
ලංකාවේ නීතිය අනුව; වැරදිකරුවන්ට දඬුවම් දීමේ බලය ඇත්තේ අධිකරණයට මිස පොලිසියට නොවේ. පොලිසිය නීතිය අතට ගත් අවස්ථා කිහිපයක් ම ගැන අමිහිරි අත්දැකීම් ලාංකීය අපට තිබේ. ප්‍රජාතන්ත්‍රීය පොලිස් සේවයක් යනු සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නකි. මහජන යහපත හා මානව අයිතිවාසිකම් එහි කේන්ද්‍රීය නිමිත්ත හෙවත් සාධකය වෙයි. පොලීසියේ කාර්යභාරය මහජන සාමය පවත්වා ගෙන යෑමයි. ඒ අනුව මහජනතාවගේ අපේක්ෂාව වූයේ නීතියේ ආධිපත්‍යය සුරකින, සේවය ලබන ජනතාවට වගකියන, මහජන හිතකාමී පොලිස් සේවයක් මිස සිය ජනතාව මත බලය පටවන හිංසාකාරී පොලිස් සේවයක් නොවේ.
සිය සේවාව වඩාත් ඵලදායී සේවාවක් කරනු වස් පොලිස් දෙපාර්තමේන්තුව සතුව පරම වගකීමක් වෙයි. එම වගකීම යථාර්ථයක් කරනු වස් මෙරට තුළ රාජකාරියෙහි නිරත 85,000කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක්; රට පුරා විසිරී තිබෙන පොලිස් ස්ථාන 494ක සහ පොලිස් කොට්ඨාස 44කට අනුයුක්තව 24 පැයේම රාජකාරියට කැපවී සිටී. රාජකාරියේ නිරත අතිශය සුළුතරයක් පොලිස් නිලධාරීන් නිසා මෙරට පොලිස් දෙපාර්තමේන්තුවට සිදුව ඇති අවමානය නම් වර්තමානය වන විට සුළුපටු නොවේ. ඒ අවමානයේ අලුත් ම චූදිතයා අප්‍රේල් 5 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කළ කොස්තාපල් ඉස්මයිල් රිෆයිඩීන් ය. මහරගම පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා ලොරි රියදුරකු විසින් හප්පා ගෙන යෑම නිසා; පොලිස් කොස්තාපල් ඉස්මයිල් රිෆයිඩීන් ලොරි රියදුරාට තිරිසන් ලෙස පහර දුන් සිද්ධිය ගැන කතා කළ යුතු වන්නේ මෙකී පසුබිමේ ය.
1866 සැප්තැම්බර් 03 වැනිදා ප්‍රථම පොලිස්පති ජී. ඩබ්. ආර්. කැම්බල් යටතේ ජාතික පොලිස් සේවයක් බවට නිල වශයෙන් ස්ථාපිත වූ මෙරට පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 155කට ආසන්න කාලසමය ඇතුළත මෙවැනි අවමන් සහගත සිදුවීම් රැසක් සිදුවී තිබේ.
ඒ අතර 1970 දී පේරාදෙණිය සරසවියේ සිසුවකුව සිටි වීරසූරිය පොලිස් වෙඩි පහරින් මරණයට පත්වීම එකල රට ම කම්පාවට පත්කළ පුවතක් විණි. වීරසූරිය මෙරට ඉතිහාසයේ එලෙස මියගිය පළමු සරසවි සිසුවාද විය. ජනතාව; පොලිසියට ගල්මුල් ප්‍රහාරවලින්ද සංග්‍රහ කළ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ ම නාමයට අවමන් සහගත කළු පැල්ලමක් එක්කළ සිදුවීමක් අඟුලාන පොලිසියෙන් වාර්තා වී තවමත් වැඩි කලක් නැත. ඒ ද මනුෂ්‍ය ඝාතනයක් සිදු වීම නිසා ය. පසුගිය ජුලි 10 වැනිදා රාත්‍රියේ මාර්ග ආරක්ෂාවේ යෙදී සිටි අඟුලාන පොලිසියට අනුයුක්ත නිලධාරීන් දෙදෙනකුගේ පොලිස් වෙඩි පහරින් අඟුලානේ පදිංචි ධීවරයකු වූ 39 හැවිරිදි අමිත් කරුණාරත්න නමැති සිවු දරු පියා ඝාතනය වීම එකී සිද්ධියයි. ඊට පෙර ද 2009 වසරේ දී ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් එවකට අඟුලාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිව්ටන් සහ තවත් නිලධාරින් තිදෙනෙකුට මරණ දඬුවම් නියම විණි. මෙකී කළු පැල්ලම් පොලිස් ඉතිහාසයෙන් අකාමකා දැමීම පහසු නැත.
