රජ්ජුරුවන්ගේ අන්තඃපුරය කඩා ඉංග්‍රීසීන් යළි ගොඩනැගූ මහනුවර මඟුල්මඩුව | සිළුමිණ

රජ්ජුරුවන්ගේ අන්තඃපුරය කඩා ඉංග්‍රීසීන් යළි ගොඩනැගූ මහනුවර මඟුල්මඩුව

කුසුම්සිරි කොඩිතුවක්කු
කල්පනි නිරුක්‍ෂිකා කරුණාතිලක
පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය මිහින්තලේ

විජය රජුගෙන් ආරම්භ වූ ශ්‍රී ලංකාවේ රාජවංශය, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් නිමාවට පත් වී 2019 මාර්තු 02 වන දින වසර 204 ක් සපිරේ. ඒ 1815 මාර්තු දෙ වැනි දින අස්සන් කෙරුණු උඩරට සිංහල - ඉංග්‍රීසි ගිවිසුමත් සමඟය. 1505 දී පෘතුගීසින් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගැනීමෙන් ඇරැඹුණු ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලනය ඉන් අනතුරුව ලන්දේසි හා ඉංග්‍රීසින් නතු කරගත්තද උඩරට ගිවිසුම අස්සන් කෙරෙන තෙක්ම අපගේ සිංහල රාජවංශය කිසි විටෙකත් ගිලිහී නොගිය බව නොරහසකි.

එහෙත් උඩරට ගිවිසුමත් සමඟ එතෙක් පැවැති සිංහල රාජවංශය නිමාවට පත් වී ලංකාවේ පාලන බලය බ්‍රිතාන්‍යයේ III වන ජෝර්ජ් රජු වෙත පැවරිණි. එම ගිවිසුමෙන් අපගේ රජු පවා කෙතරම් හෑල්ලූවට ලක් කර තිබේද යන වග බ්‍රිතාන්‍යයේ රජු තුන් වැනි ජෝර්ජ්- මහාරාජෝත්තමයාණන් වහන්සේ ලෙසින් ද අපගේ රජු ශ්‍රී වික්‍රම රාජසිංහ ර-ජුරුවෝ ලෙසින් හඳුන්වා තිබීමෙන් මනාව ප්‍රත්‍යක්‍ෂ වේ.

එම ගිවිසුමට බ්‍රිතාන්‍යයන් වෙනුවෙන් රොබට් බ‍්‍රව්න්රිග් ආණ්ඩුකාරවරයා අස්සන් තබා ඇති අතර සිංහලයන් නියෝජනය කරමින් ඇහැලේපොළ, මොල්ලිගොඩ (පළමු වැනි අදිකාරම් හා හත්කෝරලේ දිසාව), පිළිමතලව්වේ (දෙ වැනි අදිකාරම් හා සබරගමුවේ දිසාව), පිළිමතලව්වේ (සතර කෝරලේ දිසාව), මොනරවිල (ඌව දිසාව), රත්වත්තේ (මාතලේ දිසාව), දුල්ලෑවෙ (වලපනේ දිසාව), මිල්ලව (වෙල්ලස්සේ හා බින්තැන්නේ දිසාව), ගලගම (තමන්කඩුව දිසාව) සහ ගලගොඩ (නුවර කලාවියේ දිසාව) යන රදල පිරිස ඊට අස්සන් කර තිබේ. ලක් ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් තැබීම සිදු කරන ලද්දේ මහනුවර රජවාසල සමීපයෙහි පිහිටි එවකට සභාශාලාව ලෙස භාවිතයට ගැනුණු මඟුල් මඩුවේදීය. වර්තමානයේ මහනුවර ලෝක උරුම නගරයෙහි ඇති වැදගත් ස්මාරකයක් වන මඟුල් මඩුව ක්‍රි.ව.1783 දී රාජාධි රාජසිංහ රජු විසින් ඉදි කරවන ලද්දකැයි ජනප්‍රවාදයේ එයි. මෙය නිර්මාණය කරන ලදැයි සඳහන් වන්නේ දේවේන්ද්‍ර මුලාචාර්ය නම් ශිල්පියා විසිනි. ජනප්‍රවාදගත තොරතුරු අනුව මොහුගේ නිර්මාණාත්මක කුසලතාව සම්බන්ධයෙන් රජු බෙහෙවින් පැහැ දී සිටි බැවින් මෙය නොරිස්සු අයකු රජුට මොහු පිළිබඳ කේලාම් බස් කීවේලූ. එයින් උරන වු රජු එම ශිල්පියාගේ අතක ඇඟිල්ලක් කප්පවා දැමු බවත්, ඉන් බලවත් සේ සිත් තැවුලට පත් ඔහු වැවට පැන සිය දිවි නසාගත් බවත් කියැවේ.

