
වර්ගවාදී යුද්ධය අවසන් කර යුද මානසිකත්වයේ බියකරු සෙවණැලි කෙමෙන් මැකී යන මොහොතක අපි එකළොස්වන අභිමානවත් යුද ජයග්‍රහණය මැයි 18 දා සමරන්නෙමු. ඒ ඇසට පෙනෙන ත්‍රස්තවාදී ව්‍යසනය පරාජය කිරීම අද අපට සමරන්නට වන්නේ ඇසට නොපෙනෙන වයිරසයේ සීමා මායිම්වලට යටත්වය. එදා මිනිස් ජීවිත දසදහස් ගණනක් ත්රස්තවාදීන්ගේ ජාතිවාදී මානසික වියවුල නිසා විනාශ වෙමින් පැවතියදී; මානුෂික මෙහෙයුම ඔස්සේ සාමයේ අරුණලු ගෙනෙන්නට ත්‍රිවිධ හමුදාව ගත් මෙහෙය සුළුපටු නැත. අද ඇසට නොපෙනෙන මේ වයිරසයෙන් පීඩා විඳිද්දී අප ගැලවුමට ඉදිරි පෙළ සටන් කරන්නේ ද ඒ ත්‍රිවිධ හමුදාවමය. එදා ඒ ත්‍රිවිධ හමුදාව මෙහෙයවූ නායකයන් දෙදෙනාම මේ මොහොතේ ලෝක ව්‍යසනයක් ලෝක පැසසුමට ලක් වෙමින් මර්ධනය කරමින් සිටීම අප ලද ආශීර්වාදයක්මය.
1975 ජූලි 27 දා එවක යාපනයේ නගරාධිපතිව සිටි ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පා නල්ලූර් කෝවිල වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වීම මෙරට තිස්වසරක යුද්ධයේ පළමු අඳුරු මතකය වෙතැයි කිසිවකු සිතන්නට නැත. එයින් ඇරඹුණු ත්රස්තවාදයේ අඳුරු සෙවණැලි 1983 එල්ටීටීඊය, හමුදා සෙබළුන් 13 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමඟින් දිවයින පුරා පැතිර ගියේය. කළු ජූලියේ කළු පැල්ලම ඉතිහාසයේ ලියැවුණේ ඒ නිසාය.
ඉන්පසු ගෙවුණු දශක දෙකක කාලයේ එල්ටීටීඊ ත්‍රස්තවාදය විසින් මෙරට ආගමික, රාජ්‍ය නායකයන්, රණවිරුවන් පමණක් නොව සිවිල් වැසියන් ද දහස් ගණනින් ඝාතනය කළේ ලොව ප්‍රබලම ත්‍රස්තවාදී කඳවුර වෙමිනි. තම දරුවාට දෙමව්පියන් දෙදෙනාම අහිමි වේ යැයි බියෙන් මව හා පියා එකම බස් රථයේ ගමන් නොකළ ඒ ශාපලත් කාලය ඔබට අමතක වන්නට ඉඩ නැත. දහස් ගණන් සිවිල් වැසියන් මිනිස් පලිහ කරගනිමින් තිරිසන් ත්‍රස්තවාදය මුළු රටම බියෙන් අළලා තිබිණි. අදත් නින්ද ගිය ඇසිල්ලේ නැඟිට කෑගසන; එනිසාම ජීවිතය පුරා නින්දක් නොලබන, හිර නොවී බත් කටක් ගිලින්නට නොහැකි යුදමය වින්දිතයෝ සිටින බව ඔබ දන්නවාද? ත්රස්තවාදීහු ඒ තරම්ම ජන ජීවිතය හා මිලේච්ඡ සෙල්ලමක නිරතව සිටි බව 2000ට පෙර ඉපැදුණු ඕනෑම අයකු අත්විඳ ඇත.
2001 වසරේදී රජය සමඟ සාම ගිවිසුමකට එළැඹුණත් එල්ටීටීඊය දිගින් දිගටම සාමයේ කඩතුරට මුවා වෙමින් සිය මිලේච්ඡ අරමුණ වෙනුවෙන් සටන් වැදුණේය. ගොවි ජනතාවට ජලය සපයන නැගෙනහිර මාවිල්ආරු සොරොව්ව වසා දැමීම එහි උච්ඡතම අවස්ථාවයි. එහි ප්‍රතිඵලයක් ලෙසින් නැගෙනහිර ගොවි ජනතාව වෙනුවෙන් 2006 ජූලි 21 දා මාවිල්ආරු සොරොව්ව මුදා ගැනීමට ආරක්ෂක හමුදා දියත් කළ මෙහෙයුම සිව්වන ඊලාම් යුද්ධයේ ආරම්භය විය. සාමාන්‍ය ජනතාවගේ ජීවිත සමඟ දාදු කෙළි ඊට පෙර පැවති එජාප ආණ්ඩු මෙන් එවකට පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජනතාව බිල්ලට දුන්නේ නැත. අවසානයක මුල පටන් ගන්නේ එලෙසය.
