පුරාවිද්‍යාවට නව පෙරවදනක්! | සිළුමිණ

පුරාවිද්‍යාවට නව පෙරවදනක්!

ශ්‍රී ලංකාවේ 131 වන පුරාවිද්‍යා දිනය යෙදී ඇත්තේ ජූලි 07 වැනිදාට ය. ඒ වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජුලි 01 දා සිට 14 දක්වා පුරාවිද්‍යා දෙසතියක් නම් කර තිබේ. මේ දෙසතිය පුරා උපනූපන් පරපුර උදෙසා පුරාවස්තු සුරකිමු යන මැයෙන් විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වීමට නියමිත ය. මෙවර වැඩසටහන දෙස බැලීමේදී වෙනදාට වඩා වෙනසක් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. ඒ මෙතෙක් ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අත පමණක් තිබුණු පුරාවිද්‍යාව අනාගත පරපුර වෙත ගෙන යෑමේ වෑයමක් මෙකී පුරාවිද්‍යා දෙසතිය ඔස්සේ විද්‍යමාන වන නිසා ය. වයස අවුරුදු 16 සිට 40 දක්වා තරුණ පිරිස ඉලක්ක කර ගනිමින් සංවිධානය වන ‘පුරාවිද්‍යා තරුණ එකමුතුව‘ එවැන්නකි.

ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක ද මෙකී කාර්යභාරයට ඉමහත් සහයක් දක්වයි.

එහෙත් වැඩසටහන්, වැඩමුළු හා දේශනවලින් ඔබ්බට යන පුරාවිද්‍යාවක් අපට අවශ්‍ය ව තිබේ. එයට දින වකවානු සැමරීම් නොතිබුණාට කම් නැත. අපේකම රැක ගන්නා අපේ උරුමය පිළිබඳ සංස්කෘතික හැඟීමක් සෑම පුද්ගලයකුගේ ම සම්, මස්, ඇට, නහරවලට දැනෙන්නේ නම් ඒ ප්‍රමාණවත් ය.

අතීත මානව වර්ගයාගේ පැවැත්ම හා ක්‍රියාකාරකම් පිළිබඳ ව හා අතීත ස්මරණීය සාධක පිළිබඳ ව අතීතයෙන් දැල්වෙන ගිනිපුළිඟුව වන්නේ පුරාවිද්‍යාවයි. ප්‍රෞඪත්වය, උරුමය පිළිබඳ කතිකාව ගොඩනැඟෙන්නේ මෙකී සන්දර්භ මත පිහිටමිනි. ලෝකයේ ම බලවතා ලෙස සිය ආධිපත්‍යය පතුරුවා ගෙන සිටින ඇමෙරිකාවට පවා දිගුකාලීන ඓතිහාසික හා ප්‍රෞඪ ඉතිහාසයක් හිමි නැත. නූතන ඇමෙරිකාව ඓතිහාසික වටිනාකම් පිළිබඳ බලවත් උනන්දුවක් දක්වන බැව් පසුගිය කාලයේ නිරීක්ෂණය වූයේ එබැවිනි. එකරුණ සනාථ වීමට බලපෑම් කළ ප්‍රධාන ම සාධකයක් ලෙස දැක්විය හැක්කේ; ඇමෙරිකන් ප්‍රකාශන සමාගම් ඓතිහාසික නවකතාවලට වාර්ෂිකව ඇගයීමක් කිරීම ය. කෙතරම් බලවත් වුවත් ඓතිහාසික තත්ත්ව කෙරේ වන බලවත් උනන්දුව මෙයින් පැහැදිලි වේ. එනයින් බලන කල අප වැනි ඓතිහාසික ප්‍රෞඪත්වයෙන් අනූන රටවල් කෙරේ ඔවුන්ගේ බැල්ම මෙතරම් වැඩි ඇයිද යන්න පැහැදිලි ය.

