
ගතවෙමින් පවතින්නේ තීරණාත්මක දින කිහිපයකි. කෝවිඩ් 19 ලෝකයම වෙළා ගනිද්දී වෙනදා සමරන බොහෝ දෑ මතකයට පමණක් සින්න වී තිබේ. අප 130 වැනි කම්කරු දිනය සැමරුවේ මුළු ලොවම වයිරසයක් විසින් අකර්මණ්‍ය කර ඇති අවස්ථාවකය; නැත්නම් මාසයක් වැනි කෙටි කලකදී මුළු මහත් ලෝකවාසී කම්කරු ශ්‍රමිකයන් ලක්ෂ ගණනක් බිලි ගනිමින් සිටියදීය. තවත් ලක්ෂ ගණනක් රෝහල්වල වද වේදනා විඳිමින් ජීවිතය හා සටන් කරද්දීය; ඉදිරියේදී කෝටි 200 ශ්‍රම බළකායකට රැකියා අහිමි වීමේ අවදානම දැඩි ව පවතිද්දී ය. 130 වැනි මැයි දිනය උදා වනවිට අපි අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින්නෙමු.
පාස්කු ප්‍රහාරයට වසරක් ගෙවී ගියේය. 2564 වැනි බුද්ධ ජයන්තිය එළැඹීමට ඇත්තේ හරියට ම දින 4කි. රට පුරා සර්ව ආගමික සංහිඳියාවක ලකුණු පහළ වීමට ගත්තා පමණය. පාස්කු ප්‍රහාරයේදී ආගම් බේද නොසලකා එකාවන්ව එක් වූ සහජීවන පරිසරය වඩාත් ආලෝකවත් වූයේ වෙසක් දින පල්ලි පරිශ්‍ර පුරා ගිය වසරේ පහන් දැල්වීමත් සමඟය. කොරෝනාවෙන් තැති ගත් සිත් ඇතිව සිටින මේ මොහොතේ පාස්කු ප්‍රහාරයෙන් වසරක් ගෙවී ගිය පසුගිය 21 දා පන්සල්, පල්ලි බේදයකින් තොරව ඝණ්ඨා නාද විය. එකී සහජීවනයේ අරුණලු මැදින් ම කොරෝනාව පරදා ජයගැනීමේ අභියෝගය අප ඉදිරියේ වෙයි.
කොවිඩ් 19 යනු එක් අතකින් ක්‍රිස්තු වර්ෂ 2000- 2100 කාලය ඇතුළත ජීවත්වන මනුෂ්‍ය ප්‍රජාවක් වන අප කළ යුතු කැප කිරීමක් විය හැකිය. ඒ කැප කිරීමේ ප්‍රතිඵල තවත් වසර දහස් ගණනකින් මේ ලෝකයේ ජීවිතය සොයන ප්‍රජාවට සහ ඔවුන්ගේ පරිසරයට සහනයක් වනු ඇත. අද අප ඉදිරියේ ඇත්තේ මේ කැපකිරීම අර්ථවත් කරගන්නේ කෙසේද යන ගැටලුවයි.
කොරෝනා නිසා පරිහානියට පත් ආර්ථිකය ගොඩනංවාලීම ජනාධිපති කාර්යසාධක බළකාය ඉදිරියේ ඇති බරපතළම අභියෝගයයි. මේ වනවිට පුරවැසියන් වන අප ඉදිරියේ තේරීම් දෙකක් ඇත. එක් තේරීමක් වන්නේ කොරෝනා නිසා නිවෙසට හිර වී නිෂ්පාදන ආර්ථිකයට අබැටක් හෝ සහය නොවී සිටීම ය; අනෙක ජීවත් වීමට අදාළ වන ආර්ථික නිෂ්පාදනයට දායකවීමය. සරලවම කිවහොත් රැකියාව හෝ සිය ජීවනෝපාය කිරීමය; නැතිනම් ගෙදරට වී ආණ්ඩුවේ සහනාධාරයෙන් යැපීම ය.
කොරෝනා නිසා අගතියට පත් ආර්ථිකය නැවත ගොඩනංවාලීමේ කාර්යසාධක බළකාය ඉදිරියේ ඇති අභියෝගය ලෙසින් අප දකින්නේ කොරෝනාවෙන් පසු ආර්ථිකය ගොඩනැංවීම නොව; කොරෝනාව තිබියදී ආර්ථිකය පණ ගන්වන්නේ කෙසේද යන්නය. එයට හේතුව කොරෝනාව මෙලොවින් තුරන්ව යෑමට ගතවන කාලය ගැන ලෝකයේ කිසිදු බලවතකුට හරියට දින වකවානුවක් කීමට නොහැකි වීමය. ඒ ගැන පළ වෙන මත ගැන අවධානය යොමු කරද්දී ඒ පවසන තරම් කාලයක් හා අවධානමක් ගත හැකිද යන ගැටලුව මතු වේ.
කොරෝනා තුරන් ව යද්දී ආර්ථිකය ඉතිරිව තිබේද යන්න ලොව දියුණුම රටවල් පවා ප්‍රශ්න කරන්නේ ඒ නිසාය. තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටකට තියා ඇමරිකාව වැනි දියුණු යැයි සම්මත රටකට පවා එසේ ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලිය නතර කිරීමට හැකියාවක් නැති බව පෙනෙන්නේ ඔවුන් ඒ වෙනුවෙන් පළකරන මත දකිද්දී ය.
එනිසා සමාජ දුරස්ථකරණය තබාගෙන ආර්ථික කටයුතු පණ ගැන්වීමේ යාන්ත්‍රණයක් අප සකසා ගත යුතුව තිබේ. ඒ වසා දැමීමට වඩා විවෘතව තැබීම වැදගත් වනු ඇතැයි වන විශේෂඥ මතය නිසාය.
ඒ වෙනුවෙන් පුරවැසි අපට වගකීමක් තිබේ. දුරස්ථකරණයේ සීමා තබාගෙන තම අවශ්‍යතා පූර්ණය කර ගැනීමටත්, අලුත් රැකියා අවස්ථා උත්පාදනය කරගැනීමටත් ඒ අනුව අපට සිදු වනු ඇත. අලුත් චර්යා රටා හා පිළිවෙත් වලට අමාරුවෙන් හෝ හැඩගැසීමටත්, සෞඛ්‍ය අංශ ලබාදෙන නිර්ණායක පිළිපැදීමටත් අප එකඟ විය යුතුය. වසංගතයක් අවසානයේ බලාපොරොත්තු විය හැකි පරිදිම මේ කිසිවක් පහසු නොවන්නේය. ඔබ නීතිගරුක හා වගකීම් සහගත වන තරම අනුව අනාගතය තීරණය වනු ඇත.