
වැසි කිතුනු බැතිමතුන් ඉකුත් ඉරු දින අරුණෝදයේ පැහැදුණු බැති සිතින් හා විසිතුරු වතින් සැරසී තම දේවස්ථාන කරා ඇදුණේ කිතු සමිඳාණන්ගේ උත්ථානය සමරන පාස්කු දේව මෙහෙයන් උදෙසාය. එහෙත් උදෑසන නවයේ පැය ඉක්ම යන්නට මත්තෙන් මෙරට පමණක් නොව, ලෝ පුරා කිතුනුවන්ට හද පත්ලෙන්ම තැවෙන්න වූයේ කතෝලික බැතිමතුන්ගේ අතිශය ආදරයට පත් කොච්චිකඩේ ශාන්ත අන්තොනි දෙව් මැඳුරටත්, මීගමුවේ ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුරට සහ මඩකලපුවේ සියෝන් දේවස්ථානයටත් එල්ල වූ දරුණු ප්‍රහාර මාලාව හේතුවෙනි.
අදින් හරියටම සත් දිනකට පෙර සිදු වූ ඒ මහා ඛේදවාචකයේ දැවැන්ත කම්පනය අදද මඳකිනුදු අඩුව නැත්තේ එහි පැවති ප්‍රබලත්වය සහ ම්ලේච්ඡත්වය නිසාම පමණක් නොව, මේ ප්‍රහාරය පසුපස පවතින ආගමික අන්තවාදය සමඟ ඈඳුණු ත්‍රස්තවාදයේ බියකරු සෙවණැලි හේතු කරගෙනය. ඒ උන්මත්තක ත්‍රස්තවාදයේ සෙවණැලි සමස්ත ජනතාවගේම සිත් තුළ දැඩි සේ හොල්මන් කරයි. දේවස්ථාන ප්‍රහාරවලට සමගාමිව කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් ත්‍රිත්වයකද සිදු වූ පිපිරීම් හේතුවෙන් පාස්කු ඉරිදාවේ ප්‍රීතියෙන් යුක්තව උදෑසන ආහාරය භුක්ති විඳිමින් සිටි විදේශීය කිතුනු බැතිමතුන් ඇතුළු විශාල පිරිසකටද තම ජීවිත මේ රුදුරු ත්‍රස්තවාදය හමුවේ දිය කරහරින්නට සිදු වීමද ඛේදනීය වේ.
අද වන විට මේ ප්‍රහාර මාලාවෙන් දෙසිය පනහකට වැඩි ප්‍රමාණයකගේ දිවි තොර වී ඇත්තේ ඇතැම් දරුවන්ට තම ආදරණීය මවුපිය දෙපළම අහිමි කරවමිනි; මවුපියන් රැසකට තම නෙත් මෙන් රැකගත් ආදරණීය දරුවන් ඇතුළු සමීපතමයන් නැති කරවමිනි. වෙසෙසින්ම මීගමුව කටුවාපිටිය සහ මඩකලපුවේ දේවස්ථාන ආසන්න ගම්මාන එකම මළගෙයක් බවට පත් විය. මේ සිද්ධිය හමුවේ රටම ශෝකිව කඳුළු සැලුවද මේ විපතට මුහුණ දුන් පුද්ගලයන්ගේ කම්පනය ඔවුන් සමඟ ශෝකය බෙදා-හදාගන්නා සෙස්සන්ට වඩා බෙහෙවින්ම ප්‍රබලය. ඔවුන්ගේ ජීවිතවලට මෙය සදාකාලික වේදනාත්මක කැළලකි. මෙලෙස දුකින් තැවෙන්නට සිදුව ඇති ඒ ජනතාවට ලද හැකි එකම සැනසිල්ලක් ඇත. ඒ මෙසේ මේ දේවස්ථාන තුළ දෙව් සමිඳුන් හමුවේ යාච්ඤා කරමින් සිටි ඔවුන් චිත්ත ප්‍රීතියෙන් යුතුව, කිසිදු වෛරයකින් හෝ ද්වේෂයකින් තොරව තම ජීවිතයෙන් ගැලවී යෑමය. මෙකී මරණයන්ගෙන් අප වෙත එන රුදුරු වේදනාව මැඬගත හැකි එකම අස්වැසිල්ල එයයි. එහෙත් මිය ගිය අයට නොදැනෙන වේදනාවක් ඔවුන්ගේ සමීපතමයන්ට ඇත. ඒ සමඟම අද සමස්ත රටත්, ජාතියත් මේ දරුණු වේදනාවේ ගොදුරක් බවට පත්ව ඇත.