සංස්‌කෘතික උරුමය ඇතුළත ජාතික අනන්‍යතාව හා පෞරුෂත්වය ගැබ් ව තිබීම මේ වටිනාකමට හේතුවයි. ස්‌වභාවික උරුම යනු සොබාදහම විසින් නිර්මාණය කරනු ලබන වස්‌තු ය. ඒවා රැකගැනීම සොබාදහම රැක ගැනීමක් වන්නේ ඒ නිසා ය. ඒ කෙසේවෙතත් අපේ පුරාවස්තු ගැන දිනෙන් අපට අසන්නට ලැබෙන ප්‍රවෘත්ති නම් එතරම් සුබදායක නොවේ. පුරාවස්‌තු හා කෞතුක වස්‌තු කොල්ල කෑම, ස්‌මාරක විනාශ කිරීම, අවිධිමත් ඉදිකිරීම්, සංවිධානාත්මක ව සිදුවන පුරාවස්‌තු ජාවාරම්, අවිධිමත් සංරක්‍ෂණ ක්‍රියාදාම, දේශපාලන ක්‍රියාකාරකම්, පුරාවිද්‍යා ක්‍ෂේත්‍ර භූමි ඇතුළත අනවසර පදිංචි වීම්, පුරාවිද්‍යා ස්‌මාරක සහ ස්‌ථාන හුදකලා වීම හා වල්වැදීම, ආර්ථික ක්‍රියාකාරකම්හි අවිධිමත් බව, මිථ්‍යා මත හා ආගමික විශ්වාස යන හේතු නිසා අපේ පුරාවිද්‍යාත්මක උරුම දිනෙන් දින විනාශ වෙමින් පවතී. ලෝක උරුම සේම අවශේෂ තවත් බොහෝ පුරාවිද්‍යා උරුම විනාශයේ දොරකඩට ගමන් කරමින් සිටින්නේ මෙවන් පසුබිමක ය. මුහුදු මහා විහාරයේ හා දෙවනගල පුරාවස්තු භූමිවල සිදුවූ අකටයුතුකම් අදටත් මුළුමනින් ම පහව ඇතැයි අපට සතුටු විය නොහැකි ය. ‘යහපාලන‘ සමයේ උදාගම් යැයි කියමින් විජිතපුර ප්‍රදේශය ඇතුළු පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත පෙදෙස් ඩෝසර් වූ අයුරු ද ජනතාවට අමතක නොවේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග දේශනයකදී පවසා තිබුණේ තමා මේ තනතුරට පත් වීමෙන් අනතුරුව පුරාවස්තු විනාශ කිරීම් පිළිබඳ නඩු ලිපි ලේඛන දහයකට පමණ එක් දිනකදී අත්සන් කිරීමට සිදු වී ඇති බව ය. ඒ වැනි ප්‍රකාශයක් සිදු කිරීමට සිදුවීම පවා ඛේදජනක බව අප පවසන්නේ මෙකී විනාශයේ දිග පළල ගැන එහි අන්තර්ගත නිහඬ ප්‍රකාශනය නිසා ය.

පුරාවිද්‍යාඥයන්ට දළදා මාලිගාව, කුරුන්දමලේ විහාරය, මුන්නේශ්වරම් කෝවිල, මෙන්ම නල්ලූර් කෝවිල ද එක ම වටිනාකමකින් යුතු ය. පිළිගැනීමට කැමති හෝ අකමැති වුවත් සත්‍ය වන්නේ අති විශාල පුරාවිද්‍යා ස්ථාන ප්‍රමාණයක් ඇති උතුරු නැගෙනහිර ප්‍රදේශයේ වැඩියෙන් ඇත්තේ බෞද්ධ ස්මාරක බවත්, ඒවාට අධික ලෙස වාර්ගික යුද්ධය නිසා හානි සිදු වී ඇති බවත් ය. දකුණේ විහාරස්ථානවල ද හින්දු ගොඩනැගිලි ඇති ඇති අතර ඒවාට හානි සිදු වී නැති තරම් ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දකුණේ පුරාවිද්‍යාත්මක ස්ථාන ආදරයෙන් රැකබලා ගත්තත් අවාසනාවකට මෙන් උතුරු නැගෙනහිර සිද්ධස්ථාන වලට සිදු වූ හානිය පූර්ණය කර ගැනීමට අපහසු තරම් බව පිළිගත යුතු ව ඇත.

