යුගයේ මිනිසා | සිළුමිණ

යුගයේ මිනිසා

මෙරට දේශපාලනයේ පරිණතම හා ජනප්‍රිය ම දේශපාලකයකු වන අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ 76 වන ජන්ම දිනය යෙදෙන්නේ නොවැම්බර් 18 වැනිදා ට ය. 1945 හම්බන්තොට වීරකැටිය ප්‍රදේශයේ උපත ලබන මහින්ද රාජපක්ෂයන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ද පසුව කොළඹ නාලන්ද විද්‍යාලයෙන් සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් ද අධ්‍යාපනය හදාරා තිබේ. පසුව කොළඹ නීති විද්‍යා‍ලයේ නීතිය හදාරා නීතිඥවරයෙක් බවට පත් වුණු ඔහු සහෝදරයන් හය දෙනකු සහ සහෝදරියන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලක දෙවන පුතු ය. 1977 සිට තංගල්ල නගරයේ නීතිඥවරයකු ලෙස කටයුතු කළ හේ ඒ ඔස්සේ 1994 දී අමාත්‍යවරයකු ලෙස පත්වනතෙක් ම ජනතාවගේ අවශ්‍යතා හා දකුණේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ ව ඉතා සමීප ව අවබෝධයක් ලබා ගත්තේ ය.

1970 වසරේදී ලංකාවේ ළාබාලත ම මන්ත්‍රීවරයා ලෙස බෙලිඅත්ත ආසනයෙන් 1970 ජුනි මස හත්වැනිදා පාර්ලිමේන්තුවට මුල්වරට තේරී පත්වන විට මහින්ද රාජපක්ෂයන්ට වයස විසි හතරකි. 1967 වසරේදී සිය පියා වූ ඩී. ඒ. රාජපක්ෂයන්ගේ අභාවයෙන් පසුව මහින්ද රාජපක්ෂයන් බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසය සඳහා ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් විය. 1977 දී තම මන්ත්‍රීධුරය අහිමි වුව ද, 1989 දී පැවති මැතිවරණයේදී ඒ මන්ත්‍රීධුරය නැවත ලබා ගත්තේ ය. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට නැවත පත්වුණු ඔහු 2005 දී විධායක ජනාධිපති ලෙස පත්වන තුරු ඒ තනතුර දැරුවේ ය.

1970 සිට 2009 දක්වා තීරණාත්මක අවදියක් ගත කළ ශ්‍රී ලංකාවේ දශක තුනක් පුරා කඳුළින් ලියැවුණු යුද්ධයේ අමිහිරි අත්දැකීම් නිමාකර සාමයේ අරුණලු උදා කරන්නට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂයන් යුද්ධයක් මුළුමනින් නිම කළ නායකයකු ලෙසින් ඉතිහාසයේ අතිශය ගෞරවාදරයට පත් විණි. වසර තිහක් යනු සුළු කාලයක් නොවේ. ඒ කාලය ඇතුළත විවිධ ආණ්ඩු තිබුණ ද ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ක්‍රියාත්මක වූ තීරණාත්මක මෙහෙයුම් ගණනාවකදී ම පරාජය බාර ගන්නට ආණ්ඩුවට සිදු වූ බව අපට අමතක නැත. දුර්වල දේශපාලන නායකත්වය, ආරක්ෂක අංශවලට ප්‍රමාණවත් භට පිරිස් නොමැතිකම, යුද්ධෝපකරණවල අඩුලුහුඬුකම් හා තවත් කරුණු කාරණා රැසක් ඒ සඳහා බලපෑවේ ය. මේ සියලු කාරණා වෙනස් වෙනනේ මහින්ද රාජපක්ෂයන් රට බාර ගැනීමත් සමඟිනි. සියල්ලෝ එකාවන් ව එක් වූයේ රට එක්සේසත් කර ගැනීමට ය.

නිදහස් සන්ධානයේ ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂයන් බහුතර ජනතාවගේ ඡන්දයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම ලෝක ඉතිහාසය ම වෙනස් කිරීමට පාදක වන්නේ ඒ අයුරෙනි. දශක තුනක් පුරා කඳුළින් ලියැවුණු යුද්ධයේ අමිහිරි අත්දැකීම් නිමාකර සාමයේ අරුණලු උදා කරන්නට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂයන් යුද්ධයක් මුළුමනින් නිම කළ නායකයකු ලෙසින් ලෝක ඉතිහාසයේ අතිශය ගෞරවාදරයට පත් විණි.

දෙමළ ඊලාම් කොටි සංවිධානයේ ත්‍රස්තවාදය රටින් තුරන් කළ හා ඉන් රට සාම මාවතටත්, ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයකටත්, ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයකටත් යොමු කළ ජාතික නායකයා ලෙස ඔහු ජනතා ගෞරවාදරයට පත්වූයේ ය. එක්සත් රටක් එක් ධජයක් යටතේ සංවර්ධන මාවතකට රට ප්‍රවිෂ්ට කරවීමේ මාවත ද ඉන් අනතුරුව එළි වෙන්නේ ය.

