මෙල්ල කළ යුතු ලීසිං පාතාලය | සිළුමිණ

මෙල්ල කළ යුතු ලීසිං පාතාලය

ස් රාත්තලම ඉල්ලූ ෂෛයිලොක් කෙනකු නිසා ජීවිතය අහිමි වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන පිළිබඳ පුවතින් පසුගියදා මුළු රටම කම්පා විණි. ප්‍රජාතන්ත්‍රවාදය හා අනෙකාගේ ජීවත්වීමේ අයිතිය ගැන බෙහෙවින් සවිඥානික මෙවැනි සමයෙක සිදුවූ එකී ඛේදවාචකය මුදල් පිපාසයෙන් ඔබ්බට ගිය ලේ පිපාසිතයන්ගේ නරුම ක්‍රියාවක් බැව් පැවසිය යුතුමය.

කොට්ටාව පාර, නුගේගොඩ යන ලිපිනයෙහි පිහිටි චැන්මිල් ඉන්වෙස්ට්මන්ට් නමැති මූල්‍ය ආයතනය වෙත බලෙන් රැගෙන ගොස් තිබූ ෆයිනෑන්ස් වාරික කිහිපයක් නොගෙවන ලද ත්‍රී රෝද රථයක් සම්බන්ධයෙන් කතා කිරීමට ගිය එකී සංගමයේ සභාපතිවරයාට මෙලෙස අමානුෂික ලෙස පහර දී තිබේ. මෙකී පහර දීමට අදාළ පුද්ගලයන් අටදෙනකු මේ වනවිට ජුනි 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, මේ පුද්ගලයන් ඒ මූල්‍ය ආයතනයේ සීස්කරුවන් ලෙස සේවය කරන්නෝ වෙති.

මේ ක්‍රියාව හුදු අහසින් පහත් වූ ක්‍රියාවක් සේ දින කිහිපයකින් අපට අමතක කළ හැක්කක් නොවීමට බලපෑම් කරන හේතු සාධක බොහොමයක් තිබේ. මේ ත්‍රි රෝද රථ හිමිකරුවා මෙරට ධනවත් පන්තියට අයත් වන්නකු නොවේ. සිය ජිවිකාව සරි කරගන්නට මහමඟට ජීවිතය දිය කරන කුලී රථ රියැදුරෙකි. අහස් මාළිගා තනන්නට නොව ඔහු රැකියාව කරන්නේ ජීවත් වන්නටය. පසුගිය කොරෝ‍නා සමය එදාවේල හම්බුකරනා කිසිවකුට ජීවිතය පහසු කළේ නැත. රජය ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාව හැරෙන්නට බොහෝ දෙනකුට වෙන ආදායමක් තිබුණේ නැත. මේ සියල්ල පිළිබඳ සවිඥානික රජය මේ වැනි අඩු හා මධ්‍ය පරිමාණ ආදායම්ලාභීන් වෙනුවෙන් මූල්‍ය සහන රැසක් ලබා දුන්නේය. මේ ද ඒ ඛාණ්ඩයට අයත් වන පොදු වැසියෙකි. එහෙත් මේ සිද්ධිය, රජය ලබාදුන් මේ සහනය ජනතාවට ඒ ආකාරයෙන්ම ලබා දීමට මෙවැනි පුද්ගලික මූල්‍ය ආයතන ක්‍රියා නොකළ බවට ලැබුණු චෝදනා සත්‍ය බව පසක් කරන්නකි.

මූල්‍ය ආයතන තිබෙන්නේ ජනතාවට දියුණු වීමට අවැසි අත්වැලක් සම්පාදනයටය. පිළිගත් දේපළ ලියකියවිලි ඉදිරිපත් කිරීමේ අපහසුතා ඇති හා කඩිනම් සේවා බලාපොරොත්තු වන ජනතාව රජයේ ලියාපදිංචි නොවන මූල්‍ය ආයතන යැයි කියා ගන්නා මෙවැනි ආයතන කරා යෑම නිසා ඇතිවූ ප්‍රශ්න ගැන කොතෙක් මාධ්‍ය විසින් ජනතාව දැනුම්වත් කළත් වැඩක් වූයේ නැත. හැමදාමත් ඒ දේ හොර රහසේම සිදුවිණි. ඒ සම්බන්ධ නීතිමය රාමුවට එහා ගිය මානුෂිය ප්‍රශ්න ගැන කතා කරන්නට තරම් මේ මොහොතේ ඉඩ නැත. එහෙත් නොපෙනෙනා ඒ ප්‍රශ්න මෙලෙස වරින්වර ජීවිත බිලිගත් බව නම් නොකියා බැරිය.