පුරාවිද්‍යාව විෂයක් ලෙස හදාරන සිසුන් මෙන්ම පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරන්නන් ද කැලණිය විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාලවලින් සැලකිය යුතු පිරිසක් වසරකට පිට වෙති. එහෙත් ඒ පිරිසෙන් අවම වශයෙන් දෙපාර්තමේන්තු පුටු රත්කරමින් ආයතනගත නොවී ප්‍රායෝගික ව ක්ෂේත්‍රගත වන පිරිස කෙතරම් අල්ප ද යන්න පුරාවිද්‍යා කැණීම් භූමි නිරීක්ෂණයේදී පැහැදිලි වේ. මේ පිරිසෙන් අවම වශයෙන් කී දෙනෙක් ස්වකීය උරුම පිළිබඳ දැනුම්වත් ද හා ඒවාට ආදරය කරන්නේ ද යන්න සැකසහිත ය. අප මේ කියන්නට උත්සාහ කරන්නේ පුරාවිද්‍යාව හදාරන සියල්ලන් කැණීම් බිම් වෙත යා යුතුය කියා නොවේ. එහෙත් සිය ක්ෂේත්‍රයේ ඇල්මෙන් සරන පිරිස ඒ අතරෙන් කොතෙක් ද යන්න නම් විවාදාපන්න බව නොරහසකි. රජය කොතෙක් එකී විද්‍යාර්ථීන් වෙනුවෙන් රාජ්‍ය මුදල් වැය කරන්නේ ද; ඊට සාපේක්ෂ ව ලැබෙන ප්‍රතිඵලය අවම වීම අපරාධයකි.

මහාචාර්ය අනුර මනතුංග පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් වීමෙන් ඉනික්බිති බොහෝ සතුටු විය හැකි ප්‍රමාණයේ වැඩ කොටසක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදුවූ බව අවධාරණය කළ යුතුය. ඒ ප්‍රමාණාත්මක මැදිහත් වීම ගැන සංශයවාදිව නොව පූර්ණ පැහැදීමක් ජනතාවට තිබේ. එහෙත් ජාතියක් වශයෙන් වෙනම දෙපාර්තමේන්තුවක් පමණක් තිබීම පමණක් ප්‍රමාණවත් නැත. එය ජනතාවගේ දෙපාර්තමේන්තුවක් බවට පත් විය යුතු ව තිබේ. ඒ සඳහා බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක විය යුතු ය. එහි මූලාරම්භය තබන්නට ගත් වෙහෙස ගැන ජනතාව බලා සිටින අතර ම වගකීම හා වගවීම පිළිබඳ හැඟීම ද ඊට එකතු විය යුතු ව තිබේ.

පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත බිමෙක කවර ප්‍රතිසංස්කරණයක් කළත් ඒ සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ගේ අවසරය හිමි විය යුතුය. එසේ නොවන අවස්ථාවකදී දැනගත් වහා ක්‍රියාත්මක වීම පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ වගකීම ය. ඒ වගකීම පිළිබඳ ජනතාව අපමණ බලාපොරොත්තු තබා සිටිති.

වසර 131ක අභිමානය සමඟින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජනහදවත් හි ලැඟුම් ගනු ලැබීම අප උදක් ම ප්‍රාර්ථනා කරන්නේ උරුමය දේශයක අභිමානය නිසා ය. එය එලෙසම වනු ඇතැයි යන්න සැමගේ පැතුම වනු නොඅනුමානය.

Comments