ජනතා පරමාධිපත්‍ය විකසිත කළ තීන්දුව | සිළුමිණ

ජනතා පරමාධිපත්‍ය විකසිත කළ තීන්දුව

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මතවාදය ලෝකයේ වැඩියෙන්ම කතාබහට හා විමසුමට ලක්වෙන මාතෘකාවයි. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ අවස්ථා මෙන්ම අහිමි කළ අවස්ථා ගැනද ලෝක ඉතිහාසය බෙහෙවින් සවිඥානිකය. ප්‍රජාතන්ත්‍රවාදී රටක මහජනයා සතු ප්‍රබලතම අවිය වන්නේ ඡන්ද අයිතියයි. ආණ්ඩු පත්වන්නේත්, පෙරළෙන්නේත් ඒ බලවත් අවියේ බලපෑමෙනි. එනිසාම ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාව සුවිශේෂී බලපෑම් කණ්ඩායමක් ලෙස හැඳින්වෙන්නේය. වසර කිහිපයක් ඇතුළත ඔවුන්ට සිය පරමාධිපත්‍ය පෙන්වා සිය පැවැත්මට වඩාත්ම හිතකර හා ගෝචර පාලන තන්ත්‍රයක් හා නායකයන් පිරිසක් තෝරා ගැනීමේ අයිතිය හිමි වීම මෙකී සුවිශේෂී බවට හේතුවයි.

යම්කිසි පාර්ශ්වයක් හෝ කණ්ඩායමක් විසින් ජනතාව සතු පරමාධිපත්‍ය බලය උදුරා ගැනීමට හෝ එයට බාධා කරන්නට සැලසුම් කරන්නේ නම් එය කිසිසේත්ම ප්‍රජාතනත්‍රවාදී රටකට උචිත වන්නක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය නික්ම යන කල බලවත්වන ඒකාධිපතිවාදය ගැන ලෝක ඉතිහාසයේ ඕනෑවටත් වඩා උදාහරණ තිබේ. එපමණක් නොවේ; අරාජික වීම පිළිබඳවද උදාහරණ තිබේ. ඒ හෙයින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයන් කණ්ඩායමකට මැතිවරණ පැවැත්වීම ගැන එකඟත්වය පළකරනවා විනා ඊට විරුද්ධ විය නොහැකිය. ඒ එවැනි බාධා කිරීම් හා කල්ගැනීම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට විරුද්ධ වීමක් වන බැවිනි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හා මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව ඉදිරිපත්ව තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුව ජනතා පරමාධිපත්‍ය සුරැකීම වෙනුවෙන් ගත් තීරණයක් බැව් කටපුරා කිව හැක්කේ ඒ නිසාය. පෙත්සම්කරුවන්ගේ උත්සාහය වී තිබුණේ මහ මැතිවරණය වළක්වා පැවැති පාර්ලිමේන්තුව යළි කැඳවීමය.

ඕනෑම රටක විපක්ෂය උත්සාහ කරන්නේ හැකිතාක් ඉක්මනින් මහ මැතිවරණයක් ලබා ගැනීමයි. ලංකාවේ පමණක් මහ මැතිවරණයක් කල් දමාගන්නට විපක්ෂය දරන තැත ලෝක මට්ටමින් පවා උපහාසයට ලක් වෙමින් තිබේ. බලය ලබා ගැනීම හා ජනතාව වෙනුවෙන් තම අපේක්ෂා ඉදිරිපත් කිරීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් කිසියම් හෝ කෙනකු මඟ හැරීමට තැත් කරන්නේ නම් එයට ප්‍රබල හේතුවක් තිබිය යුතුය. දේශපාලනික වශයෙන් තිබෙන ඒ අවස්ථාවාදී කූට උපක්‍රමවලටම අගුල් තියන සිවිල් ක්‍රියාකාරිකයන් යැයි කියා ගන්නා පිරිසක් සිටීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගෙන යන්නට උත්සාහ කරන්නේ කොතැනකටද යන්න පිළිබඳ සාක්ෂියකි. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් අඩක් පමණ ගොනු කර තිබුණේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු හා මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසිනි. නිදහස් මතධාරීන් යැයි කියා ගන්නා මෙවැනි අයගේ බලාපොරොත්තුව කුමක්ද යන්න සාමාන්‍ය පොදු ජනයාට වැටහෙන්නේ නැත. එවැනි පසුබිමක මේ සිවිල් පුද්ගලයන් කරන්නේ ජනතාවගේ පිළිගත් පරමාධිපත්‍ය වන ඡන්ද අයිතිය උකසට තැබීමය.