දෙමළ ජනතාව මිනිස් පලිහක් ලෙස භාවිත කරමින් තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට කොටිනායක වේළුපීල්ලේ ප්රභාකරන් දැරූ නින්දිත උත්සාහය පරාජය කරමින්; මෙරට හමුදාව ලොව විශාලම ප්‍රාණ ඇපකරුවන් ප්‍රමාණය මුදා ගැනීමේ අභියෝගය එහිදී සාර්ථකව ජය ගත්තේය.විදෙස් බලපෑම්වලට යට නොවී ක්‍රියාත්මක කළ ඒ මානුෂික මෙහෙයුමට මැයි 18දා හරියටම වසර එකොළහක් පිරේ. 2009 මැයි 18 ඒ ඓතිහාසික ජයග්‍රහණය මෙරට පමණක් නොව; ලෝකවාසී ජනතාවටම ත්රස්තයන් යනු කෙතරම් මිලේච්ඡයන් පිරිසක්ද යන්න සපථ කළේය.
ත්‍රස්තවාදය නිමා කිරීම අහම්බෙන් සිදු වූවක් නොවේ. මෙරට තබා කිසිම රටක් මහා අර්ථයකින් බහු සංස්කෘතික වන්නේ නැත. මේ රට සිංහල බෞද්ධ රටක් බවත්; සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බවත් දෙමළ ජාතිවාදී නායකයන් පිළිගැනීමට ප්‍රතික්ෂේප කිරීම අවසාන වූයේ බිහිසුණු ලේ වැගිරීමකිනි. චෙල්වනායගම් උතුරු හා නැගෙනහිර පළාත්වල වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කළේ ප්රභාකරන්ට පාර කපමිනි. එබැවින් 2009 මැයි 18 ජනාධිපතිතුමන් හා ආරක්ෂක ලේකම් ප්රමුඛ රණවිරුවන් විසින් පරාජයට පත්කරනු ලැබුවේ දෙමළ ත්‍රස්තවාදය පමණක්ම නොවේ. බටහිර හා ඉන්දීය අතපෙවීම් ද, ත්‍රස්තවාදය පෝෂණය කළ රටවල්ද ඒ පරාජයේ කොටස්ය. එවකට ජනාධිපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ ලොව විශිෂ්ටතම රාජ්‍ය නායකයකු වන්නේ ඒ නිසාය.
මෙරට සිංහල බෞද්ධ රටක් යනුවෙන් පවසද්දී දෙමළ හින්දු සංස්කෘතියට ඉන් මේ රටේ ඉඩක් නැති බවක් නොකිය වේ. සියලු සංස්කෘතීන් සමානව ඇති එක් රටක් පෙන්වන්න යැයි අප නොබියව අභියෝග කරන්නේ ඒ නිසාය. පරමාදර්ශී රටක් ලෙස සැලකෙන සිංගප්පූරුවේද අධිපති සංස්කෘතියක් වෙයි; ඒ මැන්ඩරීන් චීන සංස්කෘතියෙහි විශේෂයකි. එනිසා ජාතිකත්වය ගැන කාටවත් ප්‍රශ්න නැඟිය නොහැකිය. එදා යුද්ධය දිනීමට නොහැකි යැයි කියූවෝ අද හිරිකිතක් නැතිවම මල්පැණි බොති. එදා අපේ හමුදාවට සිදු වූයේ සතුරු රටක් සමඟ යුද්ධ කිරීමටවත්, සිවිල් යුද්ධයකට පැටලීමටවත් නොව සිවිල් වැසියන් පලිහක් සේ යොදා ගත් ත්රස්තවාදීන්ට එරෙහිව මානුෂික මෙහෙවරක් දියත් කිරීමට ය. එය කිසිසේත්ම දෙමළ ජනයාට එරෙහි සටනක් නොවීය.
මානුෂික මෙහෙවරේ එකළොස්වන වසර සමරන මේ මොහොතේ අප සැම වටහාගත යුතු සත්‍ය එයයි. දරුස්මාන් ලවා ලියාගත් රොබට් බ්ලේක්- බැන්කී මූන් වාර්තාව, සරත් ෆොන්සේකාගේ සුදු කොඩි කතා, චැනල් ෆෝ මගඩි, ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම්, ජාත්‍යන්තර යුද අධිකරණ, ජිනීවා යෝජනා මේ සියල්ල දම්වැලක පුරුක් මිස තනි තනි සිදුවීම් නොවේ. මේ සියල්ල පිටුපස තිබෙන බලවේග හඳුනා ගැනීමත් ඊට ශක්තිමත්ව මුහුණදීමත් අවශ්‍ය වන්නේ ඒ නිසාය. සිංහල බෞද්ධ බහුතරය දිනා සිටින මේ මොහොතේ මේ කිසි බලවේගයක්; අභියෝගයක් නොවන බැව් අපට විශ්වාසය. මානුෂික මෙහෙවරේ එකළොස් වස සැමරිය යුත්තේ තවදුරටත් මේ වැනිවම එන අදෘෂ්‍යමාන අතපෙවීම් ගැන සවිඥානිකවය.