‘ආණ්ඩුව පෙරළන්න - ඒත් රට පෙරළන්න එපා’ | සිළුමිණ

‘ආණ්ඩුව පෙරළන්න - ඒත් රට පෙරළන්න එපා’

මානව හිමිකම් පිළිබඳ ඇති හොඳම අර්ථ නිරූපණය අවුරුදු 150 ට වඩා පරණය. මේ අර්ථ නිරූපණය කර ඇත්තේ දාර්ශනිකයකු විසිනි. ඔහුට අනුව ඔබේ මානව හිමිකම්වල දිග ඔබේ අතේ දිගට සමානය. ඔබ ඔබේ අත දිගහැර වටේට වනන විට එය මගේ නාසයේ වැදුණු තැනින් ඔබේ මානව හිමිකම් අවසන් වේ. එතැන් සිට ඇරඹෙන්නේ මගේ මානව හිමිකම් ය. මානව හිමිකම් නමැති යෙදුම යොදාගෙන මේ දිනවල මේ රටේ සිදුකෙරෙන වැඩ දිහා බලද්දී ඔහුගේ කියමන කොතරම් ප්‍රයෝගික ද යන්න වැටහේ.

කළු ටී ෂර්ට් ඇඳගෙන කළු කලිසම්වලට බැස කොණ්ඩය ටින්ට් කර අතේ පයේ පච්ච කොටාගෙන යකා නටන ඇතැම් තරුණ පිරිසක් මේ දිනවල අපේ රටේ නගරවල සහ කොළඹට තදාසන්න ප්‍රදේශවල හන්දි ගානේ උද්ඝෝෂණ කරනු දැකිය හැකිය. අවුරුදු 30 ට වඩා අඩු අවුරුදු 10 ට වඩා වැඩි මේ කණ්ඩායම් සජබත් නොවන, ජවිපෙත් නොවන කිසියම් දේශපාලන බලවේගයක් මගින් මෙහෙයවනු ලැබේ. මේ උද්ඝෝෂකයන්ගෙන් ඇතැමෙකු කතා කරන්නේ ඉංග්‍රීසි බසය. ඔවුන් අත ඇති විරෝධතා පුවරු ඉංග්‍රීසි සටන් පාඨ වලින් පිරී ඇත. මේවා වැඩි හරියක Gota go home යනුවෙන් ලියා තිබේ. වැඩ ඉවර වූ පසු හැම දවසකම ගෙදර යාමේ පුරුද්ද ගෝඨාභයට තිබේ. ඒ අනුව ගෝඨාභයට ගෙදර යන ලෙස අමුතුවෙන් කීමේ අවශ්‍යතාවක් නැත. Gota go home යන්නෙහි අර්ථය මෙය කියවන බුද්ධිමත් පාඨකයෝ දනිති. එහෙත් අපගේ තක්සේරුවට අනුව සටන් පාඨ ඔසවා ගෙන මහ පාරට බසින කොණ්ඩය ටින්ට් කළ පච්ච තරුණ කැල මේ කියමන්වල තේරුම් නොදනිති.

