
අද මොන දේ කරන්න ගියද ඉදිරියට එන කාරණයක් ඇත. ඒ මිනිස් ශ්‍රමයයි. මිනිසුන් සිටියත් ඕනෑ දේ ඕනෑ ආකාරයට ඕනෑ වේලාවට කරවාගන්න කෙනෙක් නැත. එයින් පැහැදිලි වන්නේ ඒ අපේ ශ්‍රම බළකායේ පවතින විවිධත්වය සහ විසමත්වයයි. අවශ්‍ය දේ කරගන්න අවශ්‍ය දැනුම, සුදුසුකම් සහ හැකියා සහිත පුද්ගලයන් සිටියද සොයාගැනීම අපහසුය. මෙය අද මේ රටේ ව්‍යාපාරික ලෝකය පමණක් නොව රාජ්‍ය අංශයද නොඅඩුව අත්විඳින තත්ත්වයකි. රැකියාවට අදාළ සුදුසුකම නැතිකම, සුදුසුකම්වලට අදාළ රැකියා වෘත්තීන් නැති වීම යන කරුණු මූලික වශයෙන් ශ්‍රම වෙළෙඳපොළේ මේ අර්බුදය කෙරෙහි බෙහෙවින් බලපායි.
රටේ රැකියා නැතිකමට වඩා බලපා ඇත්තේ මේ වියවුල් සහගත පසුබිමය. මේ වියවුල මැද ජනතාව රැකියා ඉල්ලන්නේ ආණ්ඩුවෙනි. නූතනයේදී පවා මෙරට රජයේ විශ්වවිද්‍යාලවලින් පිට වන උපාධිධරයාගේ සිට අවම අධ්‍යාපන සුදුසුකම ලැබූවන් දක්වා සැම කොටසකම පුද්ගලයන් ආණ්ඩුවේ රැකියාවක්ම බලාපොරොත්තු වන්නේ අන් කවරක් නිසා වත් නොව, එයින් ලැබෙන සමාජීය රැකවරණය හේතු කරගෙනය. පෞද්ගලික අංශයේ රැකියාවක යෙදීමෙන් හෝ තමන් පුරුදු-පුහුණු කළ වෘත්තියක් හෝ ශිල්පයක් තම ජීවිකාව කරගැන්මෙන් සාපේක්ෂව වැඩි ආදායමක් ලද හැකි වුවද ඔවුන් රජයේ රැකියාවම බලාපොරොත්තු වන්නේ විශ්‍රාම වැටුපක්, සාපේක්ෂ මානසික නිදහසක් වෙනුවෙනි.
මෙතෙක් කලක් පත් වූ ආණ්ඩු කළේ මේ රැකියා අපේක්ෂකයන්ගේ මනදොළ සපිරීම වෙනුවෙන් රාජ්‍ය භාණ්ඩාගාරයේ සුවිසල් මහජන මුදලක් මසක වැටුප්වලට යට කර රජයේ රැකියා ලබාදීමය. පසුගිය රජය පවා උපාධිධාරීන් 16,800කට මේ අයුරින් රැකියා ලබාදෙන්නට පියවර ගත්තේ කිසිදු ඵලදායි ක්රමෝපායයකින් තොරව ඔවුන් රාජ්‍ය සේවයට ග්‍රහණය කරගැනීමෙනි. ඔවුන් වෙනුවෙන් මසකට රු. 20,000 බැගින් ලබාදීමට පමණක් රුපියල් තිස්තුන් කෝටියක් පමණ වැය වන අතර, මේ මුදල වසරක් ගෙවුණු තැන දෙගුණයකට ආසන්න වනු ඇත. මේ රැකියා බොහෝ විට ලැබුණේ අධ්‍යාපන සුදුසුකම් මතය. එවැනි සුදුසුකම් ඇති අයට තම ඉලක්ක කරා යා හැකි වුවද මේ රටේ දිළිඳු, එමෙන්ම ප්‍රමාණවත් අධ්‍යාපනික සුදුසුකම් සපුරා නැති බොහෝ දෙනකුට රජයේ කම්කරු රැකියාවක් ලබාගැනීම පවා සිහිනයක් විය. මේ තත්ත්වය අනුව ඔවුන් තම ආර්ථිකය වෙනුවෙන් සමාජ සම්මත හෝ අසම්මත ක්‍රියාදාම මඟින් මුදල් හොයාගන්නා තැනට පත් වූයේ තම ආත්ම ගරුත්වය පවා පසෙකට ලමිනි.
මෙසේ වරප්‍රසද අහිමි වූ රටේ දිළිඳු පවුල් එකී දිළිඳුබවින් මුදාගැනීමේ නව්‍ය ක්රමෝපායයයක් පිළිබඳ රටේ ජනතාව අතර අපේක්ෂාවක් ඇති කළේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු තම අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් දිනයේ අමාත්‍යවරුන් හමුවේ ප්‍රකාශ කළේ අවම නිපුණතා සහිත රැකියා ලබා දීමේදී තම ප්‍රදේශයේ සිටින දිළිඳු, ආර්ථික ශක්‍යතාවෙන් අඩු පවුල්වල සාමාජිකයන් කෙරෙහි අවධානය යොමු කරන ලෙසය. ඔහු එයින් අදහස් කළ දේ මේ වන විට අප හමුවට පැමිණ ඇත්තේ කැබිනට් මණ්ඩලයේද අනුමැතිය සහිතවය.
