උණුසුම් කතාවක්! | සිළුමිණ

උණුසුම් කතාවක්!

ගඩ්ඩරිකා ප්‍රවාහය කියා වදනක් සංස්කෘත භාෂා ව්‍යවහාරයේ දැක්වෙයි. එහි ගැබ් වන්නේ බැටළුදෙනක් පිටුපස විචාරයකින් තොරව ඔහේ ගමන් ගන්නා බැටළු රංචුවක් යන්න ය. මුලින් ගමන් ගන්නා එකී බැටළුදෙන ගමන් කරන්නේ කවර දෙසකට වුවත් රැ‌ෙළ්වුන්ට ගාණක් නැත. වෘකයන් දෙසට වුවත්; එසේ නැතිනම් සරල ම අර්ථයෙන් ගතහොත් විනාශයක් දෙසට වුවත් අනෙක් බැටළුවන්ට වගේ වගක් නැත. උනුහු ද බැටළුදෙන පසුපස ඔහේ ඇදෙති. කෑගල්ලේ පැණිය ගැන සිතද්දී ගඩ්ඩරිකා ප්‍රවාහය මතක් වීම අරුමයක් නොවේ ය.

නිරෝධායන නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් මහා ජනකායක් කෑගල්ල හෙට්ටිමුල්ල ආයුර්වේද මධ්‍යස්ථානය අසල පසුගියදා පොදි කෑවේ ය. ඒ, කොරෝනා සුවපත් කරන දේශීය පැණියක් පසුගිය 08 වැනි දින නොමිලේ බෙදා දෙන බවට පැතිර ගිය ආරංචියක් නිසා ය. 10,000 කට අධික පිරිසක් එහි එක්රොක් වී සිටි බව වාර්තා විය. කොරෝනා නිසා මීටරය මීටර් දෙක බවට පත් වී එය නීතියක් ව, අනතුරුව අණක් ව රට පුරා ක්‍රියාත්මක වෙද්දී මේ ක්‍රියාව අප අර පෙර කී ගඩ්ඩරිකා ප්‍රවාහයට සමපාත වන්නක් නොවන්නේදැයි සිතා බැලීම ඔබට බාර ය. අවසානයේදී කොරෝනා වයිරසය මර්දනය කළ හැකි යැයි පැවසෙන ධම්මික බණ්ඩාර නිපද වූ මේ ඖෂධීය පැණිය බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවීමට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරියට සිදු විය. ඔහු එම අත්හිටුවීමේ නියෝගය දී තිබුණේ ඒ ඖෂධය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය සහ නිර්දේශය ලැබෙන තෙක් යැයි සඳහන් කරමිනි.

කොරෝනා වසංගතයෙන් මිථ්‍යාව සමඟ විද්‍යාව ද කුඩුපට්ටම් කර දැමූ බව නොරහසක් බව තර්කයකින් තොරව පිළිගත යුත්තකි. එහෙත් මිනිසුන්ට යම් සැනසීමක් ලැබුණේ නම් එය ලැබුණේ විද්‍යාවෙන් පමණි. මුහුණු ආවරණයක් පැලඳ, හොඳින් සබන් යොදා දෑත් සෝදාගෙන, විෂබීජනාශක සේදුම් කාරක යොදා දෑත් හම යනතෙක් අතුල්ලමින්, මීටරයක පරතරය ඇතිව සමාජ දුරස්ථභාවය රැකගත් මිනිසුන්ට කොරෝනා වයිරසය නොවැලඳුණේ උඩ සිටින දෙවියන්ගේ හෝ වෙනත් භූත බලවේගයක බලපෑමක් නිසා නොව විද්‍යාවේ දියුණුව නිසා ය. නැතිනම් කොරෝනා නිසා මිය යන්නේ පළමුව සුවවිරුවන් ය. මේ වන විට අත්හදා බලමින් සිටින, සියයට 95කට වඩා සාර්ථක වී ඇති කොරෝනා එන්නත බිහිවන්නේ විද්‍යාවේ දියුණුව නිසා ය. ඒ නිසා කොරෝනා පමණක් නොව අනාගතයේ එළියට එන ඕනෑ ම වසංගතයකට මුහුණ දිය හැක්කේ මිථ්‍යාවෙන් නොව විද්‍යාවෙන් බව සනාථ වී තිබේ. එබැවින් විවිධ දෑ බලාපොරොත්තුවෙන් යම් යම් දෑ කරන බොහෝ අය ගැන සවිඥානික වීම පාලකයන්ගේ මෙන්ම පාලිතයන්ගේ ද වගකීමකි.

