකියාවක් ඇති බවක් නොපෙනේ. එබැවින් ඔවුන් විසින් කළ යුත්තේ තමන් විසින්ම සාදා ගන්නා ලද ආණ්ඩුවකට තමන් අතුරින්ම අගමැතිවරයකු ජනාධිපතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් පත්කර මනෝරාජික ආණ්ඩුවක් පිහිටුවා මූලික මානසික තෘප්තියක් ලබා ගැනීමය. නොඑසේ නම් ඔවුන් කළ යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම් සමහර වල් වැදුණු ආණ්ඩුවේ ඉඩම් සුද්ද කර වගා කිරීමය. මේ සංකල්පය රටේ සෙසු පළාත්වලටද ගෙන යන ලෙස අපි තරුණ පරපුරට ආරාධනා කරමු. ප්‍රාදේශීය වශයෙන් වැදගත් වන බෝග කෙරෙහිද ඔවුන්ට උනන්දු විය හැකිය. ජූලි මාසයේ මැද වනවිට මුළු රටට ම එක වේලක් කා ජීවත් වීමේ ඉරණමට ලක්වීමට සිදුවන බව පෙනේ. අපේ තරුණ පරපුර අරගල භූමියේ ඉන්නා ගමන් ඒ ගැනත් කල්පනා කළොත් රටට වැඩි අගයක් ලැබේ.