
අදින් ඇරඹෙන්නේ ජාතිකාභිමානයෙන් ද වැඩෙන්නා වු සතියකි. බැලූ බැලූ තැන සහ පාරේ යනෙන වාහනයක ජාතික ධජය ලෙළ දෙනු පෙනේ. මේ සමරන්නේ වසර 133ක් පුරා බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කරගෙන සිටි අපේ රට ඒ පාලනයෙන් මිදීමේ නිදහසයි. 1815 මාර්තු මස දෙවැනිදා ශ්‍රී ලංකාව මුළුමනින් ම එකල හිරු නොබසින අධිරාජ්‍යයක් බිහි කිරීමේ මානසිකත්වයෙන් සිටි මහ බ්‍රිතාන්‍යයට යටත් වන්නට සිදු වීමෙන්; ජාතියක් ලෙස අප සියලු සම්ප්රදාය මුළුමනින් ම විපර්යාසයකට ලක් වන්නට හේතු විය.
එ් මහ විපර්යාසය සමාජීය, සංස්කෘතිමය ආර්ථිකමය අතින් බලන කල දැවැන්ත පරිවර්තනයකි. මේ පරිවර්තන තුළ පැවති සුබ ලකුණු කෙසේ වතුදු මෙරටේ ජනතාව මානසික වශයෙන් දැඩි පරාධීනත්වයක පසු වූවාට කිසිදු සැකයක් නැත. පරාධීනත්වයේ සජීවී හැඟීම ඇත්තේ දැනට ජීවමාන ව හිඳින වැඩිහිටි ඇත්තන් සතුව පමණකි. ඉතිහාසය පිළිබඳ ව ලියැවුණු වාර්තාවන්හි එකී හැඟීම් අප බහුතරයකට මනසින් මවා ගත හැකි ආකාරයට මෑත කාලයේ චිත්රණය කර ඇත. එපමණක් නොව අදට ද අප හමුවේ නොවෙනස් ව පවතින ඉංග්‍රීසි සංස්කෘතියේ නෂ්ට වූ ලක්ෂණ මෙරට සමාජ දේහය තුළ අනපේක්ෂිත වෙනස්කම් මෙන්ම විපිරියාස සිදු කොට තිබෙන බවට සාක්ෂි ය.
කෙසේ වුවද රටක රාජ්‍යයක ස්වෛරී කටයුතු කිරීමේ, ස්වාධීන ව තීරණ ගැනීමේ මෙන්ම අප රටේ පවතින පුරවැසියන්ට තම සිතැඟි පරිදි රටේ පාලකයන්, මහජන නියෝජිතයන් තෝරා පත් කර ගත හැකි ආකාරයේ සමාජමය සහ දේශපාලනික නිදහසක් අපට මීට වසරකට හැත්තෑදෙකකට පෙර ලැබිණි. මේ නිදහස් සටනට 1818 දින 1848 දීත් දේශාලයෙන් යුතු විරුවන් තම රුහිරු වගුරවමින් සටනට පිවිසිය ද පසුකාලීනව යටත් විජිත ශ්‍රී ලංකාවේ පරාධීනත්වයේ පීඩනය මැද බිහි වූ ශ්‍රි ලාංකේය පරම්පරාව රුධිරය වැගිරීමකින් තොර නිදහසක් වෙනුවෙන් ඉතා ක්‍රමෝපායයික ව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමඟ කටයුතු කිරීමට තරම් තීක්ෂණ වූහ. ඔවුන් මේ සඳහා දශක දෙක තුනක මුළුල්ලේ ම ගෙන ගිය සටන අවසානයේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරුළෙන් අතහරින තැනකට තල්ලු වන්නේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය වෙනුවෙන් විමසීමට බ්‍රිතාන්‍ය රජය විසින් පත් කරන ලද සොල්බරි සාමිවරයා ප්‍රමුඛ නිර්දේශ නිසා ය. ඒ අනුව අප ලද නිදහස; ස්වෛරී ව ක්‍රියා කිරීමේ එනම් ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් හිමි වීම වැනි ජාතික ප්‍රබෝධයකට මඟ පැදිණි. මේ නිදහස් සටන සිළුමිණ ට මෙන්ම ලේක්හවුසියට ද වැදගත් වන්නේ එහි නිර්මාතෘවරයාණන් වන ඩි.ආර්.විජයවර්ධනයන් ද ලේක්හවුස් පුවත් පත් මඟින් මේ නිදහස් සටනට දැවැන්ත පෝෂණයක් ලබාදුන් නිසා ය. එවැනි ජාතික වගකීමක කොටස්කරුවන් ලෙස සිළුමිණ පුවත්පත ද; මේ නිදහස් සටනේ නියමුවන්ට සහ විරුවන්ට කෘතවේදී උත්තමචාරය පුද කිරීම යුතුකමක් ලෙස අපි විශ්වාස කරමු.