මේ ගැටලුවට අදාළ සී/ස චන්මිල් ඉන්වෙස්ට්න්ට් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත ආයතනයක් නොවන බව මේ වන විට සොයාගෙන තිබේ. පිළිගත් සම්මත නීතිරීති වලට අනුකූල නොවන මෙවන් ආයතන 2000ක් පමණ වෙතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි. ගම්මට්ටමට වන්නට මේ තත්ත්වය වැඩිය. ලංකාවේ අත්පිට මුදලට වාහන ගන්නා ප්‍රමාණය සියයට තිහකටත් අඩුය. බොහෝ දෙනා කරන්නේ තම අත ඇති මුදලේ අඩුවට ලීසිං එකක් දමා වාහනය ගැනීමය. එය ලොකු කුඩා සැමට පොදුය. සුඛොපභෝගී කාරයේ සිට මෝටර්සයිකලය දක්වා මේ තත්ත්වය සාමාන්‍ය වූවකි. අතේ මුදල් යහමින් ඇත්නම් ලීසිං ගෙවමින්, පොලී ගෙවමින් මිනිස්සු වාහන ගන්නේ නැත. ජීවිකාව කරගන්නට ත්‍රිරෝද රථයක් මිලදී ගත් මංජුල කිත්සිරිද ගැටලුවක් නැති සමයේ ලීසිං වාරිකය හරියට ගෙවා ගෙන ගිය අයෙකි. එහෙත් කොරෝනාව බොහෝ ආදායම් මාර්ග මාස දෙකකට වැඩි කාලයක් අහිමි කළේය. මංජුල මුහුණ දෙන්නේ ද ලොව පුරා බොහොමයක් මුහුණ දුන් ගැටලුවකට මිස කේවල මූල්‍ය ප්‍රශ්නයකට නොවේය. මේ ගැන සවිඥානිකව රජය ගත් තීරණ ක්‍රියාත්මක නොකරන මෙවැනි ආයතන ගැන සොයා බැලිය යුත්තේ තවත් මෙවැනි ඛේදවාචක නොවනු වස්ය.

කොවිඩ් 19 නව කොරෝනා වසංගතයෙන් දරුණු ලෙසින් බැට කෑ අංශ සහ පුද්ගලයන් ඉලක්ක කරගෙන දියත් කරන ලද විශේෂිත සහන යෝජනා ක්‍රමය රජය විසින් දියත් කරන ලද්දේ කොරෝනා වසංගතය මේ රටේ පැලපදියම් වෙන්නට ගත් පළමු දින කිහිපයේදීමය. මේ සහන සඳහා රජය විසින් වෙන් කරන ලද මුදල රුපියල් බිලියන 50කි. කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන්, ස්වයං රැකියා ඇතුළු ව්‍යාපාර සඳහා පුළුල් මූල්‍ය සහන සැපයීමේ අවශ්‍යතාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක් වූයේ පසුගිය මාර්තු 20 වැනිදා ය. එදින ගත් තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහත ප්‍රතිමූල්‍ය පහසුකම ස්ථාපනය කිරීමට තීරණය කරන ලදී. මෙම සහන අතරට ණය සහ (ප්‍රාග්ධනය හා පොළිය) සුදුසුකම් ලත් ණය ගැනුම්කරුවන් සඳහා සියයට 4% ක පොලී අනුපාතයට පෙර ප්‍රාග්ධන පහසුකම් සැපයීම අයත්ය. පසුගිය මාර්තු මස 25 වැනිදා සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.

