දෙවියනි; ඔබ කොහිද! | සිළුමිණ

දෙවියනි; ඔබ කොහිද!

ක්සත් ජානීන්ගේ සංවිධානයේ ආරම්භක තේමාව වූයේ “යුද්ධය ඇතිවන්නේ හදවතේ ය. ඒ නිසා සාමයේ පවුරු නිර්මාණය කළ යුතු වන්නේ ද හදවතේ ය” කියා ය. හදවතට ඔරොත්තු නොදෙන ආකාරයේ ක්‍රෑර සිදුවීමකට මුහුණ දී ඒ උවදුරෙන් රිදුණු සිතැති අපි හදවතේ රිදුමට බලපෑ ආගමික අන්තවාදයෙන් වික්ෂිප්තව සිටිමු. සිය ආගමික මතවාදයකට හානියක් කළ බවට චෝදනා කරමින් පකිස්තානයේ සීකොට් නගරයේදී ගනේමුල්ලේ ප්‍රියන්ත කුමාර දියවඩනගේ දරුණු වධ දී පුළුස්සා මරා දැමුවේ හදවතේ ඇති වූ යුද්ධය නිසා ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙන අන් යමක් තම තේමාව සේ ජනගත කිරීමට තරම් වටිනාකමක් සහිත වූ හදවතේ සාමයට පකිස්තානු ඇඟලුම් කම්හලක සේවය කරන ආගමික අන්තවාදීන් දුන් අරුත තිගස්සවන සුලු ය. මුළු ලොව ම සලිත කරමින් මානව සමාජයේ ආධ්‍යාත්මය මතට එල්ල කළ ඒ කුළු ගෙඩි පහර ආගමික අන්තවාදයේ නරුමත්වය හෙළි කළේ ය.

පකිස්තානයට මේ වැනි දේ සම්බන්ධයෙන් බරපතළ ඉතිහාසයක් තිබේ. ඒ ඉතිහාසය පුරා ම ඇත්තේ ලේ කඳුළු ගංගාවකි. එදා ද ප්‍රියන්තගේ ඛේදවාචකයට ලොව ම කම්පා වෙන සේ කම්පා වන්නට ද ඇත. එහෙත් නරුම ක්‍රියාවලිය නතර වූයේ නැත. ඒ සඳහා උදාහරණයක් සපයා ගන්නට වැඩිදුර යා යුතු නැත. අවුරුදු හතරකට එපිට මේ මිලේච්ඡ ක්‍රියාවට පණපිටින් පිලිිස්සී වාතලයට මුසු වුණේ සිය මතවාදයක් ඉදිරිපත් කිරීමේ වරදට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. අබ්දුල් වලිබාන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ මෂාල් ඛාන් ඒ ශිෂ්‍යයා ය. හේතුව ඉස්ලාම් ආගම විවේචනයට ලක් කිරීම ය. ඔහුගේ මතවාදය පිළිබඳ කිපුණු ඉස්ලාමීය අන්තවාදී තරුණ පිරිස් මේ ශිෂ්‍යයාට පහර දී නිරුවත් කර පණ පිටින් පුලුස්සා දැමුවේ ය. එදා පිලිිස්සුණේ ද පණ පිටින් තරුණයෙකි; මෙදා පිලිස්සුණේ ද පණ පිටින් තරුණයෙකි.

