
තිරය පිටුපස භූමිකාවට පණ පොවන බොහෝ දෙනා රජුන් අබිසෙස් නංවා නිහඬවම සතුටු වන්නෝ වෙති. ආණ්ඩු හදන්නට හැමෝටම බැරිය. මහින්ද රාජපක්ෂයන්ගේ ආණ්ඩුව පෙරළා ‘යහපාලන‘ ආණ්ඩුව තනන්නට දර දිය ඇද්දෝ කෙටි කලෙකින්ම කලකිරීමට පත්ව පැත්තකට වූයේ සිය තීරණ ගැන කම්පා වෙමින් බව අමතක වීමට තරම් කාලයක් තවම ගතවී නැත. සිය කතිරය ගැන අකම්පාල වෙමින් සිටි පිරිස ගම් මට්ටමින් සංවිධානය කරමින් පොදුජන එක්සත් පෙරමුණ රට පුරා පක්ෂ ශාඛා සංවිධානය කරන විට ජනතාව ඒ වටා රොඳ බැඳ ගත්තේ තමා අතින් වූ අතපසුවීමට පෙරළා ප්‍රත්‍යූපකාර කිරීමේ අරමුණිනි. මේ ජනතා ප්‍රවාහය පිටුපස සිටි මහා මොළකරු වූයේ බැසිල් රෝහණ රාජපක්ෂයන්ය. එතෙක් මෙතෙක් ඉතිහාසයේ අඩුම කාලයකින් වැඩිම මනාප ලබා ගනිමින් ජේ. ආර් ගෙන් පසුව තුනෙන් දෙකක් ගැනීම සිහිනයක් යැයි කියූ වහසි බස් දොඩන්නන් ට තුනෙන් දෙකක් ගෙන පෙන්වන්නට පොහොට්ටුවට පාර කැපූයේ බැසිල් රාජපක්ෂන්ය. බොහෝ දේශපාලඥයන්ට ඔහු වහ කඳුරු වූයේ මේ ජනකාන්ත ශූර සංවිධාන ශක්තිය නිසා ය. විපක්ෂය බැසිල් රාජපක්ෂ නාමය ඇසූවත් වහ කදුරු සේ කිපෙන්නේ මේ හැකියාව දන්නා නිසා ය. වසර තුනක් වැනි කෙටි කලක් ඇතුළත දැවැන්ත සංවිධාන ජාලයක් බිහි වන්නේ මෙකී කාර්යශූර සංවිධානය නිසාය. ඉදින් විපක්ෂයට බැසිල් රාජපක්ෂයන් පෙන්නන්නට බැරි වීම අරුමයක් නොවේ ය.
අප ගත කරමින් සිටින්නේ තීරණාත්මක අවදියකි. කොවිඩ් වසංගතය විසින් රට අඩපණ කිරීමට ලක්ව මාස 16ක් ගතව තිබේ. ආර්ථිකය, මානව සම්බන්ධතාවලට මෙන්ම පැවැත්මට ද අභියෝග කළ මේ වසංගතය විසින් අපට අහිමි කළ දෑ නැවත සැලසුම් සහගතව දිනා ගත යුතු ව තිබේ. ඒ සඳහා දැවැන්ත සංවිධානාත්මක සැලසුමක් අවැසි ය. ඕනෑම අභියෝගයක්; අභියෝගයක් නොවන බැසිල් රෝහණ රාජපක්ෂයන් වැන්නකුගේ සහයෝගය මේ අවස්ථාවේ රජයට අත්‍යවශ්‍යය. බැසිල් රාජපක්ෂයන් තරම් කතා බහට ලක් වූවකු පසුගිය දශකය ඇතුළත නොවන්නට ඇතැයි විචාරකයන් දරන මතය ලෙහෙසියෙන් බැහැර කළ නොහැක්කේ එබැවිනි. ඔහු බොහෝ දේ දරා ගනිමින්, ඒ සියල්ලට මඳ සිනහවකින් සංග්‍රහ කරමින් සිය කාර්යය නිහඬව ඉටු කෙරූවෙකි. වැඩ කරන්නට උත්සාහ දරන්නන්ට වැඩ බැරි අය අකමැති වීම අරුමයක් නොවේ. එය කොතැනටත් අදාළ ය.
චින්තනය හා සැලසුම් සහගත කළමනාකරණය වැඩ කරන පුද්ගලයකුට අභරණ ය. එක් අයකු ඇතුළත මේ සාධක සියල්ල අන්තර්ගත වීම ජනතාව ලද ජයග්‍රහණයකි. කතාවෙන් ජය ගන්නා බොහෝ අය අතර ඔහු ක්‍රියාවෙන් වැඩ පෙන්වන්නෙකි.
