ඉතිහාසය කියන දේ | සිළුමිණ

ඉතිහාසය කියන දේ

ණ්ඩුවට සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ට ගෙදර යන ලෙස ඉල්ලමින් ගෝල්ෆේස් පිට්ටනියේ සිට විරෝධයක නිරතව සිටින බාල මහලු තරුණ කැල මීට දින කිහිපයකට පෙර පාස්කු බෝම්බයෙන් මියගිය කතෝලික ජනතාව සිහිකරමින් සැමරුම් අවස්ථාවක් පැවැත්වූහ. සහරාන් හෂීම් ගේ පාස්කු බෝම්බ මාලාව නිසා මියගිය අහිංසක මිනිසුන්ගේ ආත්මයන් මේ නිසා මහත් සේ පහන් වනවා ඇත. එහි පින ගෝල්ෆේස් විරෝධතා කැලට අයිතිය. අපිද මේ ක්‍රියාව ගැන මහත් සේ සතුටු වෙමු.

මේ සැමරුම් අවස්ථාවට එකතු වූ අයගෙන් 95% ක් පමණ බෞද්ධයෝ වෙති. එය ශ්‍රී ලංකාවාසි සෙසු බෞද්ධයන්ට ද කරන ලද ගෞරවයකි.

ඒ අතර දැනට ගෝල්ෆේස් භූමියේ රැඳී සිටින අයගෙන් අපි කුඩා ඉල්ලීමක් කරමු. එනම් මීට අවුරුදු 35 ට පෙර අරන්තලාවේදී ඝාතනය කරන ලද බෞද්ධ භික්ෂුන් වහන්සේලා 31 දෙනා සැමරීම සඳහා විනාඩි භාගයක් වෙන් කරන ලෙසය. සහරාන් හෂීම් ඉස්ලාමීය ත්‍රස්තවාදියෙකි. ඒ අනුව ඔහු සංවිධානය කළ පාස්කු බෝම්බ ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයකි. ප්‍රභාකරන් ද ත්‍රස්තවාදියෙකි. ඔහු සංවිධාන කළ අරන්තලා භික්ෂු ඝාතනය ද ත්‍රස්ත ක්‍රියාවකි.

මේ සංහාර දෙකෙහිම පොදු සාධකය වන්නේ ත්‍රස්තවාදයයි. 2019 දී පාස්කු බෝම්බයෙන් මියගිය කතෝලික බැතිමතුන් අපමණ සැමරීමට ලක් වුවද අරන්තලාවේ භික්ෂුන් වහන්සේගේ කැබලි කෙරුණු දේහ, ලෙයින් පෙඟුණු සිවුරු මන්නවලින් කොටා දෙපලු කළ ශීර්ෂ යනාදිය ක්‍රමයෙන් මතකයෙන් බැහැරට යමින් පවතී.

මේ භික්ෂුන් වහන්සේ ගේ සංහාරය ගැන සිහිපත් කිරීමෙන් අද වනවිට කිසිදු දේශපාලන වාසියක් ලබා ගැනීමට නොහැකිය.

දළදා මාලිගාවට බෝම්බ ගැසීමේ සිද්ධිය පිළිබඳ කතන්දරය ද මෙසේමය. 1998 දී එල් ටී ටී ඊ ත්‍රස්තවාදීහු බෝම්බ පුරවා ගත් ලොරියක් දළදා මාලිගා පරිශ්‍රයට එවා එය පුපුරුවා ශ්‍රී දළදා මාළිගාවට විශාල හානියක් සිදු කළහ. මෙය සමාන වන්නේ චෝල ආක්‍රමණිකයන් විසින් මේ බෞද්ධ රටේ පන්සල් විනාශ කිරීමටය.

මේ ප්‍රහාරයේදී බෝම්බකරුවන් තිදෙනා හැරුණු විට දළදා මාලිගා පරිශ්‍රයෙහි සිටි 13 ක් ද මිය ගියහ. සිද්ධියෙන් 25 ක් බරපතළ තුවාල ලැබූහ. තවත් හරියටම අවුරුද්දකින් මේ ප්‍රහාරයට අවුරුදු 25 ක් සපිරේ. සිද්ධියෙන් මිය ගිය මිනිසුන් සහ ගැහැනුන් වාර්ෂිකව සැමරීමක් තබා දස වාර්ෂික සැමරීමක්වත් අද වනතුරු සිදුවී නැත.

මීට අමතරව මෙයට අවුරුදු 33 ට පෙර එනම් 1989 පෙබරවාරි 8 වැනිදා අපේම කට්ටියකට අයත් අපේම සන්නද්ධ කොල්ලන් පිරිසක් විසින් දළදා මාලිගාවට වෙඩි තබන ලද නමුදු ඒ ගැන කාටවත් මතක නැත. මේ ප්‍රහාරයේ අයිතිකරුවෝ 1988 /89 භීෂණයේ පාර්ශ්වකරුවෝය.