2009 මැයි 19 දා කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීම ඉතිහාසයේ ලියැවෙන්නේ කඳුළින් මරණයෙන් ලියැවුණු කතාවක් ලෙසිනි. ඒ සා වික්‍රමයක් කිරීමට එවකට ජනපති මහින්ද රාජපක්ෂයන්ට සවියක් වූයේ වත්මන් ජනපතිවරයා වන එදා ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂයන් ය. යුද්ධයකින් අවතැන් වූ රට ගොඩනඟන්නට සවිමත් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේ වත්මන් මුදල් ඇමති එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂයන් ය.

අද ඇත්තේ ද වසංගත යුද්ධයකි. වර්තමානයේ එකතු වී සිටින්නේ ද එදා සිටි සහෝදර කැළ ම ය. ජීවිතය හා සටන් කරමින් ආර්ථික සංවර්ධනය ඇති කිරීමේ ලා කැපවෙමින් සිටින මෙවන් මොහොතක ජනාධිපතිවරයාගේ යෝධ ශක්තිය සිය වැඩිමල් සොහොයුරා වන මහින්ද රාජපක්ෂයන් ය.

මහින්ද යනු පරිණත දේශපාලනයේ ප්‍රතිමූර්තියකි. ඔහුගේ දේශපාලන දිවියේ ඔහු නොඉසුලූ තනතුරක් නැත. ඔහු ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරයකු මෙන්ම ඇමතිවරයකු ද, අගමැතිවරයකු ද විය. ජේ. ආර් ජයවර්ධන නිර්මාණය කළ විධායක ජනාධිපති ධූරයෙහි ඔහු දෙවරක් ජනපතිධූරය හෙබවූයේ ය. එමෙන්ම ඔහු වරක් විපක්ෂනායක ද විය. ඒ සියල්ල නිසා ඔහු ජය පරාජය විඳ ඒ සියල්ලෙහි අත්දැකීම් ද විඳ ඇත. එබැවින් මේ පරිණත ම දේශපාලකයා විපක්ෂයේ සිට අනාගත පරම්පරාව දක්වා ම සැවොම ඉගෙන ගත යුතු සරසවියකි.

ශ්‍රීලනිපය එක්සත් කර කොළඹ සිට කතරගම දක්වා පාද යාත්‍රාවක් සංවිධානය කිරීම, දීප ව්‍යාප්ත ව ජන ඝෝෂාව සංවිධානය කිරීම ආදිය මහින්ද රාජපක්ෂයන්ගේ දේශපාලන ජීවිතයේ ප්‍රබල සන්දිස්ථාන ය. ඒවා විවෘත දේශපාලන මැදිහත් වීම් වේ. ජනතා දේශපාලනය යනු කුමක්ද යන්නට ඒවා නිදර්ශන ය. සියලු දේශපාලකයන්ට මේ ගමන්මඟ අධ්‍යයනය කිරීම තරම් වැදගත් සරසවියක් නැත.

හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ පමණක් නොව දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිවෙන්නේ ද මහින්ද රාජපක්ෂයන්ගේ කාලයේ ය. රටේ ම පාරවල් කාපට් කර ගම් සභා පාර කොන්ක්‍රීට් කරන්නේත් එකල්හි ය. ජනතාවගෙන් සියයට අනූවකට විදුලි බල පහසුකම් ලැබෙන්නේ ද; කොළඹ වරාය නගරයට පාර කැපෙන්නේ ද මේ අවදියේ ය. දසත අරුණලු ගොඩනැඟෙමින් භෞතික සංවර්ධනය උදා වන්නේ මේ පරිද්දෙනි. පරාජය ජයග්‍රහණයක් කර ගන්නා ඔහු වැන්නකුට සියල්ල අත්දැකීම් මිස අන් යමක් නොවේ. එනිසා බලා සිටීමෙන් පමණක් වුව ඉගෙන ගත හැකි දෑ බොහෝ ය. පළමුව දෙවනුව පමණක් නොව තෙවනුවත් මව්බිම ම පමණක් පැතූ නායකයකුට මුළු රට ම පෙළ ගැසී ආයුබෝවන් කීමට මඟ බලන බැව් ලියන්නට මැළි නොවන්නේ ඒ නිසා ය.

1971 කැරැල්ලත් 1989 කැරැල්ලත් දැක විඳ 1976න් ඇරඹි වසර තිහක් පුරා ඇදී ගිය ලොව දරුණු ම ත්‍රස්තවාදයේ කතාව මුළුමනින් ම අත්විඳි ඔහුට සිය රට ගැන ඇති කැක්කුම පැහැදිලි ය. 2004 සුනාමි ව්‍යසනයත් ඉන් රට නැවත ගොඩනැංවීමත් සිදු වූයේ ඔහු සමයේ ය. පාර්ලිමේන්තුවේ දැවැන්තයන්ගේ ඇසුර හා අත්දැකීම් ඔහු සිය නිවෙසෙන් පටන් ගෙන පාර්ලිමේන්තුව දක්වා ම අත්වින්දේ ය. ආවෘත විවෘත ආර්ථික ක්‍රමද්වය ම ඔහුට ආගන්තුක නැත.

මේ තරම් ජීවන අත්දැකීම් රාශියක් ඇති දැවැන්ත දේශපාලනඥයකු අද ආසියානු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ධාරාවේ හිදී ද යනු සැක සහිත ය.

අගමැති මහින්ද රාජපක්ෂයන්ට යුගයේ මිනිසා යන

ආමන්ත්‍රණය සාකල්‍යයෙන් ම යුක්ති යුක්ත ය!

Comments