ආයුබෝවන් ! | සිළුමිණ

ආයුබෝවන් !

දෑත් එක් කර ආයුබෝවන් කීම‍ සිංහලයන්ගේ සුබ පැතීම් ක්‍රම අතර මුලිකත්වය ගන්නා ආචාර සමාචාර විධික්‍රමයයි. ආයුබෝවන් යන්නෙහි අර්ථය ආයුෂ බොහෝ වේවා හෙවත් දීර්ඝායු වේවා යන්නයි. මෙය ශ්‍රී ලංකාවට පමණක් ම සුවිශේෂී වූ පිළිගැනීමේ ක්‍රමවේදයකි. පිළිගැනීමට මෙන්ම සමුදීමට ද එක ම වදනක් භාවිත කරන එක ම රට ද ලංකාව විය හැකිය. ආයුබෝවන් කියන්නේ අත්ල එක්කොට සමාචාර කරමිනි. අනෙකා කෙරෙහි වන ගෞරවය එයින් මනාව පිළිබිඹු වේ.

ආසියාතික රටවල් කිහිපයක් හැරුණු විට යුරෝපීය සංස්කෘතිය විසින් ග්‍රහණයට ගත් රටවල ජනතාව; එකිනෙකා හමුවූ විට ආචාර සමාචාර දැක්වූයේ අතට අත දීමෙන් හා සිප වැලඳ ගැනීමෙනි. ලාංකේය ජනකාය අනුගමනය කළ ආචාර සමාචාර පිළිවෙතෙහි වටිනාකම හා සෞඛ්‍ය සම්පන්න බව සමස්ත ලෝවැසි ජනතාවට අවබෝධ වූයේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යෑමත් සමඟ ය. මුළු මහත් ලෝකයට ම බලපෑ මහා වසංගතයක් නිසා අසරණ වූ ජනතාවට පෙරදිග පැවති ආගමානුකූල සත්චාරිත්‍රයකට යොමු වීම විනා වෙනත් පිහිටක් ඇත්තේ නැති බවට ඊට වඩා උදාහරණයක් නැත. පෙරදිග චින්තනය, අභිචාර විධි හා සංස්කෘතිය සොයා පෙරදිගට එන දාර්ශනිකයන් අතරේ අප ආචාරවිධි අනුගමනය කරන නවතම බලවතුන් පිරිසක් ද සිටීම එක්තරා අන්දමකට උත්ප්‍රාසාත්මකය. ලෝකය කොහොමත් උඩි යටිකුරු වන්නට වැඩි කාලයක් ගතවෙන්නේ නැත. සමස්ත ජනයා ලෝකය නැමැති රඟමඬලෙහි නළුනිළියන් බව ශේක්ස්පියර් වරෙක කීවේ මේ වැනි තත්ත්ව නිසා ය.

ගෙවී ගිය වසර වෙන කවරදාටත් වඩා සමස්ත ලෝකයට ම අභියෝගාත්මක වසරකි. එළැඹෙන වසරේ ඒ අභියෝගය මඳින් මඳ ලිහිල් වෙතැයි අපි විශ්වාස කරන්නෙමු; ප්‍රාර්ථනා කරන්නෙමු. ඕනෑ ම දුෂ්කර කාලයකට පසු උදා වෙන්නේ වසන්තයකි; ඒ හරියට කන්දක් නැග්ගොත් පල්ලමක් ඇත්තා සේ ය. කිසිවක් ම සිදු නොවන හෝ සිදුවන්නට සිතන්නේවත් නැති දශක තිබේ. එසේ වුවත් දශකයක සිදුවන දෑ සිදුවන සති තිබේ යැයි කියන්නේ ව්ලැඩ්මියර් ලෙනින් ය. ඔහු එසේ ප්‍රකාශ කළේ 1905 වර්ෂයේ රුසියාවේ ඇතිවූ විප්ලවීය ප්‍රවාහය නිරීක්ෂණය කරමින් හා ඒ ක්‍රියාවලියට සහභාගී වෙමිනි. අර්බුද සමයන්හිදී සිදුවීම් කෙතරම් වේගයෙන් සිදු වන්නේ ද යත්; ඒවා විශ්ලේෂණය කිරීමටවත් ඉඩක් තියන්නේ නැත. ඒ, ඒ මොහොතකට පෙර ඉතා ම අලුත් යැයි හැඟුණු විශ්ලේෂණ පවා ඉතා ඉක්මනින් ඉපැරණි හා කල් ඉකුත් වූ ඒවා වීම නිසා ය.

කෝවිඩ් 19 කියන්නේ ද ඒ වැනි ම වූ දෙයකි. මේ කියන, දකින, විශ්ලේෂණය කරන දෑ තවත් මොහොතකින් වෙනස් වන්නකි. එසේ වූවා කියා වයිරසයකට යටවී සියල්ල හකුළුවා ගෙන සිටීමේ හැකියාවක් ද නැත.

