
කළ නොහැක්කක් නැතැයි පාරම් බෑ නූතන මානව ක්‍රියාකාරකම් උඩුයටිකුරු වන්නට ගත වූයේ දෙමසකටත් අඩු කාලයකි. අභිචාර විධික්රම ගැන තවමත් සවිඥානික තුන්වැනි ලෝකයේ රටක භාෂාවෙන් කියනවා නම් මෙය අද්භූත බලවේගයකින් සිදු වූවාක් වැනි දෙයකි. මානව සංහතිය තමන් වෙනුවට ආදේශක සොයන, කෘත්‍රිම බුද්ධිය, කෘත්‍රිම ශරීර ඈ නොයෙක දෑ ගැන කතා කරන, නිපදවන සමයෙක ඒ කිසිවකටත් යට නොවුණු වයිරසයක් විසින් ලෝක ආර්ථිකය උඩුයටිකුරු කර තිබේ. මහා දැනුමක් මත ගොඩනඟන ලද ආර්ථිකය කෙතරම් බිඳෙන සුළු ප්රපංචයක් ද යන්න ලොවට ම පසක් වී හමාරය.
සමස්ත ආර්ථිකය සිතා ගත නොහැකි තරම් වේගයෙන් මසෙකටත් අඩු කලෙකදී කඩා වැටිණි. අන්තර්ජාතික කම්කරු සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ගයි රයිඩර්ට අනුව මෙය තවදුරටත් ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් පමණක් ම නොවේ; ගෝලීය ශ්‍රම වෙළෙඳපොළේ සහ ආර්ථිකයේ අර්බුදයකි.
සංචාරක, ඇගලුම්, දේපළ වෙළෙදාම් හා ආහාර නිෂ්පාදන කර්මාන්ත ආදී සේවා මුළුමනින්ම අඩාළ වී ඇත. ගෝලීය ශ්‍රම බලකායෙන් 38% ක් පමණ සේවය කරන්නේ මේ ක්ෂේත්රයන්හි ය. මේ අනුව ගෝලීය දරිද්‍රතාව කෝටි 40 ත් 60 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ. සමස්ත ලෝකයට ම කෝවිඩ් 19 නිසා වූ හානිය පුනරාවර්තනය කරන්නට දශකයක පමණ කාලයක් ගත වෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ උපකල්පනය කරති.
ලංකාවේ ශ්‍රම බලකාය ලක්ෂ 85 කි. ඉන් ලක්ෂ 36ක් පුද්ගලික අංශවල සේවය කරති. ලක්ෂ 34ක් ස්වයං රැකියා වල නිරතවන අතර; ලක්ෂ 15 ක් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරති. සේවා සපයන්නන් බොහෝ දෙනෙක් සිටින්නේ අනතුරේ ය. ඒ අතර සෞඛ්‍ය අංශ දැඩි ලෙස සක්‍රිය වී ඇත. එබැවින් ඒ සේවා සඳහා නව රැකියා ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. මේ අතර රජය කොරෝනා වසංගතය නිසා අඩාළ වූ ජනජීවිතය යථා තත්ත්වයට පත්කර ආර්ථිකය යළි පණ ගැන්වීම පිණිස සැලසුම් කළ උපාය මාර්ග ප්‍රකාශයට පත්කරන්නට නියමිත ඇති බවට වන ප්‍රවෘත්තිය; මේ සටහන ලියන මොහොත වනවිට ජනසමාජය වෙත දන්වා තිබේ. තිස් අවුරුද්දක් තිස්සේ ජන ජීවිතය හා ආර්ථිකය බිඳ වැට්ටූ යුද්ධයක් ජයගත් නායකයකුට කොරෝනාවෙන් බිඳ වැටුණු ආර්ථිකය ජයගැන්ම අපහසු කරුණක් නොවන බව පැහැදිලි ය.