ආයුර්වේද වෛද්‍ය පර්යේෂණ අතින් ඉන්දියාව අපට වඩා ඉදිරියෙන් සිටින නමුත් ඒ පර්යේෂණ කරන්නේ ගොඩ වෙද්දු නොව සුදුසුකම් ලද ප්‍රමාණිකයන් ය. එහෙව් ඉන්දියාව පවා කොවිඩ්-19 දේශීය වෙදකමෙන් සුව කළ හැකි බවට කයිවාරු ගහන්නේ නැත. ඉන්දීය සමාජය ප්‍රාථමික යැයි කියන සමහරුන්ට මේවා නොපෙනෙන්නේදැයි අසන්නට සිතෙන්නේ ඒ නිසා ය. ලෝකයේ වැඩි ම වශයෙන් අවිද්‍යාව, බොරුව හා මිත්‍යාවෙන් වෙළී ඇති රට ලංකාව විය යුතුය. අහවල් දවසේ දෙයියන් පේනවා යැයි සාස්තරකාරයෙක් කියූ පමණින් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දෙවියන් බලන්නට දරු මල්ලන් කරතියාගෙන, වාහන හයර් කරගෙන, සැතපුම් සියගණන් මඟ ගෙවාගෙන ගිහින් ලක්ෂ ගණනින් මිනිස්සු රස්තියාදු වෙන එක ම රට ලංකාව විය යුතුය. ලංකාවට වඩා දෙයියෝ අදහන ඉන්දියාවේවත් මේ වැනි විගඩම් නැතැයි අප කියන්නේ ඒ නිසා ය.කිසිදු පදනමක් නැති ඕපදූපවලින් කොවිඩ්-19 වසංගතය නිසා බියට පත්ව සිටින අහිංසක ජනතාව මුළාවේ දැමීම අපරාධයකි.

රටේ ජනතාව මත මිත්‍යාව වපුරමින් හොර වෙද්දු, බොරු ජ්‍යොතිෂවේදීන්, මැජික්කාරයන් හා තෙල් බේත් කාරයන් කරන මේ විගඩම්වලට උල්පන්දම් දෙන ප්‍රජාවක් සාක්ෂරතාව ඉහළම යැයි කියන මේ රටේ සිටීම අභාග්‍යයකි. දොළුකන්ද, කැලණිය, මීවැල්ලෑව පමණක් නොව එලියන්ත වයිට්ලා මෙන්ම සක්විතිලා ද මේ රටේ සිටි බව සිහිතබා ගත යුතුව ඇත. කාලාම සූත්‍රය හෝ චුල්ලසෙට්ඨි ජාතකය අවබෝධයෙන් අසා, කියවා තිබේ නම් මේ ඕනෑ ම පැණියකට හෝ වතුර බෝතලයකට කියන්නට තිබෙන පිළිතුර දන්නේ ය.

වෙදෙක් නොව බුදු කෙනෙක් කිව්වත් තමන්ගේ සිහිබුද්ධියෙන් අසා විමසා පිළිගැනීම කාලාම සූත්‍රයේ හරයයි. චුල්ල සෙට්ඨි ජාතකයේ නැති වෙළෙඳ උපක්‍රමයක් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ සොයනවා වැනි වැඩකි. ඉදින් ඉතිහාසය, සංස්කෘතිය හදාරා තිබේ නම් මේ පැණි පැනික් වැඩ මිසක් අන් යමක් නොවන බව පැහැදිලි ය.

Comments