ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු රාජ්‍ය දෙපාර්තුමේන්තුවක් ලෙස ආරම්භ වී 2019.07.07 වැනි දින වන විට වසර 129 ක් සපිරේ. ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ස්ථාපිත වන්නේ වර්ෂ 1890 ජූලි මස 07 වැනිදාය. එහෙත් ලංකාවේ පුරාවිද්‍යා කටයුතු සඳහා මූලික පදනම දමනු ලබන්නේ සර් හර්කියුලස් රොබින්සන් ආණ්ඩුකාරවරයාගේ කාලයේදීය. එනම් 1861 වසරේ දී ය.
යටත්විජිත පාලකයන් විසින් මෙරට පැරණි ස්මාරක ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කිරීම සඳහා ප්‍රාථමික ගවේෂණ කටයුතු රාශියක් ඒ වන විට ආරම්භ කර ක්‍රියාත්මක කිරීම සිදු කර තිබිණි. 1890 වසරේ ලංකාවේ ආණ්ඩුකාර ධූරය දැරූ සර් ආතර් ගෝඩන්ගේ මෙහෙයවීම යටතේ ලංකා පරිපාලන සේවයේ සේවයේ යෙදී සිටි එච්.සී.පී. බෙල් මහතා ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් කරමින් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ආරම්භ කරන්නේ ඉන්පසුවය. එසේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව අනුරාධපුරය, පොලොන්නරුව, සීගිරිය හා දිවයිනේ තවත් බොහෝ ස්ථාන රාශියක ඇති පැරණි ස්මාරක ආරක්ෂා කිරීමේ හා සංරක්ෂණය කිරිමේ කටයුතු සිදු කර තිබිණි. යටත්විජිත සමයේ සිට පුරාවිද්‍යා කොමසාරිස්වරුන් නිකුත් කර ඇති පාලන වාර්තා පරිශීලනය කිරිමේ දී ඒ වග පැහැදිලි වේ.
මුලින් කෑගල්ල දිස්ත්‍රික්කයේ නඩුකාරයා වූ එච්.සී.පී. බෙල් එහි රාජකාරී කටයුතු සිදු කරන කාලයේ දී කෑගල්ල දිස්ත්‍රික්කයේ නටබුන්, ශිලා ලිපි, තඹ සන්නස් පිළිබඳ පර්යේෂණ කර ඉන් පසුව කෑගල්ල පුරාවිද්‍යා වාර්තාව එළි දැක්වීය. ඔහු මෙරට පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දැරීමට සුදුස්සකු බව එම වාර්තාව පෙන්වා දෙයි. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව 1890 දී ආරම්භ කර අනුරාධපුරයට පැමිණි බෙල් එහි පුරාවිද්‍යා කටයුතු ඇරඹීය. එහි දී විජයාරාමය, ජේතවනය, පන්කුලිය, කිරිබත්වෙහෙර, අභයගිරිය, තොලුවිල, සේල චෛත්‍යය, ථූපාරාමය, රුවන්මැලිසෑය, පුලියන්කුලම ආදී ස්ථාන එළිපෙහෙළි කර කැණීම් සිදු කර තහවුරු කිරීම් කරනු ලැබීය.
ඉන් පසුව 1900 දී පොලොන්නරුව නගරයේ නටබුන් එළිපෙහෙළි කොට තහවුරු කිරීම් කිරිම ද බෙල් මහතාගේ සමයේ සිදු කර තිබේ. බෙල් මහතා පුරාවිද්‍යා කොමසාරිස් තනතුර දරන සමයේ දී සීගිරිය ආශ්රිත පුරාවිද්‍යා කටයුතු ආරම්භ කර සීගිරිය හා අවට ප්‍රදේශයේ පර්යේෂණ සිදු කළේය. එසේම යාපහුව හා නාලන්ද වැනි ස්ථාන ද පරීක්ෂා කොට එළිපෙහෙළි කිරීම් සිදු කිරීම ද ඔහු සමයේ දී සිදු විය. මෙරට ශිලා ලිපි ප්‍රකාශයට පත් කිරීමේ අරමුණින් ලංකා ශිලා ලිපි සංග්‍රහය (Epigraphia Zeylanica)ඔහු විසින් ආරම්භ කිරීම ද අතිශය වැදගත් කරුණකි.
බෙල්ගෙන් පසුව ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූයේ ප්ලින්ඩර්ස් පෙට්ට්‍රි පඬිවරයා යටතේ මිසරයේ අවුරුදු 7ක් පුරාවිද්‍යා කටයුතු කළ එඩ්වඩ්. ආර්. අයර්ටන්ටය. ඔහු අවුරුදු 2ක් ඒ කටයුතු සිදු කළ අතර 1914 දී තිස්සමහාරාම වැවේ ගිලී මිය ගියේ ය. වර්ෂ 1914 - 18 කාලය ප්‍රථම ලෝක සංග්‍රාමය නිසා ලංකාවේ සිදු කළ පුරාවිද්‍යා කටයුතු සම්පූර්ණයෙන්ම අඩාළ විණි.
වර්ෂ 1921 ඒ. එම්. හෝකාර්ට් අයර්ටන් විසින් සිදු කරන ලද පුරාවිද්‍යා කටයුතු සම්බන්ධව Ceylon General of Science ග්‍රන්ථය සකස් කළේය. වසර 10ක් පුරාවිද්‍යා ක්ෂේත්රයේ වැඩකටයුතු කළ ඔහු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු ක්‍රමානුකූලව සකස් කළේය. ඔහු පොලොන්නරුවේ ලංකාතිලකය, දෙමළ මහා සෑය, කිරිවෙහෙර ආදී ස්ථානවල පුරාවිද්‍යා කටයුතු ආරම්භ කිරීමට වැඩකටයුතු කළේ ය. 1922 රුවන්මැලිසෑය හා ථූපාරාමය අසල නටබුන් තහවුරු කළේ ය. ඔහුගේ පාලන කාලයේ දී එනම් 1923 සෙනරත් පරණවිතාන මහතා ලිපි විඥානක තනතුරට බඳවාගැනීම ද සිදුකළේය.