මෙම සහනය යටතේ බලාපොරොත්තු වන්නේ බැංකු ණය, කල්බදු එනම් ලීසිං පදනම යටතේ වාහන යන්ත්‍ර සූත්‍ර ආදිය තම ආදායම් උපදවීම සඳහා යොදා ගත් පුද්ගලයන්ට ආදායම් මාර්ග අවහිර හෝ සීමා වන කාල සිමාව ඇතුළත යම් සහනයක් ලබා දීමය. ඒ අනුව එවැනි ණය පහසුකම් ලබා ගත් ව්‍යාපාරිකයන්ට සේම තනි පුද්ගලයන්ටද මාස හයක පමණ ආපසු ගෙවීමේ සහන කාල සීමාවක් ලබා දීමට රජය කටයුතු කළේය. මෙම සහන කාල සීමා ව සැබැවින්ම ණය නොගෙවා සිටීමේ සිටීමේ එනම් ගෙවීම කල් දැමීමේ කාල සීමාවක් ලෙසින් හැඳින්විය හැකිය.

ශ්‍රි ලංකාවේ වාහන වෙළෙඳපොළෙන් වැඩි ප්‍රතිශතයක් පවතින්නේ ලීසිං පහසුකම් යටතේ ලබා ගත් වාහනය. මෙම වාහන මිලදී ගන්නන් විවිධාකාරය. සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, මහා පරිමාණ ව්‍යාපාරිකයන්, වෛද්‍යවරුන්, විදේශවල සේවය කරන විවිධ වෘත්තිකයන්, සංචාරක කර්මාන්තයේ නියැළෙන්නනන්, පෞද්ගලික බස් ධාවකයන් ත්‍රි රෝද රථ හිමිකරුවන් මෙන්ම උසස් අධ්‍යාපනය ලබනා දරුවන්, වෛද්‍යවරුන් රජයේ සේවකයන් ඇතුළු සෑම පාර්ශ්වයක්ම මෙම ලිසිං වෙළෙඳපොළේ ගනුදෙනුකරුවෝ වෙති. මොවුන් අතරින් රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතතන කිහිපයක හැරන්නට බහුතරයකගේ ආදායම් අඩු වීමේ හෝ අහිමි වීමේ අවදානමක් පැන නැගී ඇත.

රජය උක්ත ණය පිළිබඳ සහනදායී වැඩපිළිවෙල දියත් කළේ මේ ප්‍රශ්නය ජනතාවට බරක් නොවිය යුතු නිසාය. ගෝලීය වසංගත තත්ත්වයක් යනු කේවල රටකට බල පැවැත්වෙන්නක් නොවේ. පොදු ව්‍යසනකාරී තත්ත්වයකි. මානව සම්පත ඉතිරි වන්නේ නම් අනෙක් දෑ වර්ධනය හෝ ගොඩනඟා ගැනීම අපහසු නැත. වෙනත් බොහෝ දියුණු යැයි සම්මත රාජ්‍ය මානව සම්පත බිල්ලට දමා ආර්ථිකය රැක ගැනීමට කළ සටන ගැන ඔබ දැනුම්වත් ය. එහෙත් ලංකාව හැමවිටම මානව සම්පත රැක ගැනීම තම එකම හා පරම යුතුකම සේ ඇදහුවේය; ඒ සඳහා ක්‍රියාත්මක වූයේය. එනිසාම ජය ගත නොහැකි ඉලක්ක අපට නැත. මානව සම්පත රැකුණු හෙයින් ආර්ථිකය ශක්තිමත් කරගැනීමට දැන් අපට අවැසි කැපකිරීම් හා අධිෂ්ඨානය පමණකි.

මස් රාත්තලම කපන්නට බල කෙරෙන මෙවැනි මූල්‍ය ආයතන වෙනුවෙන් නීතිය හරියටම ක්‍රියාත්මක විය යුත්තේ මෙවන් පසුබිමකය. මූල්‍ය ආයතනවල සේම තව බොහෝ තැන්වල සිටින මෙවැනි සීසර්ලාට වත්මන් රජය යටතේ ඉදිරිය සුබ නොවන බව නම් පැහැදිලිය.

Comments