දැන් අපි වර්තමානය ගැන අවධානය යොමු කරමු. බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් ව අපට ජාතියක් ලෙස නිදහස් ව නිවහල් ව ගත වූ කාලය ගෙවන්නට හැකි වීද යන්න මේ රටේ සෑම පුද්ගලයකු ම තම හෘදය සාක්ෂියෙන් විමසිය යුතු කරුණකි. ඒ මන්ද යත් පශ්චාත් යටත් විජිත දේශපාලන බල ව්‍යූහය තුළ රට නිසි කල නිසි තැනට ගෙන යන්නට දැක්වූ අසමත්කම සහ බාධා රැසක් පැවති නිසා ය. මේ අසමත්කම්වලට වඩා සමත්කම් සුබවාදී ව ආවර්ජනය කිරීම වැදගත් ය.එහිදී මෙරට ජනතාවට නිරායාසයෙන්ම මතකයට නැඟෙන පළමු කරුණ වන්නේ තිස් වසක් මුළුල්ලේ රට වෙළාගෙන සිටි කුරිරු ත්රස්තවාදයයි. 2005 වසරේදී මෙරට පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙරට ආරක්ෂක හමුදා විරුවන් වෙත තම දේශපාලන නායකත්වයෙන් දෙන ලද අප්‍රතිහත ධෛර්යය ඊට වසර පහක් ගතවන්නට මත්තෙන් මේ පුංචි දිවයිනේ එකොන මෙකොන සාමය හරහා යා කිරීමට හැකියාව ලැබිණි. එය අපේ පරම්පරාව මෑත කාලයේ ලද නිදහසක් ලෙස ජන හදවත තුළ සටහන් ව ඇත. සැබැවින්ම එය ද නිදහස යන අකුරු හතර තුළ අරුත් ගැන්විය හැක්කේ රටේ සෑම තරාතිරමකම ජනතාවට පමණක් නොව ලේකයේ කවර රටක වුව ද පුද්ගලයකුට අපේ රට බියක් සැකක් නැතිව නිදාගන්නට නිදහසක් නිර්මාණය කළ නිසාය.
එවන් නිදහසක් ද හිමි වූ රාජ්‍යයක ඊළඟ ඉලක්කය විය යුත්තේ දිළිඳු බවින් තොරවූ තොර ආර්ථික නිදහසක් සහිත ඕනෑම රටක් රාජ්‍යයක් සමඟ එකට සිට ගත හැකි ආකාරයේ සෞභාග්‍යයක් ඒ සාමයෙන් ඇති කිරීම ය. ඒ සඳහා ද අපට අවස්ථාවක් පෑදී ඇත. කුරිරු ත්‍රස්තවාදය හමුවේ රට නිදහස් කර ගැනීමේ කාර්යයේදි ආරක්ෂක ලේකම්වරයා ලෙස තීරණාත්මක වගකීමක් දරන අතරේ ශ්‍රී ලංකාව විනයක් සහිත නිර්මාණාත්මක සංවර්ධනයක් වෙනුවෙන් වෙහෙසුණු චරිතයක් රටේ නායකත්වයට පත් වීම ය. මේ නායකයාගේ දර්ශනය වී ඇත්තේ අප ලද නිදහසේ ඊළඟ අන්තය වන සෞභාග්‍යය කරා යෑම ය. ඒ වෙනුවෙන් බහුවිධ විනයකින් යුතු රටක් සමාජයක් බිහි කිරීමට අවැසි ශක්තිමත් අඩිතාලමක් වැටී ඇත. එහෙත් කවර කලෙක වුවද අපගේ අපෙක්ෂා සහ ඉලක්ක වෙත ළඟා වීම සඳහා රටක් ලෙස සමාජයක් ලෙස යම් කැප කිරීමක් කළ යුතුය. එය සෑම පුරවැසියකුගේම පරම යුතුකමකි. මේ යුතුකම ඔස්සේ සෞභාග්‍යයේ දේශයක් වෙනුවෙන් ජාතියක් ලෙස අපි කැප වෙමු.