මේ ගැන අද හරි ආකාරව තොරතුරු මතු කළොත් ඊළඟ ඡන්දයේදී 3% ශූන්‍ය වීමට ඉඩතිබේ.

කෙසේ හෝ වේවා සිංහල බෞද්ධයන් මූලික කරගෙන කෙරුණු සංහාර සැමරීම මේ රටේ ජනතාව විසින් දිගින් දිගටම කරනු ලැබුවොත් අන්‍ය ආගමිකයන් විසින් කියනු ඇත්තේ සිංහල බෞද්ධයන් මේ සිදුවීම් නැවත නැවත මතක් කිරීමෙන් වෛරය වපුරන බවය. එවැනි දෑ නොඇසීම පිණිස මියගිය සිංහල බොදුනුවන් සැමරීමෙන් වැළකීම එක පැත්තකින් යහපති.

කොවිඩ් 19 වසංගතය ශ්‍රී ලංකාවට එන්නේ 2020 මාර්තුවේ දීය. එතැන් පටන් අවුරුදු දෙකකට කිට්ටු කාලයක් සැණකෙළිවලින් වැළකී සංගීත සංදර්ශන වලින් ඈත් වී ෆන් සහ ආතල් දෙන ජනරාශිවලින් ඉවත් වී සිටීමට මේ රටේ ජනයාට සිදුවිය.

මේ කාලයේදී හොර රහසින් පැවති විවාහ මංගල උලෙළ රැසක් වැටලු ශ්‍රී ලංකා පොලිස් හමුදාව සහ ‘පී එච් අයි හමුදාව’ මංගල උලෙළේ ආරාධිතයන් අල්ලාගෙන නිරෝධායන කඳවුරුවලට යැවූහ.

මෙහිදී මනාල යුවළට ලැබුණු එකම චාන්ස් එක වූයේ එකම නිරෝධායන කඳවුරක පිහිටි එකම කුටියක සිරවීමට ලැබුණ අවස්ථාව පමණි.

ඒ අතර ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේදී නුවරඑළියේ පැවති වසන්ත සැණකෙළි අවස්ථාවට සහභාගී වූ ලක්ෂයකට වැඩි පිරිසක් නිසා අලුත් කොරෝනා රැල්ලක් රට පුරා ව්‍යාප්ත වී නැවත ලොක්ඩවුන් කිරීමක් ඇතිවිය. ඉන්පසු මේ රටේ ජනයා නුවරඑළිය වසන්ත සැණකෙළිය අමතක කර දැමූහ. ඒ අතර අහසින් වැටුණු බෝනස් එකක් ලෙස ගෝල්ෆේස් පිට්ටනියේ 'ගෝඨාභය විරෝධී සැණකෙළිය' කඩාපාත් විය. නිසි නායකත්වයක් නැතිව අපක්ෂපාතී විරෝධතාකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව ඇරඹුණු බව කියනු ලැබේ.

මෙය නිර්දේශපාලන ජන ඝෝෂාවක් ලෙසද පිළිගනු ලැබේ. එහෙත් කව්රුත් දන්නා පරිදි මෙම උද්ඝෝෂණයේ පෙරමුණු තීරුව හෙවත් ජනාධිපති ලේකම් කාර්යාලයට මුහුණ ලා තිබෙන කොටස හැඩ කරන්නෝ පෙරටුගාමී හෙවත් ඉස්සරහට යාමට කැමති තරුණ පිරිස්ය.

එතැනින් එහා සිටින කොටස නිර්දේශපාලනික වුවද ඔවුන් තමන්ට නොදැනීම ආණ්ඩු විරෝධී දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රයට අනුව කවි සින්දු කියති; නටති; වයති; බුරියානි කති.

ගෝල්ෆේස් කානිවල් එක අනෙක් සියලු කානිවල් සේ ම වැඩි කල් නොගොස් නිම වීමට ඉඩ තිබේ.

මේ සැණකෙළිය පටන්ගත් දවසේ සිට සතියක් පමණ ගතවන තුරු දවසේ පැය 24 පුරාම ඉමහත් ජනගඟක් ගෝල්ෆේස් පිටියේ සිටියහ. අද එම පිට්ටනිය දවල්ට හිස්වන අතර රෑට සෙනගින් පිරෙයි. මෙවැනි ගති ලක්ෂණ සහිත විරෝධතා ව්‍යාපාර වැඩි කල් නොපවතී. ඉතිහාසය අපට කියන දේ එයයි.

Comments