වංශය, පිල, හිරු සහ අප්පුහාමි | සිළුමිණ

වංශය, පිල, හිරු සහ අප්පුහාමි

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය එහි මස්තකය දක්වා ගමන් කර ඇත. මේ ප්‍රජාතන්ත්‍රවාදය කොයි වෙලාවක හෝ එකී මස්තකයෙන් බිමට පැනීමට ඉඩ තිබේ. ගිය ඡන්දයෙන් පැරදුණු හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මීට දින කිහිපයකට පෙර පිරිසක් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ නිවෙස ඉදිරිපිටට ගොස් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූවාය. එයට සහභාගී වූවෝ ගැහැනු ය. ඔවුහු සටන් පාඨ අතර කුණුහරුප ද කීහ.

හිරුණිකා වැනිම ගැහැනුන් පිරිසක් එ් විරෝධතාවට සහභාගී වූ බව මේ කියන ලද කුණුහරුප වලින් පැහැදිලි වෙයි. සරත් ෆොන්සේකා කියන පරිදි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යනු යකඩ ගැහැනියකි. යහපාලන ආණ්ඩුව යටතේ උදය ගම්මන්පිල හිරේ වැටී සිටියදී ඔහුට මෙට්ටයක් සැපයීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අර්ථ නිරූපණයක් ලබාදුන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ පෙර කී මෙට්ටය අවශ්‍ය වී ඇත්තේ ගම්මන්පිල ගේ වෘෂණ කෝෂවලට පහසුවක් සැලසීම පිණිස බවය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ මහජන නියෝජිතයකු වෘෂණ කෝෂ සම්බන්ධයෙන් කතා කළ පළමුවන අවස්ථාව මෙය වේ. සමහරවිට ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේද මෙවැන්නක් සිදු නොවෙන්නට ඇතුවා වන්නට ඇති. අඩු ගණනේ වෘෂණාශ්‍රිත රෝගයක් වන හයිඩ්රොසිල් හෝ හර්නියා ගැන පවා කතා වී ඇති බවක් අපි නොදනිමු. එහෙත් පවතින ප්‍රජාතන්ත්‍රවාදය සහ එහිම අතුරුඵලයක් වන මානව හිමිකම්වල උපරිම තැනට රට පත්ව තිබීමේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් පෙර කී "තරුණ මැතිනිය" ස්වකීය හෘදයාංගම වූ ද වෛද්‍ය විද්‍යාත්මක වූ ද අදහස ඉදිරිපත් කර තිබිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් කිරීමෙන් පසු හිරුණිකාගේ ගේ ඉදිරිපිටට ගිය කිසියම් පිරිසක් ඇයට එරෙහිව උද්ඝෝෂණ කළ බවත් පසුව අපි දැන ගත්තෙමු. එය ද ප්‍රජාතන්ත්‍රවාදය මස්තකප්‍රාප්ත වීමේ ප්‍රතිඵලයකි. මේ අතර රටකට කලාතුරකින් පහළ විය හැකි දේශපාලනඥයකු වූ ද මිනිස් අසූචිවල අයිතිකාරයන් පිළිබඳ සුවිශේෂ දැනුමක් ඇතැයි හැඟෙන්නා වූ ද හෙක්ටර් අප්පුහාමි පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී කළ විග්‍රහයකට අනුව හිරුණිකාලාට අසූචි ගැසූ අයත් චමුදිතලාගේ ගෙදරට අසූචි ගැසූ අයත් දෙදෙනෙක් නොව එක් කෙනෙකි. හෙක්ටර් අප්පුහාමි යනු සජිත් ප්‍රේමදාසගේ සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රී කෙනෙකි. ඉහත සඳහන් අර්ථ නිරූපණයත් සමඟම හෙක්ටර් අප්පුහාමි මැතිතුමා මිනිස් අසූචි සහ තදාසන්න හේතු පිළිබඳ විශේෂඥයකු බවට පත්වෙයි. මෙය සමගි ජනබලවේගයට ගෞරවයකි. ඉදිරියේදී මේ රටේ සිදුවන පෙර කී වර්ගයේ ඕනෑම ප්‍රහාරයකදී හෙක්ටර් අප්පුහාමි මුණගැසීමට වින්දිතයන්ට පුළුවන. කෙසේ හෝ වේවා අපගේ ප්‍රමුඛ අරමුණ වන්නේ හිරුණිකා හෝ අප්පුහාමි ගැන කතා කිරීම නොව විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන දෙදෙනා ඇමති තනතුරු වලින් ඉවත්වීමේ විභවය ගැන අදහස් කීපයක් ඉදිරිපත් කිරීමය.

වීරවංශ සහ ගම්මන්පිල දෙදෙනා පවතින ආණ්ඩුව හැදීමට දර දිය ඇද්ද ආකාරය කිසිසේත්ම අවතක්සේරුවකට ලක්කළ යුතු නොවේ. මහින්ද සුළඟ හැමූ අවස්ථාවේදී ඒ සුළඟ වැඩි දියුණු කිරීම සඳහා න්‍යායාත්මක සහ ප්‍රයෝගික වාසුළි දෙකක් ලෙස මේ දෙදෙනා කටයුතු කළහ. විමල් වීරවංශ ශූර කතාකාරයෙකි. උදය ගම්මන්පිල සිංහල බෞද්ධ න්‍යායවාදියෙකි. මේ සියලු බලවේග එකතු කළ සූක්ෂ්ම ගෘහ නිර්මාණ ශිල්පියා වූ බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නමැති යෝධ බිල්ඩිම ගොඩනඟා එහි උඩම තට්ටුවේ ගෝඨාභය රාජපක්ෂයනුත් දෙවන තට්ටුවේ මහින්ද රාජපක්ෂයනුත් පදිංචි කරවීමට අවශ්‍ය ජනවරම ලබා දුන්නේය.

