කළු­වර | සිළුමිණ

කළු­වර

 

න්ධන අවසන් වීම නිසා පසුගිය බ්‍රහස්පතින්දා පස්වරු 4 සිට කැලණිතිස්ස විදුලි බලාගාරයේ සියලු ම විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය වී තිබේ. ඉංජිනේරුවන් විසින් පසුගිය දිනෙක ජනාධිපතිවරයා සමඟ කරන ලද සාකච්ඡාවකදී දින කිහිපයකට ඉන්ධන ඇති බවට ප්‍රකාශ කළත් එය සාවද්‍ය කාරණයක් බැව් 13 වැනි බ්‍රහස්පතින්දා වෙන විට දැන ගන්නට ලැබිණි. මේ නිසා කැලණිතිස්ස බලාගාරයෙන් ජාතික පද්ධතියට එකතු කෙරුණු මෙගාවොට් 200ක ධාරිතාවක් අහිමි වීම හේතුවෙන් විදුලිය කපා හැරීමේ අනිවාර්ය තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බැව් විදුලිබල ආරංචි මාර්ග පවසයි.

නොරොච්චෝලේ බලාගාරයේ පසුගිය දෙසැම්බර් 3 වැනිදා විදුලි ජනන යන්ත්‍ර 2ක් අක්‍රිය වූ අතර, මින් එකක් නොබෝදා යළි සක්‍රියත්වයට පත් කර ඇත. අනෙක් යන්ත්‍රය තවමත් අලුත්වැඩියා කෙරෙමින් පවතී. ඒ අනුව විදුලිබල අර්බුදය තවතවත් අර්බුදයකට යනවා විනා පෙනෙන තෙක් මානයක ඊට පිළියමක් නැත.

අසූව දශකයේදී මහවැලි ව්‍යාපාරය ආශ්‍රිත ව ජල විදුලි බලාගාර ආරම්භ කරන විට පැවසූ වදනක් මෙහිලා සිහිපත් කළ යුතු ව ඇත. ඒ මෙකී ව්‍යාපෘතිය ඔස්සේ රටේ විදුලි අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් විදුලි ඒකක ප්‍රමාණයට වඩා නිපැදවිය හැකි බවත්, අතිරික්ත විදුලිය ඉන්දියාවට සපයා ආදායමක් උපයා ගත හැකි බවත් ය. ඕනෑ ම ව්‍යාපෘතියක් ආරම්භ කරන විට මෙවැනි බලාපොරොත්තු හා සිහින තිබෙන බවත් ඒවා යථාර්ථයක් කර ගැනීමට නම් මහන්සි වීම හා සැලසුම් සහගත වීම අත්‍යවශ්‍ය බවත් සාමාන්‍ය කරුණකි. එහෙත් ඉතිරි වූයේ සිහිනය පමණකි. එසේ කියා දශකයක් යන්නට වූයේ නැත. අනූව දශකය මැද භාගය වන විට ම මෙරට විදුලි අර්බුදයක් නිර්මාණය විය. ඒ සඳහා තාවකාලික ව ලැබුණු විසඳුමක් වූයේ ඩීසල් බලාගාර ආරම්භ කිරීමයි. ඊට අමතරව තවත් පහසු විකල්පයක් වූයේ ගල්අඟුරු බලාගාර ඉදිකිරීම යි.

මෙගාවොට් 900 විදුලි ජනන ධාරිතාවෙන් යුතු නොරොච්චෝලේ බලාගාරය ආරම්භ කිරීමට හැකිවීම නිසා රටට අවශ්‍ය ‘පදනම් බැර විදුලිය’ සැපයීමේ ගැටලුව පසුගිය වසර 4ක පමණ කාලය ඇතුළත යම් ප්‍රමාණයකට විසඳා ගැනීමට හැකි වූයේ ඒ අනුව ය. අවම පිරිවැයක් සහිත ජල විදුලිය මඟින් පදනම් බැර විදුලිය අඛණ්ඩ ව සැපයීමට ජල විදුලි බලාගාර නිමැවුම ප්‍රමාණවත් නොවන බැවින්; මීළඟට අවම පිරිවැයක් සහිත විකල්පය වන්නේ ගල් අඟුරු භාවිතයයි.

එහෙත් අද ගල් අඟුරු ආනයනය කිරීමේ ප්‍රශ්නයක් ඇත. 2021 බොරතෙල් බැරලයක මිලට වඩා 2022 බොරතෙල් බැරලයක මිල සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වී ඇත. බලශක්ති මිල ඉහළ යන වරක් පාසා විදුලිය ගාස්තු වැඩි කිරීමේ හැකියාවක් ද නැත. මේ ප්‍රශ්නයේ දී ආණ්ඩුවට වී ඇත්තේ මඟ හිටියොත් තෝ නසී; ගෙදර ගියොත් අඹු නසී වැන්නකි. වැඩි ම විදුලි ඝනත්වයක් ඇත්තේ ඩීසල් හා ද්‍රව ඉන්ධනවල ය. ආදේශක යෝජනා වුවත් ඒවායෙහි ඝනත්වය ගැන ගැටලු ඇත.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව පිළිබඳ පසුගිය කාලය පුරා කතාබහට ලක්වුවද ඒ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් හා ජනතාවාදී ප්‍රවේශයක් නැති වීම ගැටලුවකි. දිනෙන් දින වැඩිවෙන බලශක්ති අර්බුදය වෙනුවෙන් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් ජනනය කිරීමේ විධිමත් සැලැස්මක් තවමත් විදුලිබල මණ්ඩලයට නැති වීම එයට හේතුවයි. මේ සම්බන්ධයෙන් වන සියලු තීරණ නිසි පරිදි නොගැනීමේ විපාකයට දැන් සාමාන්‍ය ජනතාව මුහුණ දෙමින් සිටියි.

