සීරුවෙන් සිටින්! | සිළුමිණ

සීරුවෙන් සිටින්!

නූතන ෂෛයිලොක්ලාට පාඩමක් උගන්වන්නට ඕනෑ යැයි අප කියා සතියක් ඉක්ම යන්නටත් පෙර මහ බැංකු නිලධාරීන්ට මීට පෙර කිසිම නායකයකු ගෙන් අසන්නට නොලැබුණු අන්දමේ දෝස්මුරයක් අසන්නට ලැබිණි. හරියටම කියනවා නම් දෙහි ඇඹුල් සහිතවම ඔවුහු ජනාධිපතිවරයා ගෙන් අසා ගත්හ. ඒ කතාව වෙන කවර කතාවකටත් වඩා පොදු ජනයා අතර මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද කතාබහට ලක් වූයේය. සැරෙන් කතා අසා පුරුදු නැති බොහෝ නිලධාරීන්ට හීන් දහඩිය දමන්නට ඇත. එ් කතාවෙන් මෙරට බැංකු පද්ධතිය පමණක් නොව සමස්ත රාජ්‍ය ආයතන හා රාජ්‍ය සේවකයන්ම සලිත වූ බවක් පෙනෙන්නට තිබේ. මෙතරම් ආවේගශීලී හා සැලසුම් සහගත තියුණු කතාවක් මතක ඇති කාලයක අසන්නට නොලැබුණා යැයි අප කීවේ ඒ නිසාය.ජනාධිපතිවරයා සිය දෝස්මුරය හා චෝදනාව එල්ල කළේ නිකම්ම නොවේ; සකරුණු සහිතවය.

කොවිඩ් වසංගතයෙන් ඇද වැටුණු රටේ ආර්ථිකය යළි ගොඩනැඟීමේ දැවැන්ත අභියෝගයට රට මුහුණ පා ඇති මේ මොහොතේ ජනතාවට සහන දෙන්නට ජනාධිපතිවරයා ක්‍රියා කළත්, ඒ කිසිවක් ඉටු නොකරන්නේ මහ බැංකු නිලධාරීන් බව පවසන ජනාධිපතිවරයා එසේ කරන්නේ තමන් අපහසුතාවට පත් කරන්නදැයි ප්‍රශ්න කරයි. මහ බැංකුව කොල්ලකනතුරු බලා සිටි නිලධාරීන්ම තවමත් රජයේ ආර්ථික තීන්දු ගැනීම ගැනද මෙහිදී ජනාධිපතිවරයා අප්‍රසාදය පළ කළේය. අපත් දන්නා පරිදි බැඳුම්කර මගඩියට උදව් කළ නිලධාරීන් මහ බැංකුවේ ඉහළ පුටුවල තවමත් සිටියි. අර්ජුන් මහේන්ද්‍රන් නම් නමත් වෙනස් කරගෙනය. එහෙත් මේ රටේ සිටින පුද්ගලයන් තවමත් සිටින්නේ තමන්ගේ නම් වලින්ම වැජඹෙමිනි.

2020 මාර්තු මස 27 වැනි දින හඳුන්වා දුන් ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රමය යටතේ දැනටමත් ලබා දී ඇති රුපියල් බිලියන 27.5ට අමතර ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සියයට 1.00ක සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබා දෙනු ඇත. එම පහසුකම දේශීය ව්‍යාපාර බොහොමයක් සඳහා ‌බෙදී යෑම සහතික කරමින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මඟින් එම අරමුදල් 4.00ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාරවලට ලබා දෙනු ඇත.

මේ යෝජනා ක්‍රමය සහ දැනට පවතින ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය මගින් කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 150ක් සැපයෙනු ඇත. මීට අමතර ව, ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර විසින් අතීතයේ සිදු කරන ලද කොන්ත්‍රාත් ව්‍යාපෘති සඳහා ලැබිය යුතු මුදලට සමාන ව රජය විසින් නිකුත් කෙරෙන ඇපකරයක් මත ඉහත සඳහන් සහනදායී පොලී අනුපාතික යටතේ ණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අරමුදල් සම්පාදනය කෙරෙමින් එම ව්‍යාපාර සඳහාම වෙන් වූ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ.