එසේ වුවද, ඓතිහාසික මූලාශ්‍ර අනුව රාජාධි රාජසිංහ රජ සමයට පෙරද එම ගොඩනැගිල්ල පැවැති බවට තොරතුරු ලැබේ. විශේෂයෙන්ම 1736 දී මහනුවර පැමිණි ජර්මන් ජාතික ජහාන් වුල්ෆ්ගැන්ග් හේයිඩ්ට් නම් ලේඛකයා මහනුවර ගැන කරන විස්තරයේ දී මඟුල් මඩුව පිළිබඳ සඳහන් කර ඇති අතර එය නගර සැලැස්මෙහිද පෙන්වා දී තිබේ. ඒ අනුව රාජාධි රාජසිංහ රජු විසින් සිදු කර ඇත්තේ ඒ වන විට පැවැති ගොඩනැගිල්ලක් නවීකරණය කිරීම හෝ වැඩිදියුණු කිරීම විය හැකි ය. කෙසේ වෙතත් 1796 දී ඉංගී‍්‍රසීන් මහනුවර නගරයට පැමිණෙන විටද එය වැඩ නිම නොවු තත්ත්වයක පැවැති බවට පී. ලූවිස් විසින් කරනු ලබන සඳහනින් රාජාධි රාජසිංහ රජුට ද මෙහි වැඩ කටයුතු නිම කිරීමට හැකියාවක් ලැබී නැති බව පෙනේ. වරෙක ගින්නකින් විනාශ වී ගිය එම ගොඩනැගිල්ල 1815 දී උඩරට ගිවිසුම අස්සන් කරන විටද අසම්පූර්ණව පැවැති බව සඳහන් වේ.

වර්තමානයේ දිස්වන ආකාරයට මඟුල් මඩුවේ වැඩ නිම වී ඇත්තේ 1875 දී බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරු (පසුව VII වන එඩ්වඩ් ලෙසින් රජ වු) මහනුවරට සැපත්වීම නිමිත්තෙනි. ඒ අනුව මෙහි තිබු ඇතැම් බිත්ති කඩා දමා දිග ප්‍රමාණයද වැඩි කොට තිබේ. අලුතෙන් ඉදි කරන ලද කොටසට යෙදීම සඳහා දැනට මහනුවර ජාතික කෞතුකාගාරය ලෙසින් භාවිතයට ගැනෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අන්ත:පුර කාන්තාවන් ලැගුම්ගත් පල්ලේවාසලින් ලී කණු ගලවා ගෙනවිත් ඇති බව ද පැරණි වාර්තාවන්හි සඳහන් වේ.

මුල්කාලීනව රජු හා ඇමැතිවරුන් එක් රැස් වු සභාශාලාව ලෙසින් ප්‍රයෝජනයට ගැනුණු මඟුල් මඩුව මහනුවරට පැමිණි විදේශීය තානාපතිවරුන් පිළිගැනීම සඳහා ද උඩරට රජවරුන් විසින් භාවිතයට ගෙන තිබේ. පසුව ශ්‍රේෂ්ඨාධිකරණය ලෙස ප්‍රයෝජනයට ගැනුණු නිසා එය ”මහ නඩුව” හා ”මහ වහල් සබේ” යන නම්වලින් ද හැඳින්විණි.

නිලමේවරුන් විසින් දෙන ලද තීරණයන්ට විරුද්ධව රජු වෙත අභියාචනා ඉදිරිපත් කිරීම සිදු වී ඇත්තේ ද මෙහිදීය. එම අභියාචනා විසඳන ලද්දේ, අදිකාරම්, දිසාවේ, ලේකම්, මුහන්දිරම් වැනි නිලමේ කෙනකු විසිනි. අදිකාරම් කෙනකු හෝ උසස් නිලමේ කෙනකු එහි මුලාසනය හෙබවීය. 1815 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් පසුව, බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් පසුව, බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධ වු ශ්‍රී ලාංකිකයන්ට එරෙහි නඩු බොහොමයක් විභාග කර ඇත්තේ ද එහිදි ය. විශේෂයෙන්ම කැප්පෙටිපොළ, මඩුගල්ලේ වැනි දේශපේ‍්‍රමීන් බ්‍රිතාන්‍ය රජයට ද්‍රෝහි වූවන් සේ සලකා මරණීය දණ්ඩනයට නියම කර ඇත්තේද මඟුල් මඩුවේදීය.

