
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසිය පෙබරවාරි 22 සිට මාර්තු 19 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහිදී ශ්‍රී ලංකාව සම්බන්ධ කටයුතු ගැන න්‍යාය පත්‍රයට ඇතුළත් වී ඇති අතර 2015 දී සකස් කරන ලද 30 / 1 යෝජනා පදනම් කරගෙන සාකච්ඡා පැවැත්වීමට නියමිත ය. මෙහි මෙරට ස්වාධීනත්වයට හා සවෛරීභාවයට බරපතළ ලෙස හානි කරන වගන්ති ගණනාවක් ඇති බවට බොහෝ මධ්‍යස්ථ විචාරකයෝ මත පළ කරති. 30 යෝජනාව ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුය, මිල්ටරි ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කළ යුතුය, ඉඩම් පිළිබඳ අයිතිය සංශෝධනය කළ යුතුය යනාදී වශයෙන් මෙරට දේශපාලන, මැතිවරණ, අධිකරණ, පරිපාලන ආදී නෛතික ව්‍යූහය මුළුමනින් ම පාහේ වෙනස් කරන නිර්දේශ ඇතුළත් එකක් බව අප තේරුම් ගත යුතු ව තිබේ. මෙරට ස්වාධිපත්‍යයට මෙතරම් වින කරන, නීති පද්ධතියට පවා අභියෝග කරන මෙකී යෝජනාවට එවක බලයේ සිටි ‘යහපාලන‘ ආණ්ඩුව එකඟ වී තිබේ. ඒ 2015 ඔක්තෝබර් 1 වැනිදා ය. මානව හිමිකම් කවුන්සිලය මෙකී එකඟතා නිසා ‘යහපාලන‘ ආණ්ඩුව කෙරේ දැක්වූයේ නම්‍යශීලී ප්‍රතිපත්තියකි. 2019 පැවැති සැසිවාරයේදී 30/1 යෝජනාවට දිගුවක් සම්මත කෙරිණි. 40/1 නම් එ් දිගුවට ද ශ්‍රී ලංකා ආණ්ඩුව සම අනුග්‍රාහකත්වය දැක්වීය. 22 වැනිදායින් ඇරඹෙන මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ශ්‍රී ලංකාවට තීරණාත්මක වන්නේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ලබා දුන් කාලය අවසන් වෙන බැවිනි.
එහිදී 2015 දී ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්වූ යෝජනා සහ එහි ප්‍රතිඵලයක් ලෙස වෙනස් ව ඉදිරිපත් වුණු යෝජනා මීළඟ සැසියේදී සාකච්ඡා වීමට නියමිත ය.
මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව මහ කොමසාරිස් මිෂෙල් බැච්ලේ දැනට ම එළි දක්වා ඇත. එකී ඒකපාක්ෂික හා නිර්දය නිර්දේශ බරපතළ ය. එය මානව හිමිකම් මණ්ඩලයේ නියමිත කාර්යභාරයට එහා ගිය පියවරක් ලෙසින් මධ්‍යස්ථ විචාරකයන්ගේ අවධානයට ලක් වී තිබේ. එයට හේතුව එය මුළුමනින් ම පක්ෂග්‍රාහී වාර්තාවක් බව පැහැදිලි ව ම පෙනෙන කරුණක් වීම ය. මානව හිමිකම් කඩකිරීමක් පිළිබඳ ඔප්පු කිරීමට නොහැකි හා සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොර ව මෙවැනි චෝදනා නැඟීම අතිශය බරපතළ කරුණකි.
මේ කරන්නට යන කාර්යයෙහි ඇතුළාන්තය ගැන දේශපාලනික වශයෙන් සවිඥානික ඕනෑ ම අයකුට පැහැදිලි ය. මේවායේ ඇත්තේ මානව හිමිකම්, සුළු ජාතීන්ගේ ප්‍රශ්න හෝ වගවීම, සංහිඳියාව වැනි දෑ නොවේ; ශ්‍රී ලංකාව වාණිජමය වශයෙන් දරන වැදගත් පිහිටීම නිසා තම ග්‍රහණයට ගැනීමේ හදිසි හස්තයක් පමණී. මානව හිමිකම් යනු ජීවත් වීම සඳහා අවැසි මානුෂීය වටපිටාව සකස් වීම නම් එකී පසුබිම ඕනෑවටත් වඩා ලංකාව සතු ය. අප ඒ නිදහස නැතිව ජීවත් වූ කාලයක් විණි නම් එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදයෙන් බැට කෑ තිස් අවුරුදු යුද සමයයි. එකල සාමාන්‍ය මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය ලංසුවට තැබූ අයුරු අමතක වීමට තරම් කාලයක් තව ම ගතවී නැත. අද මිනිස්සු නිදහසේ ජීවත් වෙති; සාමය අත්විඳිති. එයට ජාතියක් ආගමක් අවැසි නැත. නීතිය සියල්ලෝ ඉදිරියේ ම සමානයහ. එනිසා අද මානව හිමිකම් උල්ලංඝණය ගැන කතා වීම පවා වෙන අරමුණු සාධනය කරගැනීමේ මාවතක් පමණී. අප නිදහස හා මානව හිමිකම් අත්විඳින්නේ ත්‍රස්තවාදය පරාජය කළ දිනයේ පටන් ය. එකිනෙකාගේ කඩතුරාවට වහන් වී ගහන ගේම්වලට අප ඉත්තන් ලෙස පාවිච්චි වෙනවා හැරෙන්නට අද වන විට අන් යමක් නැත. ජිනීවා මර උගුලක් වන්නේ ඒ නිසා ය. මේ මර උගුලට අප ඇද දැම්මේ ‘යහපාලන‘ ආණ්ඩුවට හා එහි හෙංචයියන් ය.
