මානසික පවිත්‍රත්වයේ අගය | සිළුමිණ

මානසික පවිත්‍රත්වයේ අගය

ඩිල්ෂාන් මනෝජ් රාජපක්ෂ - කථිකාචාර්ය බෞද්ධ දර්ශන අධ්‍යයන අංශය ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

ඉහත කී චිත්තෝපක්ලේශ මෙන් ම මිනිස් සිත අසහනයට හා නොසන්සුන්තාවට පත් කරන අස‍්‍රව යටතේ මනෝව්‍යාධීන් සතරක් වේ. ‘සිත තුළට වැගිරෙමින් පවතින්නේය’ යන අරුතින් ගැනෙන එම ආස‍්‍රව නම්,

1 කාමාසව

2 භවාසව

3 දිට්ඨාසව

4 අවිජ්ජාසව ආදියයි.

 

ඇත්ත ඇති සැටියෙන් දැකීම වළක්වන, සත්‍ය ආවරණය කරන, යථාර්ථයෙන් සිත ඉවත් කරන අරුත්හි ලා ගැනෙන පංච නීවරණ ධර්ම ද මනසෙහි පවිත්‍රත්වයට බාධා කරන ක්ලේශ ධර්ම වන බව බෞද්ධ අදහසයි. ඒවා නම්,

1 කාමච්ඡන්ද - කාමයන් පිළිබඳ ආශාව

2 ව්‍යාපාද - තණ්හාව

3 ථීනමිද්ධය - සිතේ සහ සිතුවිලිවල අලස භාවය

4 උද්ධච්ච කුක්කුච්ච - සිතේ නොසංසුන් හා තැවිලි ස්වභාවය

5 විචිකිච්ඡා - සිතේ තැන්පත් සැකමුසු ස්වභාවය

අකුසල මූල නිසා පුද්ගල මනස අපවිත්‍ර කරන තවත් වැදගත් සාධකයක් වන්නේ තණ්හාව ය. පෘථග්ජන ගිහියා තණ්හාවේ වහලෙකු බවට පත් වී ඇත. (ඌණෝ ලොකො ආතිට්ඨා තණ්හාය දාසො) තණ්හාව බඳු මානසික අපවිත්‍රකාරක හුදෙක් පුද්ගලාභ්‍යන්තරයට පමණක් නොව සමාජ පැවැත්මට ද හානිදායක වන බව බෞද්ධ අදහසයි. තණ්හාවේ ප්‍රභේද තුනකි.

1 කාම තණ්හා

2 භව තණ්හා

3 විභව තණ්හා

‘සිතේ පවිත්‍රතාවට එරෙහිව කරන ලද බැම්ම’ යන අර්ථයෙන් ගැනෙන ‘සංයෝජන’ යන යෙදුම ව්‍යවහාර වේ. පුද්ගල මනස රෝගී කරවන සිරමැදිරි දහයක් පෙළෙහි හඳුන්වා දී ඇති අතර ඒවා දස සංයෝජන ලෙස දැක්වේ. ඒවා නම්,

 

1 සක්කාය දිට්ඨි -

ආත්මයක් ඇත යන හැඟීම

2 විචිකිච්ඡා - සැකය

3 සීලබ්බතපරාමාස -

විවිධ ආගමික වතාවත්වල ඇලීගැලී සිටීම.

4 කාමච්ඡන්ද -

පස්කම් සැපයෙහි නැඹුරු වීම.

5 ව්‍යාපාද - කෝපය

6 රූප රාගය -

රූපාවචර ලෝකවල ඉපදීමේ ආශාව

7 අරූපරාග -

අරූපාවචර ලෝකවල ඉපදීමේ ආශාව

8 මාන - මානය

9 උද්ධච්ච - උඩඟු බව

10 අවිජ්ජා - අවිද්‍යාව

මනසෙහි පවිත්‍රතාව බිඳ දමන අභ්‍යන්තර කැලඹීම් ‘ ඕඝ’ ලෙස හඳුන්වා දෙන බුදුසමය එබඳු ඕඝ සතරක් ගෙනහැර දක්වා ඇත. ඒවා නම්,

 

1 කාම ඕඝ

2 භව ඕඝ

3 දිට්ඨි ඕඝ

4 අවිජ්ජා ඕඝ යනුවෙනි.