දැනට මහනුවර නාථ දේවාලයට යාබද පිහිටි සාන්ත පාවුළු දේවස්ථානය ඉදි කරන තෙක් බ්‍රිතාන්‍යයන් විසින් මඟුල් මඩුව දේවස්ථානයක් ලෙසද ප්‍රයෝජනයට ගෙන තිබීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. දළදා මාලිගය සමීපයෙහි එවැනි දේවස්ථානයක් පවත්වාගෙන යෑම බ්‍රිතාන්‍යයන්ගේ ක්‍රෑරකම් මනාව පෙන්නුම් කරන්නක් බව මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතාගේ අදහසයි.

මඟුල් මඩුවේ ඓතිහාසිකත්වය විමසා බැලීමේ දී 1875 වර්ෂයේ දී වේල්ස් කුමරු මහනුවරට පැමිණීම සිද්ධිය කිසිසේත්ම අමතක කළ නොහැක්කකි. ඉහත තැනක සඳහන් කළ පරිදි ඒ නිමිත්තෙන් මෙහි සිදු වු සංවර්ධන කටයුතු සේම එවකට බ්‍රිතාන්‍ය රජුගේ නියෝජිතයා ලෙස ශ්‍රී ලංකාවේ සිටි විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාට වේල්ස් කුමරු විසින් නයිට් නම්වු නාමය ප්‍රදානය කරන ලද්දේ ද මෙහි දී වීම, තවත් විශේෂ සිද්ධියකි. මේ පිළිබඳ විස්තර හා දැව අච්චු රූප සඳහා 1876 ජනවාරි 15 වෙනි දින ...... යන පුවත්පත්වල ද පළ කර තිබෙනු දැකිය හැකි ය.

අදටත් හඳුනාගත හැකි මඟුල් මඩුවේ මුල් සැලැස්ම අනුව එහි දිග මීටර් 19.75ක් වී ඇති අතර පළල මිටර් 11.65කි. 1875 දී එය තවත් මීටර් 10.33කින් දික් කොට තිබේ. ඒ අනුව වර්තමානයේ දක්නට ලැබෙනa ගොඩනැගිල්ල මීටර් 30ක් දිගය. එහි පැරැණි කොටසේ එක් පැත්තකට ලී කණු දෙපෙළක් බැගින් කණු 24කින් යුතුව දෙපැත්තටම කණු 48කින් සමන්විත වේ. පසුව එක් කළ කොටස එපරිද්දෙන්ම තවත් ලී කණු 1කින් සමන්විතය. ඒ අනුව දැනට එම ගොඩනැගිල්ලෙහි ලී කණු 64ක් දැකිය හැකිය.

මෙම ලි කණු හල්මිල්ල දැවයෙන් නිමවා ඇති බවත්, ඒවා රැගෙන විත් ඇත්තේ මාතලේ නාලන්ද ප්‍රදේශයෙන් බවත් පැවසේ. ඒ සෑම ලී කණුවක්ම ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම්වලට පමණක් දෙ වැනි වන ඉතා විසිතුරු මල් ලියකම් රටාවලින් අලංකෘතය. සෑම කණුවක් මුදුණේම විසිතුරු පේකඩ සතරකි. එහි කණු පමණක් නොව, පියස්සේ තලාද හා කුරුපා යනාදිය ද ඉතා සියුම් කැටයමින් අලංකාරවත් කර ඇති අයුරු විශිෂ්ටය. මෙහි පියස්ස උඩරට වාස්තු විද්‍යාව අනුව ඳුණු අටවහල ක්‍රමයට නිමවා ඇති අතර සෙවිලි කර ඇත්තේ පෙති උළුය.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා බැඳුණු වැදගත් ස්මාරකයක් වන මඟුල් මඩුව එක් අතෙකින් ඓතිහාසික මහනුවර නගරයට ආභරණයන් වන්නාසේම අපගේ අතීත වාස්තු විද්‍යාවේ හා කැටයම් කලාවේ ප්‍රෞඩත්වය ලොවටම කියාපාන ජාතික සංකේතයක්ද වෙයි.

Comments