මේ වැඩපිළිවෙළ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බළකායක් පිහිටුවීමේ යෝජනාවයි. මේ යෝජනාවට අනුව ‘බහුකාර්ය කාර්යසාධක බළකා දෙපාර්තමේන්තුව‘ නමින් නව දෙපාර්තමේන්තුවක් ආරම්භ කිරීමට නියමිතය. මේ දෙපාර්තමේන්තුව යටතේ බඳවාගනු ලබන ලක්ෂයකට ආසන්න පුද්ගලයන් විවිධ නිපුණතාවලට අදාළ පුහුණුවක් ලබාදීමට නියමිතය. එය එක්තරා ආකාරයක වෘත්තීය පුහුණුවකට සමානය. ඔවුන්ගේ දැනුම, කුසලතා සහ ශ්‍රමය අවශ්‍ය ස්ථානවලට ලබා දීමට අදාළ වැඩපිළිවෙළක් මේ අනුව නිර්මාණය වී ඇත. විශේෂයෙන් රාජ්‍ය ආයතනවල එදිනෙදා කටයුතුවලදී අතිරේක කාර්යසාධක බළකායක් අවශ්‍ය වන අවස්ථා අප කොතෙකුත් දැක ඇත. එවැනි අවස්ථාවල අදාළ තත්ත්වයන්ට මුහුණ දීමේ නිසි අවබෝධයක් හෝ සූදානමක් නැති පුද්ගලයන් නිසා වැඩ අවුලෙන් අවුලට යන අවස්ථාද අප දැක ඇත. අද ලෝකයම මුහුණ දෙන පොදු අභියෝගයක් වන දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාව සිටින්නේ වැඩිම අවදානමක් සහිත මුල් රටවල් අතරය. විශේෂයෙන් ස්වාභාවික ආපදා හමුවේ කාර්යක්ෂමව කටයුතු කර ජන ජීවිතය ස්ථාවර කළ හැකි ආකාරයට සූදානම් කිරීමේදී මෙවැනි කාර්යසාධක බළකායක වටිනාකම අන් කවරදාටත් වඩා දැනෙන්නේය. විශේෂයෙන් මේ වන විටත් ඉතා විශාල මුදලක් ගෙවා පෞද්ගලික අංශයෙන් කරවාගත යුතු කාර්ය සඳහා මේ සියක් දහසක කාර්යසාධක බළකාය සාර්ථක වූත් ප්‍රායෝගික වූත් ආදේශකයකි.
මේ වැඩසටහන මේ වන විටත් හුදෙක් සංකල්පීය රාමුවෙන් එහා ගොස් ප්රායෝගිකත්වයට ළඟා වී ඇත. මේ වන විටත් අදාළ කාර්යසාධක බළකාය සඳහා ලියාපදිංචි වීම් ප්රාදේශය මට්ටමින් සිදු කරගෙන යනු ලැබේ.
මෙහිදී අප පෙන්වා දෙන්නේ අදාළ පුද්ගලයන් ඔවුන්ගේ ශක්‍යතා, සහජ දක්ෂතා, සුදුසුකම් සහ හැකියා මත නිශ්චිත කාර්යයන් වෙත යොමු කරවීමේ සියුම් කාර්යය වඩාත් පරිස්සම් සහගත ලෙස සිදු කළ යුතු බවයි. අද අප අතර ඇති වටිනාම සම්පතක් වන මානව සම්පත උපරිම කාර්යක්ෂමතාවකින් යුතුව මේ කාර්යසාධක බළකාය තුළ උපයෝගි කරගත හැක්කේ එවිටය. මේ කාර්යසාධක බළකාය වෙනුවෙන් වෙනම රාජ්‍ය දෙපාර්තමේන්තුවක් නිර්මාණය වෙයි. මේ දෙපාර්තමේන්තුවද නෛතිකව ස්ථාපනය කිරීමේදී අද පවතින යල්පැන ගිය රාමුවෙන් එහා ගිය නව්‍ය ආකෘතියකට සකස් කිරීමද මෙහිදී වැදගත් බව අපේ අදහසයි. සාම්ප්‍රදායික රාජ්‍ය සේවයේ කඩුලු පැනිය හැකි මෙවැනි නව්‍ය ආකෘතියක් ඔස්සේ මෙරට ශ්‍රම බළකායට එක් වන මේ අලුත් ලක්ෂයක පිරිසෙන් රටේ ලක්ෂ 220ක ජනතාවට දැනෙන සේවාවක් ඉටු වනු දැකීම රටේ කාගේත් අභිලාශයයි.