වසංගතය පරාජය කිරීමට කොන්දේසි විරහිතව එක්වෙමු | සිළුමිණ

වසංගතය පරාජය කිරීමට කොන්දේසි විරහිතව එක්වෙමු

ලෝකයම සිටින්නේ බිහිසුණු කම්පනයකිනි. නොපෙන්වුවත් හැම දෙනාම ඉන්නේ ඒ කම්පනයේ බර දරා ගනිමිනි.

කොරෝනාවට වඩා මාරාන්තික වූ රෝග බොහොමයක් මෑත ඉතිහාසයේ වාර්තා වී තිබේ. එහෙත් කෝවිඩ් 19 මේ වයිරස් වලට වඩා වෙනස් ය. එය අසාමාන්‍ය වේගයකින් පැතිරීම ඒ වෙනස්කමයි. එනිසාම මේ උවදුර හමුවේ ලෝකය දණ ගසා තිබේ.

බැක්ටීරියාවකටත් වඩා කුඩා ක්ෂුද්‍ර ජීවී විශේෂයක් වන 'වයිරසය' කලින් කලට ලොව ආක්‍රමණය කරන්නේ සොබාදහමට අවනත නොවන කිසිවක් නැති බව සනාථ කරමිනි.

මහාමාරිය ලොව මිලියන 20 කට අධික ජනතාවක් බිලි ගත්තේ වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු තත්ත්වයක නොපැවති වකවානුවක ය. ලෝක ඉතිහාසයේ දරුණුම වයිරසය ලෙස සැලකෙන ඉන්ෆ්ලුවන්සාවෙන් ලොව පුරා රෝගීන් මිලියන 50කට අධික සංඛ්‍යාවක් මිය ගියේය. ගෝලීය වසංගතයක් බවට පත් වූ ආසියානු ඉන්ෆ්ලුවන්සාවෙන් ලොව පුරා මිලියන 2ක් ජනතාව මිය ගොස් තිබේ.

2002 වසරේදී ලොවම බිය කළ සාර්ස් ⁣වයිරසය පැතිරුණේ ද චීනයෙනි. කෝවිඩ් 19 ටත් වඩා දරුණු සාර්ස් වයිරසය අද මෙන්ම කෙටි කලකින්ම මර්ධනය කිරීමට චීනයට හැකි විය. මේ මොහොත වන විට චීනයෙන් එකදු ආසාදිතයෙක් හෝ වාර්තා වන්නේ නැත. ලෝකයේ සෙසු රටවල් තම ජනතාවගේ ජීවිත බේරා ගැනීමට සටන් කරද්දී චීන්හු සැනසුම් සුසුම් හෙළති. ඒ සැනසුමෙන් තෘප්ත නොවන ඔවුන්ගේ වෛද්‍ය කණ්ඩායම්; එදා වයිරසය පැතිරෙනවාටත් වැඩි වේගයෙන් තමන් ප්‍රතික්ෂේප කළ වෙනත් රටවල රෝගීන් වෙනුවෙන් සේවා සපයන්නට පිටත්ව ගොස් තිබේ. අමනුස්සකම් මතින් නැඟෙන මනුස්සකමේ සුවඳ ලොව පුරා පැතිරෙමින් තිබේ.

චීනයට හාත්පසින්ම වෙනස් ආකාරයකට කොරෝනාවට මුහුණ දුන් ඉතාලිය අද ජීවත් වන්නේ සොහොන්බිමකය. ලෝකයේ දෙවැනි වැඩිම වයස්ගත ජනගහනය ඉතාලියේ වාසය කිරීම ද ඊට හේතුවක් වන්නට ඇත. චීනය කෝවිඩ් 19 ජයගත්තේ සංවිධාන ශක්තිය, කැපවීම හා ඍජු ප්‍රතිපත්ති නිසා ය; ඉතාලිය ගොදුරු වූයේ සෙල්ලක්කාර විනය විරහිත බව හා නොසැලකිල්ල නිසා ය. ලංකාව ද මේසා අවධානමකට මුහුණ දුන්නේ ජනතාවගේ වගකීම් විරහිත නොසැලකිල්ල නිසා ය. අප මේ විඳින්නේ මුග්ධ කිහිපදෙනකුගේ නරුම ක්‍රියාවලියක ප්‍රතිඵල ය. වගකීම් සහගත බව පිළිබඳ හැඟීමක් නැත්තකුට රට, ජාතිය ගැන ආදරයක් තිබිය නොහැකිය.

ඒ ආත්මාර්ථකාමීහු සුළුතරයක් මැද දවස් ගණනක් නින්ද නොදුටු, බහිශ්‍රාවීය අවශ්‍යතා සඳහා පැම්පර්ස් ඇඳ වැඩ කරන පරාර්ථකාමීහු පිරිසක් ද අපට වෙති. ඔවුහු රැයක්, දවාලක් නැතිව දවස් ගෙවෙනවා යැයි නොදැකම, නොදැනම නිරෝධායන ක්‍රියාවලියෙහි නිරතව සිටිති. රෝහල් කාර්යමණ්ඩල හෝ අත්‍යවශ්‍ය සේවා සපයන කිසිවකුත් මැසිවිලි නොකියති; පරාර්ථයෙහි ම යෙදෙති. රෝහල් කාර්යමණ්ඩල, හමුදාව හා රාජ්‍ය නිලධාරීහු පිළිවතින් සේ ඊට පෙළ ගැසුණහ. රට අක්‍රිය නොකර කොරෝනා උවදුර මැඬ පැවැත්වීමට රජය ද සිය උපරිම උත්සාහය යෙදුවේය. එය පක්ෂ පාට බේදයකින් තොරව ඇගයීමට ලක්විය යුත්තකි. රජයේ මේ සක්‍රිය මැදිහත් වීම නොවන්නට අප මීට වඩා අවදානමකට මුහුණ දීම වැළැක්විය නොහැකිය.

ආත්මාර්ථය පසෙකලා පරාර්ථකාමී වුවහොත් පමණක් අපට මේ උවදුරෙන් ගැලවිය හැකිය.

සමස්ත මානව සංහතියේ පැවැත්මට අභියෝග කරන පුංචි වයිරසයකට අපි යටවෙනවාද, නැද්ද කියා තීරණය කිරීම තිබෙන්නේ අප අත ය. ලොව බලවතුන් පවා දණින් වැට්ටූ වයිරසය පරාජය කරන්නට නම් අප, අපගේ අසීමාන්තික මමත්වය පාලනය කරගත යුතුව ඇත. සොබාදහම අබියස අප කෙතරම් පුංචි දැයි දැනෙන්නේ පුංචි වයිරසයක් කළ හදිය ගැන සිතද්දී ය.

Comments