රටේ කෘෂිකාර්මික පිිබිඳීමක් ඇති කිරීමට මේ වනවිටද ආණ්ඩුව පියවර ගෙන තිබේ. රාජ්‍ය මට්ටමේ සිට කුටුම්බය දක්වා ම මේ පිබිදීම සිදු වී තිබේ. මේ වනවිට රජය මැදිහත් වී ගොවි නිෂ්පාදන ගොවි බිමට ම ගොස් සාධාරණ මිලකට මිලට ගනියි. රජරට වට්ටක්කා, උඩරට එළවළු හා වියළි කලාපයේ ධාන්‍ය දැන් නිකරුණේ අපතේ යන්නේ නැත. ඒවාට වෙනදාටත් වඩා සාධාරණ මිලක් රජයෙන් ගෙවයි. අතරමැදි ගාස්තුවකින් හෝ ගෙවීමකින් තොරව ඒ ඒ එළවළු, ධාන්‍ය පාරිභෝගික ජනතාව වෙත සාධාරණ මිලකට රජය විසින් ලබා දෙයි. ගොවියා, නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා යන ත්‍රිවිධ කොටසම මේ වනවිට සුරක්ෂිත වී තිබේ. මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ වී මාෆියාවට තිත තැබීමට ලැබීම එතෙක් මෙතෙක් රජයක් විසින් ගත් ප්රශස්ථම ක්රියාමාර්ගයකි. වී තොග සඟවන්නත් අනතුරුව වැඩි මිලට විකුණන්නටත් දැන් වී මෝල් හිමියන්ට දැන් නොහැකිය. ගොවීන්ගෙන් නියමිත මිලට වී මිලදී ගෙන ඒවා ගබඩා කිරීම මෙන්ම සහල් කිරීමේ කටයුතු ද දැන් කරන්නේ හමුදාව විසිනි. වි අලෙවි මණ්ඩලය සතුව ඇති අලුත්වැඩියා කළ යුතුව තිබූ ගබඩා කඩිනමින් අලුත්වැඩියා කර වැඩි සහල් තොග ගබඩා කිරීමේ පහසුකම් ද රජය ස්ථාපනය කළේය. වී මෝල් අත්‍යවශ්‍ය සේවාවක් කරමින් මෙතෙක් නැවැත්විය නොහැකිව තිබූ වී මාෆියාව දින දෙකකින් නතර කළ එකම ආණ්ඩුව මෙයයි.
සංචාරක හා ඇඟලුම් කර්මාන්ත නඟා සිටුවීමේ නව වැඩපිළිවළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ය. කොරෝනාව මැඬලන්නට අවශ්‍ය උපදෙස් සෞඛ්‍ය ක්ෂේත්රයේ විශේෂඥයන්ගෙන් ලබා ගත්තා සේම; ඒ ඒ අංශ නඟා සිටුවීමට ඒ ඒ ක්ෂේත්රයන්හි ප්රවීණයන්ගේ අදහස් හා යෝජනා රජය විමසමින් සිටියි. මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ ව්‍යාපාරික අංශවල සියල්ලෝම එකාවන්ව තම අරමුණු ඉටු කර ගැනීමට හා ආර්ථිකය නඟා සිටුවීමට රජය මැදිහත් වන බවට විශ්වාසය තබා සිටිති. ඒ විශ්වාසය රජය කඩ නොකරන බවට පසුගිය සති කිහිපය වුව ද සාක්ෂි දරනු ඇත.
කෝවිඩ් 19 යක්ෂාවේෂයෙන් ලෝකය සොහොන් බිමක් කරද්දී අපි එයට සාර්ථකව මුහුණ දුන්නෙමු. මැතිවරණය කල්දමමින් ජනපති, අගමැති හා හමුදාපති ප්රමුඛ ආරක්ෂක අංශයත්, වෛද්‍යවරු ප්රමුඛ සෞඛ්‍ය අංශයත් දිවි හිමියෙන් එයට කැප වූහ. එනිසාම ලෝක දර්ශක වලට අනුව දකුණු ආසියාවේ හොඳම කොරෝනා මර්ධන ව්‍යාපෘතිය තිබෙන්නේ ලංකාවේය. ඕස්ට්‍රේලියාවේ අයි. සී. එම්. ආයතනය සකස් කළ වික්ට් දර්ශකයට අනුව කෝවිඩ් 19 වසංගතයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතර ලංකාව නවවැනි ස්ථානයට නම් කර ඇත. ලොව හොඳම රටවල් 10 අතරට එන්න ලැබීම ම ජයග්‍රහණයක් නොව විජයග්‍රහණයකි.
වසංගතයක් මර්ධනය කිරීමේ සාර්ථක අසාර්ථක බව ගොඩනැඟෙන්නේ ඊට එකී රාජ්‍ය මුහුණ දෙන ආකාරය ඔස්සේ ය. වසංගතයක් අවසානයේ දුගී බව, විරැකියාව, කුසගින්න ආදිය අත්විඳීමට සිදුවන බවට වන දැනීම අපට ඉතිහාසය පුරා ආගන්තුක නැත. එනිසා මුලින්ම කළ යුත්තේ මානව සම්පත රැක ගැනීමය; රජය එය ඉතා සාර්ථකව ඉටු කරමින් සිටියි. දැන් ඇත්තේ වැටුණු ආර්ථිකය නඟා සිටුවීමට ය. ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් හා කෙටිකාලීන හා දිගු කාලීන සැලැස්මක් රජය සතුය. අප පෙර කීවාක් මෙන්ම; තිස් අවුරුද්දක් පුරා ඔඩු දිවූ යුද්ධයක් ජයගත් නායකයකුට කොරෝනාවෙන් දණින් වැටුණු ආර්ථිකය ගොඩගැන්ම අභියෝගයක් නොවන අභියෝගයකි.