රටක අභ්‍යන්තර කටයුතු වලට අනවශ්‍ය පරිදි මැදිහත් නොවිය යුතුය යන්න එක්සත් ජාතීන්ගේ මූලික මූලධර්මයකි. මහ කොමසාරිස් මිෂෙල් බැච්ලේ මේ ගැන නොදන්නවා විය නොහැකි ය. එසේනම් ඇය මේ කරමින් සිටින්නේ කුමක්ද? නැත්නම් අය ලවා කරවාගන්නට උත්සාහ කරන්නේ කුමක්ද? බළලුන් ලවා කොස්ඇට බාවා ගැනීම කවදත් සිදු කෙරුණකි.
මේ යම් යම් දේවල් සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්ව කිහිපයක්ද වේ. ශ්‍රී ලංකාවේ සුළු ජන කොට්ඨාශසවල අයිතිවාසිකම් සහතික කිරීම සඳහා රජය ගෙන ඇති පියවර ගැන අන්තර්ජාතිකත්වය දැනුම්වත් නැත; ත්‍රස්තවාදී සමයේ විනාශ වූ උතුරු නැඟෙනහිර යටිතල පහසුකම් නංවාලීමටත්, ජන දිවිය යථා තත්ත්වයට ගෙන ඒමටත් රජය ගෙන ඇති පියවර ගැන විදේශ දැනුම්වත් නැත. ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලින් කළ යුතුව තිබෙන මෙකී සේවය මෑත කාලයේ එලෙස සිදුවී නැත; එය එසේ වූයේ කෙසේද යන්න ගැන නිසි සොයා බැලීමකුත් සිදු වී නැත. විදෙස් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන් මෙකී නිරවද්‍යතාව සමාජගත කිරීමට වෙහෙසෙමින් සිටී. මේ වටහා දීම වැදගත් වන්නේ මෙරටට විරුද්ධ ව නැඟෙන චෝදනා සම්බන්ධයෙන් ඔවුන්ට; අනෙක් රටවල පක්ෂග්‍රාහීත්වය ලබා නොදීම සම්බන්ධයෙනි.
බෙදුම්වාදී යුද්ධය කිසිවකුත් සාධාරණීකරණය කරන්නේ නැත. ත්‍රස්තවාදීන් සමඟ මිස දෙමළ ජනයා සමඟ කිසිදු ශ්‍රීලාංකිකයකුට ගැටලුවක් නැත. බොහෝ දේශපාලන වුවමනාවෙන් වෙනුවෙන් දෙමළ දේශපාලඥයන් මානව හිමිකම් සැසියේදී හඬ නඟන්නේ සිය ජනයා වෙනුවෙන් ඇති සැබෑ කැක්කුමකින් නොවේ.
මානව හිම්කම් සැසියේ දී බලපෑම් කිරීමට දෙමළ දේශපාලඥයන් ප්‍රයත්න දැරීම වඩාත් සංවේගජනක වන්නේ එයින් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සංහිඳියාවට බලවත් හානියක් වන බැවිනි. අවංකව සිය ජනතාව වෙනුවෙන් සේවය කරන අතළොස්සක් හැරුණ විට බහුතර දෙමළ නායකයන් සිය ජනතාවගේ අවශ්‍යතාවන්ට වඩා ඩයස්පෝරා නියමයන්ට යටත් වීම මෙහි නොපෙනනා පැත්තයි. දෙමළ ජනයා සමඟ කිසිවකුටත් ප්‍රශ්නයක් නැත. ඔවුහු අපේ සහෝදර ජාතිය වෙති. වාර්ගික සුහදත්වයට අප තරම් අපූරුවට මුහුණ දුන් වෙන ජාතියක් නැත. එනිසා ඔවුන්ට මානව හිමිකම් ගොස් විසඳා ගැනීමට ප්‍රශ්නයක් අප සමඟ ඇත්තට ම නැත. එබැවින් මේ සියල්ල ම බළලුන් ලවා කොස් ඇට බෑවීම් මිස අන් යමක් නොවේ.
පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ අන්තර්ජාතික කුමන්ත්‍රණවලට අලගු තබන්නට එපා කියා ය. සත්‍ය ඇත්තේ පෙනෙන දෑට වඩා ඈතින් විය හැකි බව පමණක් සිහි තබා ගත යුතු ය. නැත්නම් එක් එක් අයට ඕනෑ විදියට නටන්නට ගොස් බෙරේ පළුවක් නැති වෙනවා විනා ලැබෙන අන් යමක් නැත.