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමටද එදින තීරණය විය.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාත යනු බලපත්‍රලාභී මූල්‍ය ආයතන තමන් ගනුදෙනුකරුවන්ගෙන් ලබා ගන්නා තැන්පතුවලට සමානුපාතිකව මහ බැංකුවේ මුදල් තැන්පත් කළ යුතු ප්‍රතිශතයයි. මෙම ප්‍රතිශතය අඩු කිරීමෙන් තැන්පතුවලට සාපෙක්ෂව මූල්‍ය ආයතනවල ශේෂ වන මුදල වැඩි වන අතර එය දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක මුදලක් ශේෂ වෙයි. එය එක්අතකින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් හේතු වන අතර මෙම මුදල් ණය වශයෙන් පහසු පොලී අනුපාත යටතේ ලබා දිය හැකිය.

පසුගිය මාර්තු මාසයේ ලබා දුන් සහන ක්‍රියාත්මක කිරීමට ඇතැම් රාජ්‍ය බංකු පවා තරමක් පසුගාමී වන්නට හේතු වූ කරුණක් වූයේ ව්‍යාපාරිකමය වශයෙන් සහ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව සැලකීමේදී ප්‍රමාණවත් ප්‍රතිපත්තිමය සහයක් මහ බැංකුවෙන් නොලැබීම නිසා බවට කතාවක් පැවතුණි. එහෙත් පසුගිය බදාදා හඳුන්වා දෙන ලද නව සහන ක්‍රමවේද තුළ බැංකුවලටද තම මූල්‍ය ස්ථායීතාව සුරැකෙන යෝජනා අන්තර්ගතය. අපේ රටේ බැංකු ක්ෂේත්‍රය සිටියේ හරිහැටි තේරුම් ගත නොහැකිවූ අඳුරකය.

එනිසාම තමන් ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයකටද යන්න ගැන අවබෝධයක් නොතිබියේ නම් දැන් ඒ සඳහා අවස්ථාවයි. තේරෙන භාෂාවෙන් ලුණු ඇඹුල් ඇතිව අසා ගත්විටවත් යාන්ත්‍රණය විධිමත් වනු ඇතැයි ජනතාව විමසිල්ලෙන් බලා සිටිති. රටේ හදවත බඳු බැංකු පද්ධතිය ශක්තිමත් වීමට නම් ව්‍යාපාර දියුණුව අත්‍යවශ්‍යයය. මේ එවන් බලාපොරොත්තු සහගත මොහොතක් බැවින් මහ බැංකුවේ වගකීම මතක් කරදීමට සමත් ජනාධිපතිවරයකු සිටීම අප ලද වාසනාවකි.

ලෝක ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම ලොව බලවත්, දුබල සෑම නායකයකුගේම මේ මොහොතේ වගකීමයි. ලොව බලකඳවුරු දෙකම මේ වනවිට එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් සිටී. එය ලොව ආර්ථික අර්බුදය තවත් ගැඹුරු කරන්නකි. එනිසාම වසංගතයත් සමඟ ඇද වැටුණු ආර්ථිකය කඩිනමින් යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය වේ. එසේනම් සාම්ප්‍රදායික රාමුවෙන් පිටට පැන නව ක්‍රමවේද ඔස්සේ ක්‍රියා කිරීමට බැංකු පද්ධතියට සිදුවනු ඇත. අපේ බැංකු පද්ධතිය හෝ මූල්‍ය පද්ධතිය තිබෙන්නේ ජනතාවට සහන සැලසීමේ පහසු ක්‍රියාදාමයන්ගෙන් බොහෝ ඔබ්බෙනි. මේවා ගනුදෙනුකරුවන්ට බය හිතෙන තැන් වෙනුවට එන්නට හිතෙන තැන් කළ යුතු වන්නේ ඒ නිසාය. එවිට බොරුකාර මූල්‍ය වංචාකරුවන්ට අසරණ ජනතාව නො රැවටෙනු ඇත.

Comments