කිසිදු වෙනසක් නැති ව වසර හතරකට පෙර සිදු වුණු දේ නැවතත් පකිස්තානයේදී සිදු වෙන්නේ ලොව දන්නා කියන මානව හිමිකම් සංවිධාන විශාල ගණනක් තිබියදී වීම විහිළු සහගත ය. වසර 30 ක ජාතිවාදී යුද්ධයක් මානුෂික ක්‍රියාවින්තයකින් පරාජය කළ විට එහි සිදු වූ දෑ ගැන වැලි කැටයක් පාසා සොයන්නට ආ මානව හිතවාදීන් මේ වැනි දෑ අබියස මුනිවත රකින්නේ ඇයි දැයි අපට ගැටලුවකි. අප මානුෂීය ක්‍රියාන්විතය කළේ කිසිදු ජාතිවාදී හෝ වෙනයම් කෝණයකින් නොවේ. අප සොල්දාදුවන් යුද ක්‍රියාකාරකම් අබියස වෙඩි වැදුණු හෝ තුවාල වුණු පිරිස් ඔසවා ගෙන ආවේ ජාතිය හෝ ආගම අසා නොවේ. ඔවුන්ට ඒ සියල්ලෝ පීඩිතයෝ පමණක් වූහ. එහෙත් මානව හිමිකම් සංවිධාන පෙළ ගැසුණේ මේ සියල්ල නොදන්නා සේ ය. වීරත්වය හෝ මානුෂිකත්වය තවදුරටත් ලියැවිය යුතු වන්නේ තම තමන්ට අවැසි පරිදි නොවන බව මේ සිද්ධියේදී හෝ අවධාරණය කළ යුතුව ඇත.

කාල් මාක්ස් හරි අපූරු කතාවක් කියා තිබේ. මේ කියන්නේ මේ සිදුවීම්හි ඇති සචේතනික සත්‍යතාවයි. ‘‘ආගම නම් පීඩිතයාගේ සුසුම් ය. කුරිරු ලෝකයේ මෘදු හදවත ය. අචේතනික දෛවයේ කරුණාබර ආත්මය ය. මහජනතාවගේ අබින් ය’’

ආගම, ජාතිය වැනි අබින්වලින් පිරුණු ලෝකයකට මාක්ස්ලාගේ හදවත මෘදු වැඩි ය. මේ මොහොතේ ආගමික අබින්වලින් මත් වූ පිරිසට කිව යුතු වෙන්නේ ඔවුන් ලැජ්ජා විය යුතු බව ය.

අද වන විට අධිරාජ්‍යවාදී රටවල් විසින් වහබ්වාදය හෙවත් ඉස්ලාම් අන්තවාදය විවිධ රටවල්හි ගැටුම් ඇති කිරීමට, ඒ රටවල් දුර්වල කිරීමට සහ අවසානයේදී ඒ ගැටුම් මුල්කරගෙන මැදිහත් වීම සඳහා යුද ම ය උපාංගයක් ලෙස යොදා ගන්නා බව ප්‍රකට රහසකි. සහරාන්ලා කළේ ද පසුගියදා එවැන්නකි. පාස්කු ප්‍රහාරයට මුල් වූ මහ මොළකරුවන් අයි එස් සංවිධානයෙන් පුහුණුව සහ අභාසය ලබාගත් බව හෙළිදරවු විය. එවන් එක් පුද්ගලයකු වූ නවුෆර් නම් මව්ලවිවරයා; සහරාන් සමඟ පැවැත්වූ පුහුණු වැඩමුළු 15කදී අයි එස් ත්‍රස්තවාදීන් විසින් බෙලිකපා මනුෂ්‍ය ඝාතන සිදු කරන ආකාරය වීඩියෝ දර්ශන මගින් දරුවන්ට ඉගැන්වූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව හෙළිදරව් කර තිබේ. අනාගත පරම්පරාව ද මෙසේ මිලේච්ඡ අන්තවාදය කරා යොමු කිරීමේ ක්‍රියාදාම අබියස මානුෂීය අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටීම අරුමයක් නොවේ.

අන්තවාදීන් මැද මධ්‍යස්ථ ලෙස ලෝකය දකින එක් අයකු ගැන ද පකිස්තානයෙන් වාර්තා විණි. පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ලෝක සාමයට අවනත වෙමින් හා අන්තවාදී ක්‍රියාව ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කර සිටියේ එකී මානුෂීය මිනිසා මලික් අද්නාන්ට එරට සිවිල් වැසියකුට පිදෙන උසස් ම සම්මානයක් වන ‘තම්ග්හා ඉ ශුජාත්’ යනුවෙන් එරට බසින් හැඳින්වෙන වීරත්වයේ සම්මානය පුදදීමට තීරණය කළ බවකි.