විපක්ෂයට නම් එසේ කරන්නට ප්‍රබල හේතුවක් තිබේ. වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ ඇතිවී තිබෙන අර්බුදය හමුවේ ඔවුන්ට සිය ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන්නට අනාගත සැලසුම් නැත. එයට හේතුව වන්නේ වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය තුළ ඇතිවී තිබෙන අභ්‍යන්තර අර්බුදය මත තමන්ට මේ අවස්ථාවේ මහ මැතිවරණයකින් ජයග්‍රහණය කිරීමට තරම් ශක්තියක් නැති බව එම දෙපාර්ශ්වයටම අවබෝධ වී තිබීමය. එක්සත් ජාතික පක්ෂයේ යාවජීව නායකයා වන රනිල්ට හෝ පියා පෙන්වා ඡන්ද ගන්නට වළිකන සජිත්ට හෝ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට පෙර තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට මඟක් සෙවිය යුතුව තිබේ. ගෙයි ගිනි පිට නොදෙන්නැයි සුප්‍රකට කියමනක් තිබුණද එය පොළොවේ පය ගැසීමට තරම් සවිඥානිකත්වයක නැති එජාප ඉදිරිපෙළට නොතේරීම පුදුමයක් නොවේය.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාර ඉකුත් මාර්තු මස 2 දා එවකට පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව ඊළඟ මහ මැතිවරණය පැවැත්වෙන දින වකවානු කල්තියා තීරණය කර ඒ සඳහා මෙරට එක් එක් දේශපාලන පක්ෂවලින් නාම යෝජනා පවා බාරගෙන තිබුණේය. කොරෝනා වසංගතය හමුවේ අප ජනාධිපතිවරයා ගත්තේ ලොව සෑම නායකයකුගේම පැසසුමට ලක් වූ නිරෝධායන ක්‍රමවේදයකි. ඔවුන් වයිරසය පාලනය කිරීම සඳහා ඉතා හොඳින් ක්‍රියා කර ඇතැයි බටහිර මාධ්‍ය නිර්ලෝභීව පවසා ඇත්තේ ඒ නිසාය.

ජනතාව රැක ගැනීම ජනාධිපතිවරයාගේ ප්‍රධානම කාර්යය වූ අතර මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමකි. එනිසා මැතිවරණය සම්බන්ධව තමන් මැදිහත් නොවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. කෙසේ වුවත් පෙත්සම්කරුවන්ගේ උත්සාහය වූයේ අධිකරණය මඟින් මැතිවරණ කොමිසමට බලපෑමක් එල්ල කිරීමය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟින් මේ උත්සාහය ව්‍යර්ථ වී තිබේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නීත්‍යානුකූලබවත් මැතිවරණයක් පැවැත්වීමේ පූර්ණ බලතල ඇත්තේ මැතිවරණ කොමිසමට බවත් ඒ අනුව සනාථ වී තිබේ. එනිසා දැන් උදාවී ඇත්තේ මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරීත්වය සඳහා වන වාරයයි. සෞඛ්‍ය අංශවල පූර්ණ අධීක්ෂණය යටතේ මැතිවරණය පැවැත්වීමට දැන් මැතිවරණ කොමිසමට බාධාවක් නැත.

පැවැති පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබුණේ විපක්ෂයටය. පාර්ලිමේන්තුව කැඳවීමත්, අණපනත් ගැන කතාවත් ඇදෙන හැම අවස්ථාවකම ජනාධිපතිවරයාගේ සෘජු පෙනී සිටීම කොතරම් වැදගත්ද යන්න ජනතාව දනී. කොරෝනා සාර්ථකව මැඬ පැවැත්වීම ගැන ජනාධිපතිවරයාට ප්‍රශංසා කරන හැම විටකදීම පොදු ජනයා අතරින් මතුවූ සංසන්දනාත්මක විග්‍රහයක් තිබුණි. ඒ ‘යහපාලන’ ආණ්ඩුව තිබුණා නම් අපට කුමක් වේද යන්නය. එකී ‘යහපාලන’ ආණ්ඩුවේ කොටස්කරුවන් නැවත පාර්ලිමේන්තු කැඳවා හොරාගේ අම්මාගෙන් පේන අහන්නට තරම් අවශ්‍යතාවක් රජයට තිබුණේ නැත. එය සාධාරණ හා යුක්ති සහගත බවත් නීත්‍යානුකූලබවත් දැන් සැවොම දනිති.

මේ ආණ්ඩුවේ ගැටුම් කළමනාකරණයේ මනා නිපුණතාව හා ‘යහපාලන’ ආණ්ඩුවේ නොහැකියාව ජනතාව අතරම සන්සන්දනය වෙමින් පවතින මොහොතක මැතිවරණයක් පැවැත්වීමේ අවාසිය නිසාම විපක්ෂය පිදුරු ගසේත් එල්ලෙන්නට බලා සිටී.‍ තම පැවැත්ම වෙනුවෙන් ජනතා පරමාධිපත්‍ය නොව රටම හෝ උකස් තැබීමට සූදානම් ව සිටින විපක්ෂයට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පහරක් බව පැහැදිලිය. මැතිවරණ කොමිසම නියම කරන ඕනෑම දිනයෙක මේ අනුව මහ මැතිවරණය පැවැත්වෙනු ඇත. බහුතරය ලබාගැනීම, ශක්තිමත් නිසි තීන්දු ගැනීමටත් රටේ සෛවරී බව හා දේශීය පුනර්ජීවනයක් ඇති කිරීමේ පදනම දමා ගැනීමටත් උපස්ථම්භක වන බැව් මේ රටේ බුද්ධිමත් ඡන්ද දායකයෝ දනිති.

Comments