දශක තුනක යුද්ධයෙන් බැට කෑ උතුරු නැගෙනහිර සංවර්ධනය සිහිනයක් තරම් දුර ගිය යුගයක බැසිල් රාජපක්ෂයන් ‘උතුරු වසන්තය‘ ක්‍රියාත්මක කිරීම සිය අතට ගත්තේය. ඒ සිහිනය සාක්ෂාත් කර ගැනීමට පහසු ඉලක්කයක් නොවේ. උතුරු වසන්තය වැඩසටහන යටතේ පළමුව දින 180 ක කඩිනම් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කළ බැසිල් රාජපක්ෂ විසිරී තිබූ පවුල් පළමුව ඒකරාශී කළේය. යුද්ධය නිසා නැවත පදිංචි විය නොහැකි ආකාරයට කැඩී බිදී ගිය නිවෙස් මෙන්ම තම නිවෙස තිබූ තැන සොයා ගැනීමට නොහැකි වූ ජනතාවට ද ඒ ඔස්සේ පිළියම් ලැබිණි. නිවාස ගැටලුවට පිළියමක් දෙන තෙක් අලුත් ඉඩම් හා තාවකාලික නිවාස හෝ ලබාදී ජන ජීවිත යථාවත් කිරීම කඩිනමින් කළ යුතුව තිබිණි. දින 180 කඩිනම් වැඩ පිළිවෙල මගින් සිදු කළේ ජනතාවට තාවකාලික නිවාස පහසුකම් ලබා දීම සහ ඔවුන්ගේ අනෙකුත් අවශ්‍යතා සපුරාලීමයි.
අනතුරුව "උතුරු වසන්තය" වැඩසටහන ඔස්සේ යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවගේ ජීවන මට්ටම ලහි ලහියේ සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට බැසිල් සිය දිශානතිය යොමු කළේය. වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රික්ක පහෙන් සමන්විත උතුරු පළාතේ අවතැන් වූ ජනතාව යුද වටපිටාවකින් තොර සාමකාමී පරිසරයකට යොමු වූයේ ඒ අයුරෙනි.
උතුරේ මුඩුබිම් නැවත ගොවිබිම් බවට පත්විණි. උතුරේ පාසල් නැවත දරුවන්ගෙන් පිරිණි. සයනයිට් කරල වෙනුවට දරුවන් පොත් බෑගය කරේ එල්ලාගෙන පාසැල් යන්නට පටන් ගත්තේය. එදා යුද්ධයේ කුරිරු බව තේරෙන වයසේ සිටි දරුවෝ අද වැඩිහිටියෝය. උතුරු වසන්තය ඔවුන්ගේ ජීවිතයට වසන්තයක් උදා කරන්නට බැසිල් ක්‍රියාත්මක වූයේ එලෙසිනි.
‘නැගෙනහිර නවෝදය‘ ද මෙසේ ම ය. එකල ශ්‍රී ලංකාවේ වාර්ෂික ආර්ථික වෘද්ධි වේගය 7.2% දක්වා ඉහළ ගියේය. එය සමකාලීන දකුණු ආසියාවේ ඉහළම ආර්ථික වර්ධනයයි. බොහෝ අය අමතක කරන්නට උත්සාහ කළ ද සබුද්ධික ජනතාවට අමතක නොවන කාරණය නම් මහින්ද රාජපක්ෂයන්ගේ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වූයේ බැසිල් රාජපක්ෂයන් බවය. ඔහුගේ කාර්ය ශූරත්වයට, කැපවීමට, ඉවසීමට අගුලු තබන්නට හැක්කෙක් හෝ නොවන බව රටට ආදරය ඇත්තෝ දනිති.
මේවැනි වසංගතයක් අභියස බොහෝ දෑ අහිමිව හා පෙළ ගස්වා ගැනීමට නොහැකිව සිටින අවස්ථාවක මෙවැනි බහුවිධ ශක්‍යතා ඇති නායකයකු ළඟ තබාගෙන ප්‍රයෝජනයක් නොගන්නේ නම් එය අනුවණකමක් විනා අන් යමක් නොවේ. තීරණ ගත යුත්තේ අවැසි වෙලාව ට ය. අශ්වයා ගිය පසු ඉස්තාලය වසා පලක් නැත්තාක් මෙන් මේ මොහොතේ බැසිල් රාජපක්ෂයන්ගෙන් ප්‍රයෝජන නොගන්නේ නම් පලක් නැත. මේ ඒ සඳහා හොඳම වෙලාවයි. විවේචන ඇසුණත් නෑසුණා සේ වැඩ කරන බැසිල් රාජපක්ෂයන්ට මේ අර්බුදය කළමනාකරණය කරගත හැකි බව රටට හිතැති ජනතාවගේ විශ්වාස ය.
මහත්මා ගාන්ධි හරි අපූරු ප්‍රකාශයක් කර තිබේ. ගාන්ධිතුමා පවසන්නේ
‘මේ ලෝකයේ මිනිසුන් වර්ග දෙකක් සිටින බව ය. ඉන් එක් කොටසක් වැඩ කරන අයයි. අනෙක් කොටස ඒ සඳහා ලකුණු දමා ගන්නා අයයි. මගේ පියා මට නිරතුරුව පවසා ඇත්තේ මින් පළමු කාණ්ඩයට ඇතුළත් වන ලෙස ය. එයට හේතුව වැඩ කරන මිනිසුන් අතර තරගයක් නැති බැවිනි. තරගය ඇත්තේ ලකුණු දමා ගන්නා පිරිස අතරයි‘ ලෙසිනි. බැසිල් රාජපක්ෂයන් වැඩ පෙන්වූ වැඩ කරන අයෙකි. ඉතින් වැඩ නොකර ලකුණු දමා ගන්නට පමණක් වලිකන අයට ඔහුගේ ආගමනය නුරුස්සන්නට හැකිය. එහෙත් මේ වැඩ කළ යුතු සමයෙකි. නැත්නම් වසංගතයෙන් පීඩා විඳින ජනතාවට යන එන මං නැති විය හැකිය.
ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව පිටු දැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂයන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජූලි 8 වැනිදා දිවුරුම් දීම වටින්නේ මේ පසුබිමේ ය.