අද වන විට විදුලි සමාගම් කිහිපයක් පාරිභෝගිකයන් වෙත සූර්ය බලශක්ති උත්පාදන ක්‍රම හා ව්‍යාපෘති හඳුන්වා දුන්නත් අධික පිරිවැය ගැන සිතන විට පාරිභෝගිකයා තවමත් ඒ සම්බන්ධයෙන් දෙගිඩියාවකින් සිටියි. මිහිතලයේ ජීවය රඳවන සූර්ය තාපය බහුල ව ලැබෙන රටක් ලෙස එයින් ප්‍රයෝජන ගත හැකි ක්‍රමවේදයක් වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමක අවැසි බව දැන් වැඩි වැඩියෙන් දැනේ.

රටේ විදුලිය අවශ්‍යතාව සපුරාලීමට යාමේදී, සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය විකල්ප බලශක්ති ප්‍රභව වන සූර්ය බලය, සුළං බලය, ජෛව ස්කන්ධ වැනි විකල්පයන්ගේ දායකත්වය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වන්නේ මේ වැනි අර්බුදවලින් ගොඩ ඒමට වෙන විකල්ප නැති නිසා ය. අවම පිරිවැය සහිත විදුලි නිෂ්පාදනයක අවැසි බව වෙන කවරදාටත් වඩා මේ වැනි කාලවකවානුවල දැනීම වැළැක්විය නොහැකිය.

විදුලි බලය ඇණ හිටීම දැන් ජාතික ප්‍රශ්නයකි. එය ජාතික ආරක්ෂාවට සේම සාමාන්‍ය ජන ජීවිතයට ද දැරිය නොහැකි ගැටලුවකි. තවමත් අලි උවදුරෙන් බැට කන ජනතාවක් සිටින ප්‍රදේශවල ජනතාවට විදුලිය නැති වීම බලපාන්නේ අපට බලපාන අයුරෙන් නොවේ ය. විදුලිය නැති නිසා අලි වැට අක්‍රිය වී අලි රංචු පිටින් ගම් වැදී ගම් නියම් ගම් වනසන බව පසුගියදා මාධ්‍ය ඔස්සේ අනාවරණය කර තිබිණි. නාගරික මධ්‍යම පාන්තිකයන්ට රස්නය සහ එළිය නැති වීම ගැටලුවක් වෙද්දී ඇතැම් ගම්වාසීන්ට ජීවිතය රැක ගැනීම ගැටලුවක් වන්නේ මේ අර්බුදය නිසා ය. මුළු රටේ ම ගත්තත් අද වන විට විදුලිය නැති නිවෙස් ගණන ඉතා අල්ප වන බැව් සත්‍යයකි.

කර්මාන්ත ක්ෂේත්‍රය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය ආදී වශයෙන් මෙකී නොකී බොහෝ ක්ෂේත්‍රවලට මේ නිසා සිදුවන පාඩුව රටේ ආර්ථිකය ඇතුළු සියලු දෑට අහිතකර ලෙස බලපානු ඇත. විදුලි බල අර්බුදය නිසා ඍජු ව හා වක්‍ර ව සිදුවෙන ගැටලු ප්‍රමාණයේ පරිමාව ගැන දැන් ම අනාවැකි කීමට නොහැකි ය.

කිවයුතු එක දෙයක් තිබේ. ජල විදුලිය පිළිබඳ දැඩි විශ්වාසයෙන් ඔබ්බට ගොස් විකල්ප සෙවිය යුතු වීම අනිවාර්ය සාධකයකි. සූර්ය බලශක්ති විදුලි නිෂ්පාදන කෙරෙහි මීට වඩා සැලසුම් සහගත ව ක්‍රියාත්මක වීම ගැන අවධානය යොමු කළ යුතු ව ඇත. ඒ සඳහා කඩිනම් උපාය මාර්ග සෙවීමේ ක්‍රියාවලියක රජය නිමග්න විය යුතුය. රටේ පවතින විදුලිය ඉල්ලුම වාර්ෂිකව 5%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යයි. එහෙත් ඊට සමගාමීව විදුලිය සැපයීම ඉහළ යන්නේ නැත. මේ හැරෙන්නට සෑම වසරක ම නියං කාලයේදී විදුලිය සැපයීම හා නිෂ්පාදනය පිළිබඳ ගැටලු මතු වීම කාලාන්තරයක් තිස්සේ අප මුහුණ දෙන ගැටලුවකි.

ජනතාවට දැරිය හැකි පරිමාවක විකල්ප විදුලි පුනර්ජනනීය ක්‍රමවේද හඳුන්වා දෙන්නට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දැන් හෝ කටයුතු කරන්නේ නම් එය ආයෝජනයකි. විදුලිය පැය 7-8 වඩා කැපූ කාල අපි පසුකර ඇත්තෙමු. එදවස, මෙදා මෙන් ගෝලීය වසංගතයක් විසින් ලෝක ආර්ථිකය ම දණ ගස්වා තිබුණේ ද නැත.

එහෙත් එදා ද ඉදිරිය ගැන සැලසුමක් තිබුණේ නැත. දීර්ඝකාලීන සැලසුමක අවැසිතාව අන්කවරදාටත් වඩා දැන් අප ඉදිරියේ ඇත්තේ එකී නොතකා හැරීම් නිසා ය.

Comments