හොකාර්ට්ගෙන් පසුව 1929 ඩී. එස්. වින්සන්ට් මහතා සහ ජෝසප් ෆයර්සන් යන අය පුරාවිද්‍යා කොමසාරිස් ධුරවලට පත් වූහ. 1935 දී සුප්‍රකට පුරාවිද්‍යාඥයකු වූ සර් ජෝන් මාෂල්ගේ ඥාතිවර ඒ. එච්. ලෝන්හර්න්ට් පුරාවිද්‍යා කොමසාරිස් ධුරයට පත් විය. ඔහුගෙන් පසුව 1940 දී පුරාවිද්‍යා කොමසාරිස් ධුරයට සෙනරත් පරණවිතාන මහතා පත් වූ අතර ශ්‍රී ලාංකිකයකු ස්ථිර ලෙස එම තනතුරට පත් වූ ප්‍රථම අවස්ථාව එය විය.
ඊට පෙර, එනම් 1932 - 35 කාලයේ දී පරණවිතාන මහතා පුරාවිද්‍යා කොමසාරිස් ධුරයේ වැඩබැලීම සිදු කළේය. ඒ අවස්ථාවල දී ලත් අත්දැකීම් එම ධූරයේ දී ලබාගෙන තිබේ. සෙනරත් පරණවිතාන මහතා 1933 දී Epigraphia Zeylanica තුන්වැනි වෙළුම ප්‍රකාශයට පත් කරන ලදී. එසේම 1940 පුරාවස්තු ආඥා පනත ස්ථාපිත කිරීම ද පරණවිතාන සමයේ සිදු වූ වැදගත් සිදුවීමකි. 1956 වසරේ විශ්‍රාම ගන්නා තෙක්ම පරණවිතාන මහතා සෙල්ලිපි, පුරාවිද්‍යා කැණීම්, ස්මාරක සංරක්ෂණ කටයුතු , කලා ශිල්ප, ගෘහ නිර්මාණ හා වාස්තුවිද්‍යාව, උද්‍යාන නිර්මාණ හා පැරණි වාරි ක්‍රම ආදී විවිධ විෂයන් අළලා පර්යේෂණ රාශියක් සිදු කළේය.
ඔහු ඉංග්‍රීසි හා සිංහල භාෂාවෙන් පර්යේෂණ ලිපි ලේඛන 300කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇත. විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු පුරාවිද්‍යා විෂය විශ්වවිද්‍යාල මට්ටමේන් සංවර්ධනය කිරීම සඳහා විශ්වවිද්‍යාල සේවයට එකතු වූයේය. වර්ෂ 1957 - 1965 කාලයේ දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය මණ්ඩපයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් කටයුතු කළේ එතුමාය.
සෙනරත් පරණවිතානගෙන් පසුව 1956 වර්ෂයේ දි චාල්ස් ගොඩකුඹුර එම තනතුරට පත් විය. ඔහුගේ කාලයේ දී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කෞතුකාගාර දිවයිනේ නන්දෙස ආරම්භ කරන ලදී. ඒ නිසා මහජනතාව අතර පුරාවිද්‍යාව ජනප්‍රිය විය. ඔහු 1967 තෙක් සේවය කරන ලදී. ඉන් පසු 1967 දී ආචාර්ය රාජා ද සිල්වා එම ධුරයට පත් විය. 1979 වර්ෂය දක්වා ඔහු පුරාවිද්‍යා කොමසාරිස් ලෙස සේවය කරන ලදී. ඔහුගේ පාලන කාලයේ දී 1969 වර්ෂයේ දී ලංකාවේ ප්‍රථම විද්‍යාත්මක පුරාවිද්‍යා කැණීම අනුරාධපුර ඇතුළුපුර ගෙඩිගේ ප්‍රදේශයේ සහකාර කොමසාරිස් සිරාන් දැරණියගල ආරම්භ කරන ලදී. ඉන් පසුව 1979 සිට 1983 ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දැරී ය.
1983 වසරේ සිට ආචාර්ය රෝලන්ඩ් සිල්වා එම තනතුර හෙබවීය. ඔහුගේ සමයේදී එතෙක් පුරාවිද්‍යා කොමසාරිස් ලෙස පැවැති තනතුර පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ලෙස වෙනස් විය. එතැන් සිට මෙරට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ ප්‍රධානියා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් බවට පත් විය. රෝලන්ඩ් සිල්වා මහතා විසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය ආරම්භ කර සාමාන්‍ය ජනතාව අතර පුරාවිද්‍යාව ජනප්‍රිය කරලීම මෙන්ම ජාත්‍යන්තරයට මෙරට පුරාවිද්‍යාව රැගෙන යෑමට විශාල මෙහෙයක් කළේය. ඔහුගෙන් පසුව 1998 වර්ෂයේ දී එම්. එච්. සිරිසෝම මහතා ද 2001 වර්ෂයේ සිට ආචාර්ය සිරාන් දැරණියගල මහතා ද 2003 වර්ෂයේ සිට ආචාර්ය ඩබ්ලිව්. එච් විජයපාල මහතා ද 2005 සිට ආචාර්ය සෙනරත් දිසානායක මහතා හා 2017 වර්ෂයේ සිට මේ දක්වා වැඩබලන පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතා ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ මුල් පුටුව දැරූහ.