නොහික්මුණු රියැදුරන්ගේ කල්ක්‍රියාව නිසා ද පසුගිය කාලය පුරා සාමාන්‍ය ජනතාව ජීවිතයෙන් වන්දි ගෙවූ අවස්ථා විරල නොවේ. පස්සර 14 දෙනකුට මරු කැඳ වූ බස් අනතුරේ උණුසුම් සුසුම් තවමත් වාතලයෙන් නික්ම ගොස් නැත. නොහික්මුණු රියැදුරකු නිසා රාජගිරියේදී උප පොලිස් පරීක්ෂකවරයකුට ජීවිතය අහිමි වී දින 10කට වඩා ඉක්ම ගොස් නැත. රාජකාරිය දේවකාරිය සේ කරන පොලිස් නිලධාරීන් ට වන මෙවැනි අනතුරු ගැන රට ම කම්පා වෙන්නේ එක්සිත්ව ය. රැයක් - දවාලක්, අවුවක් - වැස්සක් නොතකා මහමඟම ජීවිතය ගෙවන රථවාහන පොලිස් නිලධාරීන් ගැනත්, ඔවුන්ගේ කටුක දිවිපෙවෙත ගැනත් ජනතාව දනිති. රිෆයිඩීන් වැනි සංයමයක් නැති, නොහික්මුණු නිලධාරීන් මේ අගෞරව කරන්නේ එවැනි කැපවීමක් සහිත බහුතරයක් ජනතා සේවය කරන නිලධාරීන්ට වීම අභාග්‍යයකි. ගමේ ගොඩේ මේවැනි දෑට කියන්නේ කිරි කලයක් දොවා ගොම බින්දුවක් වැටුණා වැනි ය කියා ය. නිල ඇඳුම පිටුපස ජාතියේ ආරක්ෂාව සපයන, විනය රකින නිලධාරීන් මෙන්ම බලය අවියක් කරගන්නා මේවැනි නිලධාරීන් ද සිටී.
බිම වැටී පහර කන රියැදුරාට බේරීමට කිසිත් කරගැනීමට නොහැකි තරම් ආවේගශීලී ව හා මැරකමින් පහර දෙන කොස්තාපල්වරයා ප්‍රසිද්ධියේ හැසිරෙන්නේ මෙසේ නම්; හිර කූඩු ඇතුළේ සිටින සැකකරුවන්ට කෙලෙස සලකන්නට ඇත්දැයි ජනතාවට කුකුසක් මතු වීම සාධාරණ ය. ලොව පුරා සමාජ මාධ්‍ය ඇතුළු විද්යුත් මාධ්‍යයට පුවත් මැවූ මේ ක්‍රියාව සමස්ත ශ්‍රී ලංකාවට ම අපකීර්තියකි. මේ සිදුවීම සිදුවී පැය කීපයක් ගතවීමටත් මත්තෙන් පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස මහජන ආරක්ෂාව බාර අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර, පොලිස්පතිවරයාට දන්වා තිබුණේ ඒ නිලධාරියාගේ සේවය අත්හිටුවන ලෙසයි. සාමාන්‍ය පුද්ගලයකුට පහර දීමට පොලිස් නිලධාරියකුට අයිතියක් නැති බව ද හෙතෙම අවධාරණය කළේ ය. ‘මකා දමා හෝ පොලීසිය සුද්ධ කරනවා’ යැයි මාධ්‍ය ඔස්සේ පවසා එහි උණුසුම යන්නටත් කලින් මෙවැන්නක් සිදු වීම ඔහුට එකී පොරොන්දුව ඉටු කිරීමට උත්තේජනයක් සපයන්නක් වන්නට ඇත.
පසුගිය මාස තුනක කාලයකදී පොලිස් නිලධාරීන් 72ක් රිය අනතුරුවලට ලක්වී ඇති අතර, ඉන් 18කගේ ජීවිතය අහිමි වී තිබේ. 2020 වසරට පමණක් පොලිස් නිලධාරීන් 293 දෙනෙක් රථවාහන රාජකාරියේ යෙදී සිටියදී අනතුරුවලට ලක් වී ඇති අතර, ඉන් 28 න් මිය ගොස් තිබේ.
රිෆයිඩීන් වැනි කිහිපදෙනෙක් නිසා අපකීර්තියට පත් වුවත් පොලිස් සේවය රටකට අත්‍යවශ්‍ය සේවයකි. පොලිසිය විසින් රටේ සාමය, විනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන ක්‍රියාදාමය ක්‍රියා විරහිත වුවහොත් අරාජික තත්ත්වයක් උදා වෙනු ඇත. මිලේච්ඡත්වය හා සභ්‍යත්වය අතර ඇත්තේ කෙස් ගසක වෙනසකි. දළ සිතේ පැන නැඟෙන අනන්ත අප්‍රමාණ මිලේච්ඡ හා නොදැමුණු සිතිවිලි පාලනය කරන්නේ පොලිසිය වැනි නීතිය, සාමය රැකීමට ඉන්නා සංස්ථාපිත රාජ්‍ය ආයතන විසිනි.
පොලිසියේ සේවය අක්‍රිය වුවහොත් සභ්‍යත්වය අබිබවා මිලේච්ඡත්වය හිස ඔසවනු ඇත. ඒ දිනය මෙදා අපි මේ එරෙහි වන දෑට වඩා බෙහෙවින් බිහිසුණු ය. එබැවින් කළ යුත්තේ නීතිය අතට ගන්නා පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් වීම ය.
ඒ දැනුම්වත් වීම විසින් නීතිය හා සාමය ආරක්ෂා වීමේ ශක්තිමත් හා සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගෙනු ඇත. කොස්තාපල් රිෆයිඩීන් වැන්නන් නොව පොලිස් සේවයේ වගකීම පිළිබඳ සවිඥානික නිලධාරීන්ගේ අවශ්‍යතාවක් රටට තිබේ.