තමන්ට එරෙහි ව එන වියරු වැටුණු දහස් ගණනක් නොමිනිසුන් හමුවේ තමන් ආරක්ෂා කිරීමට තම සිරුර ම පළිහක් සේ යොදා ගත් මලික් අද්නාන් ශ්‍රී ලංකික ප්‍රියන්ත දියවඩනට ඒවෙලෙහි පෙනෙන්නට ඇත්තේ මිහිබට දෙවියකු සේ ය. ඒ දෙවියන් ම වෙනත් වේෂයකින් පෙන්නුම් කර ඔහුට මරණය උදා කිරීමට පාර කැපීම හදවතේ ගැඹුරු තුවාල ඇති කිරීම වැළැක්විය නොහැකි ය.

ආගමික අන්තවාදය ඇතිවන්නට හේතු ලෙස පෙන්වා දෙන්නේ අල්ලාහ් පහළ කරන ලද ධර්ම පුස්තකයේ එනම් කුරාණයේ තමන්ට වාසිදායක හෝ තමන්ගේ අරමුණ ඉටුවන වාක්‍ය පමණක් තෝරා බේරා ඒවාට අවනත වී තමන්ට අවාසිදායක හෝ අකමැති කොන්දේසි වලට අවනත නොවීම බව මධ්‍යස්ථ විචාරයකයන්ගේ මතයයි.

අල්කුරාණ්හි සංහිඳියාව ඇති කිරීම පිණිස යුදමය වාතාවරණය පාලනය කරන කොන්දේසි ඇතුළත් පාඨ බහුල ය. සුළුතරයකගේ නොදැමුණු මනස නිසා සමාජය සදාචාරවත් කරන රීති වල් වැදී ඇත.

එක ම දෙවියන් ඇදහුව ද ඒ ඒ ආගම් හි මූලික ඉගැන්වීම් ප්‍රතික්ෂේප කර තම තමන්ගේ මතවාද ඊට එකතු කිරීම ඛේදජනක ය. දෙවියන් වහන්සේ ගේ කරුණාව වෙනුවෙන් පෙනී සිටින්නන් විරුද්ධ මතවාදීන් මරා දැමීමට තරම් සැහැසි වීමක් ගැන කිසිදු ආගමක සඳහන් නොවීම පිළිබඳ පාඩම කවුරුන් කවදා උගන්නාවි ද යන්න ගැටලුවකි. පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මේ සිදුවීමේදී ක්‍රියා කළ ආකාරය පිළිබඳ ලෝකයේ ප්‍රශංසාව හිමි වී තිබේ. පරිණත දේශපාලන නායකත්වය විසින් මෙකී ක්‍රියාව පසුපස ඇතිවන්නට නියමිත ව තිබූ බොහෝ පසුගාමී ක්‍රෑර ක්‍රියා වළකනු ලැබීය.

ආදරය හා වෛරය අතර ඇත්තේ කෙස්ගසක වෙනසක් පමණී. ඒ වෙනස වෙනුවෙන් ලෝක යුද්ධයක් වුව ද ඇති විය හැකිය. දේශපාලන විසම්මුතිකත්වයත්, ඒකාධිපතිත්වයත් විසින් ආගමික අන්තවාදය අවුළුවනු ලැබේ යැයි කියන්නේ බෙනාසීර් බූතෝ ය. එහි ම අනෙක් පැත්ත ද විය හැකි ය. එනම් අන්තවාදය නිවන්නට ද පරිණත දේශපාලනයකට හැකි ය. බලා සිටීම වේදනාකාරී වුවත් බලා සිටින්නට අපට සිදු වී තිබේ. බලා සිටීම දීර්ඝ වීම ගැටලුවක් නොවන්නේ සුපහන් හෙට දිනක් ලැබෙන්නේ නම් ය. එනම් අන්තවාදී ආගමික මනස සුවපත් වී මනුෂ්‍යත්වයෙන් හදවත පිරෙන්නේ නම් පමණකි.

Comments