මේ මොහොතේදී බැසිල් රාජපක්ෂයන්ට බොහෝදෙනා බැණ වදිති. කිසියම් පටිසෝතගාමී ව්‍යාපෘතියක නිරත වන ඕනෑම කෙනෙක් බැණුම් ඇසීමට සූදානම් විය යුතුය. එය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සංස්කෘතික ලක්ෂණයකි. විමල් වීරවංශ කොතරම් ශූර කතාකාරයකු වුවද එම කතන්දර මහා පොළොවේදී තර්කානුකූල නැත. ඒවා තර්ක වශයෙන් පිළිගත හැක්කේ අහසේදී පමණි. ඒ නිසා එවැනි තර්කවලින් වැඩක් නැත. ගම්මන්පිල කොතරම් හොඳ න්‍යායවාදියකු වුවද ස්වකීය ඇඟ බේරා ගැනීමට අවශ්‍ය හැම විටකම ඔහු එම න්‍යායවලින් පිට පැන ආත්මාර්ථයට ළං වෙයි.

පහුගිය කාලයේදී ඔහු කට ඇරිය හැම විටකම කීවේ තව දවස් තුනකට වඩා තෙල් නැති බවය. මෙසේ කීමෙන් වෙනදා වාහනයට තෙල් ලීටර් 10 ගසා ගන්නා මිනිහා ෆුල් ටෑන්ක් තෙල් ගසා තවත් ප්ලාස්ටික් බූලි දෙකකටත් තෙල් පුරවාගෙන ගෙදර ගෙන යයි. මෙවිට තව දින 10 න් ඇතිවිය හැකි තෙල් හිඟය පැය 48 ක් තුළ ඇතිවෙයි. තම කට නිසා ඉන්ධන හිඟය ඉක්මන් වූ බව ගම්මන්පිල පිළිගන්නේ නැත. රටේ බෙහෙත් හිඟයක් ඇති බවත් එවැනි හිඟයක් හටගන්නා බව සෞඛ්‍ය ඇමතිතුමා කිසිවිටෙකත් නොකී බවත් එසේ වුවද බෙහෙත් හිඟය ඇතිවූ බවත් ගම්මන්පිල රූපවාහිනී සේවාවක් සමඟ පැවති සාකච්ඡාවකදී සඳහන් කර තිබිණ. ඔහු තවදුරටත් කියා සිටියේ ගෑස් හිඟයේ දී ද එය ම වූ බවයි. ගම්මන්පිල නීතීඥයෙකි. ඔහුගේ තර්ක නීතිවේදයට නොවටී. බෙහෙත් යනු හිඟයක් තිබේ යැයි කීවොත් ගෙදර ගොස් ගොඩ ගසා ගන්නා ජාතියක් නොවේ. බෙහෙත් වර්ග ලක්ෂ ගණනක් ඇත. ගෙදර ගිහින් ගොඩගසා ගන්නවා නම් ඒ බෙහෙත් වර්ග ලක්ෂ ගණනම ගෙන යා යුතුය. ගෑස් සිලින්ඩර දෙකකට වඩා කිසිදු ගෙදරක නැත. පාරිභෝගිකයාගේ මිලට ගැනීම නිසා ගෑස් හිඟයක් ඇතිවීමට නම් අඩු ගානේ එකෙක් ගෑස් සිලින්ඩර 20 ක් වත් ගෙදර ගෙන යා යුතුය.

එහෙත් වාහනවල ඉන්ධන ටැංකි ධාරිතාව සහ ප්ලාස්ටික් බූලි ලබාගැනීමේ හැකියාව එසේ නොවේ. වෙනදා ටැංකි කාලක් ඉන්ධන ගසා ගන්නා එකාට ගම්මන්පිලගේ කතාවෙන් පසු ෆුල් ටෑන්ක් ගසා ගැනීමටත් කඩවල බහුලව විකිණීමට ඇති ප්ලාස්ටික් බූලි වලින් ඉන්ධන පුරවා ගැනීමටත් හැකියාව ඇත. මෙතුමා ගේ තර්ක කිරීමේ ස්වභාවය මෙය නම් ඔහුට නඩු බාරදීම අවදානමක් විය හැකි යැයි කිසිවෙක් කීවොත් එය පිළිගැනීමට තරම් අපි අන්තවාදී නොවෙමු. විමල් වීරවංශට නම් තනිකරම ඇත්තේ බැසිල් රාජපක්ෂයන් පිළිබඳ ප්‍රශ්නයකි. ඔහු ගහන්නේම බැසිල් ටය. බැසිල් ට කිසිදු මූල්‍ය විනයක් නැති බවට වීරවංශ ඉඟි කරයි. එහෙත් මෙයට කලකට පෙර වීරවංශගේ අමාත්‍යාංශ ලේකම් වූ අනූෂ පැල්පිට ඒ තනතුරින් අස්ව ගියේ වීරවංශට කිසිදු මූල්‍ය විනයක් නැති බැවිනැයි පුවත්පත්වල පළ විය. මේ අනුව විමල් වීරවංශට ස්වකීය දේශපාලන වංශය කුමක් ද යන්න අදටත් හරියාකාරව අවබෝධ වී නැත. තමන් සිටින්නේ උලක් උඩ ද නැත්නම් පිලක් උඩ ද යන්න ගම්මන්පිලට නොහැඟේ. මේ අනුව අප්පුහාමි කදිම විහිළුකාරයෙකි. හිරුණිකා නමට පමණක් සූර්යයෙකි.

Comments