මේ තරුණ පිරිස හුඟක්ම වේගයෙන් ඉදිරියට පැමිණීමට හැකි ගති ලක්ෂණ පෙන්නුම් කරයි. මේ තරුණ පරපුරට නිසි නායකත්වයක් ලැබුණේ නම් මේ රට කණපිට ගසා අලුත්ම රාජ්‍යයක් බිහිකළ හැකිය. එහෙත් පෙරටුවෙහි ගමන් කිරීමට ප්‍රිය කරන කිසියම් නරි රැලක් මේ තරුණ පිරිසට මානව අයිතිවාසිකම් පිළිබඳ ලණුවක් ගිල්ලවා ඔවුන් විනාශ කිරීමට සූදානම් වන බව පෙනේ. මේ විරෝධතාකරුවන් ඉංග්‍රීසියෙන් තිත්ත කුණුහරුප සටන් පාඨ කියති. ඒවා ද මානව හිමිකම්වල කොටස් ලෙස අර්ථකථනය කර ඇති බව පෙනේ. ප්ලේටෝ ගේ හා ඇරිස්ටෝටල් ගේ ඉගැන්වීම් ද මානව අයිතිවාසිකම් යන යෙදුම මුලින් පාවිච්චි කළ සේන්ට් තෝමස් ඇක්වයිනාස් ගේ අදහස් වලින්ද ස්වකීය දර්ශනය හරිගස්සා ගත් ෆ්‍රෙඩ්රික් නීට්ෂේ, සිග්මන් ෆ්‍රොයිඩ් හා ෂෝන් පෝල් සාත්‍රේ මේ මතවාදයන්ට ගුරු වූ කදිම මිනිසෙකි. ප්ලේටෝ, ඇරිස්ටෝටල්, ෆ්‍රොයිඩ්, සාත්‍රේ, නීට්ෂේ යන කවරකු ගැනවත් හන්දි ගානේ කෑ ගසන 'පච්ච පරපුර' නොදනිති. අප මේ ටික ලිව්වේ අඩුම ගණනේ එම පච්ච පරපුරේ වැඩිහිටියන්වත් ඉහත සඳහන් දාර්ශනිකයන් ගැන දන්නවා ඇතැයි කියන අදහස මුල් කරගෙනය.

මේ රටේ මේ දිනවල පැවැත්වෙන උද්ඝෝෂණ ව්‍යාපාරය තනිකරම ආතල් ගොඩකි. උද්ඝෝෂණය අතරතුර පපර බෑන්ඩ් කාලයට රෙදි උස්සාගෙන නැටුම් නටන පිරිස Gota go home යන්න ඇත්තටම සිදුවුවහොත් ඒ සඳහා සුදුසු විකල්පයක් තිබේද යන්න ගැන නිකමටවත් දන්නේ නැත. මෙවැනි විකල්පයක් නැති බව මීට දින තුන හතරකට පෙර පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී පැහැදිලි විය. ආණ්ඩුව ගෙදර යා යුතු යැයි කියමින් මුළු මහත් විපක්ෂයම කෑ ගසන නමුත් ආණ්ඩුව ගෙදර ගියොත් අලුත් ආණ්ඩුවක් පිහිටුවාගෙන රට කිරීමට කවුරුත් සූදානම් නැත. ආණ්ඩුව බාර ගන්නට රනිල් කැමති නැත; සජිත්ද කැමති නැත. අනුර දිසානායකට ද රට බාර ගැනීමේ අදහසක් ඇති බව නොපෙනේ. හරීන් ප්‍රනාන්දු කියන්නේ හර්ෂ ද සිල්වා ජනාධිපතිකමට පත්කළ යුතු බවය. එම කියමන මගින් ප්‍රාමාණික විද්වතකු වන හර්ෂ ද සිල්වා විහිලුවට ලක් කිරීමට හරීන් ප්‍රනාන්දු ගන්නා උත්සාහය කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් බව අපගේ වැටහීමයි. එසේ නම් අලුත් ආණ්ඩුවක් හැදීමට අප ආරාධනා කළ යුත්තේ කාටද? තිස්ස අත්තනායකටද? නොඑසේ නම් ගජේන්ද්‍රන් පොන්නම්බලම්ටද? බුද්ධික පතිරණට හෝ මරික්කාර්ට ආණ්ඩුවක් හැදීම සඳහා ආරාධනා කළ යුතුද? මේ ළමුන් දෙදෙනා වඩාත් ගැළපෙන්නේ විකට ඇඳුම් තරඟ වැනි සැහැල්ලු වැඩවලට නිසා ආණ්ඩු හැදීමට ඔවුහු නොගැළපෙති. ඊටත් වඩා මරික්කාර් මන්ත්‍රීවරයා විසින් පසුගියදා කියන ලද කාරණයක් නිසා අපි මහත් සේ කම්පා වුණෙමු. ඔහු කියන්නේ කොවිඩ් සමයේදී මිය ගිය ඉස්ලාමීයයන්ගේ සිරුරු පිලිස්සීමේ සාපය ආණ්ඩුවට වැදී ඇති බවයි. මෙවැනි කතා අප අවසන් වතාවට අසන ලද්දේ ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය අන්තවාදී නායකයා වූ එක ඇසක් පමණක් හිමි මොහොමඩ් ඔමාර් නමැති මුල්ලාවරයාගෙනි. ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරන ලද වෙලාවේදී සිය මෝටර් සයිකලයේ පිටුපස ආසනයේ ඔසාමා බින්ලාදින් තබාගත් මුල්ලා මොහොමඩ් ඔමාර් පාකිස්ථානයට පැන ගියේය. අද මුල්ලා ඔමාර් මෙන්ම ඔසාමා බින්ලාදින් ද නැත. කට පරිස්සම් කර කර නොගැනීමේ සාපය සහ මනුෂ්‍ය ඝාතනවල සාපය ඔවුන් වෙත පැමිණියේ ඉතාම ඉක්මනින්ය. මරික්කාර් කියන කතා ඔහුගේ චූන් එකට සුදුසු නමුදු මේ වෙලාවේ උද්ඝෝෂණ කරන 'පච්ච සොයුරු සොයුරියන්' අතර සිටින ඉස්ලාමීය දරු දැරියන්ගේ ඔළුව විකාර කිරීමට පුළුවන. ඒ නිසා මේ රටේ ඉස්ලාමීය නායකයන් ජාතිවාදය පතුරුවන දේශපාලන ළමයින් ගැන කිසියම් පියවරක් ගත යුතුය.