මේ තත්ත්වයට වගකිව යුත්තේ ගෝලීය ත්‍රස්තවාදයේ පොදු සාධකය ලෙස අද පිළිගැනෙන ආගමික අන්තවාදයේ උන්මත්තක ස්වභාවයයි. අන්තවාදි ආගමික මතවාදයෙන් මොළ ශෝධනයට ලක් වූ මේ ත්‍රස්තවාදීන්ට තැනක් නොතැනක් නැත; තමන්ගේ දරුමල්ලන් ගුරුවරුන් කියා වෙනසක් නැත. පසුගියදා මෙරට සිදු වූ ප්‍රහාරවලට සම්බන්ධ වූවන්ගේ පවුල් පසුබිම සොයා යද්දී අපට පෙනෙන යථාර්ථය එයයි. ඔවුන්ගේ ඉලක්කය හෙට වෙන රටක් විය හැකිය; වෙනත් ජාතියක් හෝ ආගමක් විය හැකිය. ඒ ගැන සහතිකයක් දෙන්නට ලෝකයේ කාට වත් හැකියාවක් නැත.
ලෝකයේ ඉහළම සංචාරක ආකර්ෂණයකට නතු වූ රටක් වන ශ්‍රී ලංකාවට එල්ල වූ මේ ප්‍රහාරයෙන් ලොව බලවත් යැයි කියන සෑම ජාතියකම පාහේ පුද්ගලයෝ රැසක් විපතට පත් වූහ. එබැවින් පාස්කු ඉරිදාවේ සිදු වූ මේ පිපිරවීම් මාලාව ලෝකයටම එක්තරා පණිවිඩයක් නිකුත් කළ ප්‍රහාරයක් වන්නේය. විපතට පත් වන රටට අවශ්‍ය සෑම අංශයකම සහාය දැක්වීමේ 'ප්‍රතිත්‍රස්ත යන්ත්‍රණයක්' ලෝකයටම තිබිය යුතු බව මේ සිදුවීම ලෝකයට අවධාරණය කරයි. දශකයකට ආසන්න කාලයක් කලාපයේම සාමකාමි රටක් ලෙස පැවැති ශ්‍රී ලංකාවට යළි පෙර තිබුණු තත්ත්වයටත් වඩා ස්ථාවරත්වයක් සහ විශ්වාසයක් ගොඩනැඟීමට ජගත් ප්‍රජාව අත්වැල් බැඳගන්නට මෙය කදිම නිමිත්තකි.
එසේම ජාතියක් ලෙස ගත් කල ත්‍රස්තවාදයේ බිහිසුණු අත්දැකීම් සහිත රටක් ලෙස අප මෙය පිළිගත යුත්තේ තාවකාලික පසුබැසීමක් වශයෙන් පමණකි. ඕනෑම රටකට විවිධ ස්වරූපයේ විපත්ති පැමිණීම ස්වාභාවිකය. එය වැළැක්වීම හෝ අවම කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වෙත වගකීම පැවරීම සහ චෝදනා එල්ල වීමද වැළැක්විය නොහැකිය.
එහෙත් මෙරට දේශපාලන සන්දර්භය සමඟ කිසිදු පෑහීමක් නැති ගෝලීය ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්ව සිටින ජාතියක් ලෙස අප පක්ෂ, පාට හෝ ආගම් භේදයෙන් තොරව ශ්‍රී ලාංකිකයන් ලෙස කටයුතු කළ යුතුය. මේ දරුණු විපත සහ එයින් මිය ගිය මිනිසුන් මතින් තම දේශපාලන අරමුණු ඉෂ්ට කරගැනීමේ අවස්ථාවාදි ස්වභාවය එක්තරා ආකාරයකට මේ ත්‍රස්තවාදයටත් වඩා බරපතළය. ඔවුන් සිදු කරන ඇතැම් මාධ්‍ය මෙහෙයුම්ද ඊට දෙවැනි නැත. කෙසේ වෙතත් වෙනත් රටවලට, වෙනත් ප්‍රජාවන්ට නැති උසස් මට්ටමේ ගුණාත්මක බවක් ශ්‍රී ලාංකිකයන් කෙරෙහි පවතින බවත්, ඔවුන් මේ බලලෝභි දේශපාලන කඳවුරුවලට වඩා ගව් ගණනක් ඉහළින් සිටින බවත් ඉකුත් සතිය පුරා මෙරට ජනතාව පෙන්නුම් කළෝය. ඒ මේ රුදුරු ත්‍රස්තවාදය හමුවේ ඉතා ඉවසිලිවන්තව, වගකීමෙන් සහ යුතුකම් දන්නා ජාතියක් ලෙස කටයුතු කිරීමෙනි. මේ ඉවසීම් සහගත ජනතා කැප වීම සාමකාමි රටක් පතන සියලු ශ්‍රී ලාංකිකයන් සතු ප්‍රබලතම ආයුධයයි. එබැවින් 'අපි වඩාත් වගකීම් සහගතව ඒ ආයුධය හසුරුවමු' යන්න මේ මහා ඛේදවාචකයේ සත් වැනි දිනය සමරද්දී අප කරන අධිෂ්ඨානයයි.