කොවිඩ් නිසා ලෝකයේ සමස්ත ආර්ථික යාන්ත්‍රණය බිඳ වැටෙන්නට ගත වූයේ සති තුනකටත් අඩු කාලයකි. The Economic Times වෙබ් අඩවිය වසර මැදදී ප්‍රකාශයට පත් කළේ, ලොව වටා මිලියන 26කගේ රැකියා අහිමි වීමට නියමිත බව ය; 5.6ක අවම අගයක සිට මිලියන 24.7ක උපරිමය දක්වා ගෝලීය විරැකියාව වැඩි විය හැකි බව ය. මේ අනුව 2020 අවසන් වන විට සේවය නිමා කරන සේවක පිරිසට ඇමරිකානු ඩොලර් බිලියන 860 ත් ට්‍රිලියන 3.4 ත් අතර විශාල ආදායමක් අහිමි වීමට නියමිත ව තිබිණි.

එහෙත් ලංකාවේ තත්ත්වය හිතුව තරම්ම නරක තත්ත්වයට ඇද වැටුණේ නැත. මානව සම්පත රැක ගැනීමට ලංකාව තරම් සැලකිලිමත් වූ රාජ්‍ය තිබුණේ නම්

ඒ කිහිපයකි. දේශීය අපනයන ආර්ථිකයක් වර්ධනය කර ගැනීමේ ලා මූලික ක්‍රියාමාර්ග රැසක් විධිමත් ව හා සවිමත් ව අයවැය ඔස්සේ ම යෝජනා වී තිබේ. වසංගතයක් අවසානයේ දුගී බව, විරැකියාව, කුසගින්න ආදිය අත්විඳීමට සිදුවන බවට වන දැනීම ඉතිහාසය පුරා අපට ආගන්තුක නැත. එහෙත් සිය ජනතාව වෙනුවෙන් දිගුකාලීන සැලැස්මකට යන්නට ආණ්ඩුව පොහොසත් වීම මේ වසංගතයෙන් අප ලද වටිනාකමකි. උපාධිධාරීන් පවා අවුවේ කර වෙමින් පාරවල් ගානේ උද්ඝෝෂණ කළ ඉතිහාසය දැන් ඔවුන්ටවත් මතක නැත. මේ වනවිට විරැකියාවෙන් පෙ‌ෙළන උපාධිධාරීන් අපේ රටේ නැත. උපාධිධාරීන් පමණක් නොව සාපෙළ, උසස්පෙළ සමතුන් ද රජය අමතක කළේ නැත. රාජ්‍ය සේවයට බඳවා ගන්නා උපාධිධාරින්ට නිදහස්, නිවහල් චින්තනයකින් යුතුව වැඩ කිරීමේ පරිසරය ද නිර්මාණය විය. දේවානී ජයතිලකලා නිසි රාජ්‍ය සේවයක් වෙනුවෙන් අරගල කරන්නට පසුබට නොවූයේ ඒ නිසා ය. රාජ්‍ය සේවාව ශක්තිමත් වීම දියුණු ආර්ථිකයක පෙරමඟ ලකුණු ය.

මත්කුඩු, පාතාල ක්‍රියාකාරකම් මැඬපැවැත්වීමේ ලා රජය පසුගිය කාලය පුරා ගත් ක්‍රියාමාර්ග ගැන ජනතාව සබුද්ධිමත් ය. අධිකරණ ක්ෂේත්‍රයේ වන ප්‍රමාද වීම් හා මහජන පීඩා ගැනත්; රාජ්‍ය සේවයේ අක්‍රමිකතා ගැනත් ආණ්ඩුව දැනටමත් පියවර ගනිමින් සිටියි.

එම්. සී. සී. ගිවිසුම ගැන නර්මාලාප දෙඩූ බොහොමයක් මේ වනවිට සොයා ගැනීමටත් නැත. රජය මූල්‍ය ආයතන වෙත දුන් සහනත්, ජනතාවට සහන පොලී ප්‍රතිශතයක් යටතේ ලබා දුන් ණයත් නිසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අළු ගසා දමා නැගිටිමින් සිටියි. පන්සලේ පින් පෙට්ටියේ සිට ඉපදීමට සිටින අපේ දරුවන්ට පවා ගෙවීමට සිදු වෙන පරිද්දෙන් පනවා තිබූ ‘යහපාලන‘ බදු බර වත්මන් රජය ජනතාවගේ කර පිටෙන් ඉවත් කිරීම ජනතාවට අමතක වන්නට ඉඩ නැත. සංචාරක කර්මාන්තය ද ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වීමේ පදනම නිර්මාණය වෙමින් තිබේ. කොවිඩ් වසංගත කාලයෙන් පසු ප්‍රථම සංචාරක පිරිස දිවයිනට ආවේ ඊයේ පෙරේදා ය. නව වසන්තයක අරුණලු විහිදෙමින් තිබේ.

චිංගීස් අයිත්මාතව්ගේ ගුරු ගීතයේ එන පහත සඳහන් වැකිය මේ වැනි කාලයකට උචිත වන්නකි.

“ඔව්,ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි”

Comments