මේ දිනවල පැවැත්වෙන උද්ඝෝෂණ සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කළ ඉල්ලීමක් ගැන මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුව තිබේ. “ආණ්ඩුව පෙරළන්න - ඒත් රට පෙරළන්න එපා” යනුවෙන් ඔහු මේ දිනවල ‘උද්ඝෝෂණ රැකියාවේ’ යෙදී සිටින සියලු ප්‍රජාවගෙන් ඉල්ලා ඇත. මේ කියමනේ ඇති දේශපාලන දර්ශනය ඉතා වැදගත්ය. ආණ්ඩුවක් පෙරළුවොත් අලුතෙන් පත්කර ගත හැකිය. එහෙත් රටක් පෙරලුනොත් එය කිසි කලෙකත් යළි ගොඩනගා ගත නොහැක. උදාහරණයක් වශයෙන් බෙදුණු දේශපාලන දර්ශන සහ නොදැමුණු මතවාද ඇති ජනයා වෙසෙන රටක රට පෙරළීමක් සිදුවුවහොත් සියලු දෙනාටම සිදුවන්නේ ඉන්දියන් සාගරයේ ගිලී යාමටය. ආණ්ඩුවක් පෙරළිය යුත්තේ ඡන්දයකිනි. උද්ඝෝෂණවලට කළ හැකි කිසිදු මඟුලක් නැත. උද්ඝෝෂණවලින් ප්‍රශ්න විසඳිය හැකිනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන සියල්ල වසා දැමිය හැකිය. ඉන්පසු යුද්ධයක් ඇතිවූ විට කළ යුත්තේ උද්ඝෝෂණයක් පමණි. ලෝක ආර්ථික අරබුදයක් ඇතිවූ විටද උද්ඝෝෂණයක් කළ හැකිය. ළමා කම්කරු ව්‍යාපාරය, ළමා ගණිකා ව්‍යාපාරය නැවත්වීම සඳහා උද්ඝෝෂණයක් කළ හැකිය. කෙනකුට කුසගින්න ඇතිවූ විටද උද්ගෝෂණයක් කළ හැකිය. එහෙත් එයින් බඩ නොපිරෙන බව තේරුම් ගන්නා මොහොතේදී යළි කිසි කලෙකත් උද්ඝෝෂණ කිරීමට කවුරුත් උනන්දු වන්නේ නැත.

Comments