 

චිත්තාභ්‍යන්තරයේ සැඟ වී පවත්නා නිදාගත් මානසික කෙලෙස් යන අරුත්හි යෙදෙන ‘අනුසය’ ‘රාගානුසය’, ‘පටිගානුසය’, ‘දිට්ඨානුසය’, ‘විචිකිච්චානුසය’, ‘මානානුසය’, ‘භවරාගානුසය’, ‘අවිජ්ජානුසය’ යනුවෙන් සප්ත වදෑරුම්ව දක්වා තිබේ. මනසේ පවිත්‍රතාව අහුරාලමින් දැඩිව ග්‍රහණය කළ අරුත්හි යෙදෙන ‘උපාදාන’ පිළිබඳ ගැඹුරු විවරණයක් සූත්‍ර දේශනාවල දැකගත හැකි ය. (කාමුපාදාන, දිට්ඨපාදාන, සලබ්බතුපාදාන, අත්තවාදුපාදාන) සසරගාමී වීම සඳහා හේතු වන අර්ථ ඇති ‘යෝග’(කාමයෝග, භව යෝග, දිට්ඨි යෝග, අවිජ්ජායෝග) බැඳීම් අර්ථයෙහි යෙදෙන ‘ග්‍රන්ථ’ (අභිජ්ඣාකාය ග්‍රන්ථ, ව්‍යාපාද ග්‍රන්ථ, සීලබ්බත පරාමාස ග්‍රන්ථ, ඉදංසච්චාභිනි වෙසකාය ග්‍රන්ථ) ‘බන්ධන’, ‘පාස’, ‘සංග’, ‘පපඤ්ච’, ‘උපධි’, ‘මච්ඡුරිය’, ‘විපල්ලාස’, ‘අගති’, ‘පරාමාස’, ‘මලයනුවෙන් හැඳින්වෙන කිලිටි ලක්ෂණවලින් සිත පිරිසුදු කරගැනීම, නිදහස් කරගැනීමෙන් එය උත්තරීතර බවටත්, නිර්මල බවටත් (චිත්තෙ පාරිසුද්ධෙ පරියොදාතෙ)පත් වේ.

බුදුරදුන් පුද්ගලයාගේ චිත්ත පාරිශූද්ධිය සඳහා අනුගමනය කළ ප්‍රතිකාර ක්‍රම දෙකක් පෙළ දහමේ සඳහන් වෙයි. එනම්,

 

1 ආර්ය වමනය

2 ආර්ය විරේචනය ආදියයි.

වෙදෙක් වා. පිත්, සෙම් ආදියෙන් හටගත් රෝග සමනය කිරීමට වමනය ද විරේචන භාවිත කරන්නේ යම් සේ ද තමන් වහන්සේ ද ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස ස්වභාව කොට ඇති සත්ත්වයා මුදාගැනීම සඳහා ආර්ය වමනය හා ආර්ය විරේචන ලබා දෙන බව අංගුත්තර නිකායේ සඳහන් වේ. මිථ්‍යා දෘෂ්ටි, මිථ්‍යා සංකල්ප ආදිය විරේචනය කොට සියලු කෙලෙස් වමනය කරවීම සඳහා බුදුරදුන් සොයාගන්නා ලද පිළියම් රැසක් මේ සඳහා ඇති සමස්ත සූත්‍රදේශනාවල හරය මිලින්ද ප්‍රශ්නයේ දී සඳහන් වේ.

එම පිළියම් නම් සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රධාන, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංචබල, සප්ත බොජ්ඣංග, හා ආර්ය අෂ්ටාංගික මාර්ගය යන සත්තිස් බෝධි පාක්ෂික ධර්මයි. චිත්ත පාරිශුද්ධිය ලබනු වස් ඉහත කී විවිධ බෝධි පාක්ෂික ධර්ම කමටහන් කොට ගෙන භාවනාවේ නියැළුණු භික්ෂූන් පිළිබඳ තොරතුරු මජ්ක්‍ධිම නිකායේ ආනාපානාසති සූත්‍රයේ සඳහන් වේ. මෙම ඉගැන්වීම් කෙලෙස් ප්‍රහාණය කොට විශුද්ධිය ලබාගැනීමෙහි ලා දක්වන විශිෂ්ට දායකත්වය සංයුත්ත නිකායේ (නීවරණ, කිලෙස, මග්ග, ආසව, ආසවක්ඛය, සංයෝජන, අනුසය, අවිජ්ජාපහාන, සංයෝජන පහාන, ආසව පහාන, ආසව සමුග්ඝාත, අනුසයප්පහාන, අනුසයසමුග්ඝාත, සබ්බුපාදාන පරිඤ්ඤා, සුද්ධි පරිසුද්ධ, තණ්හා, යෝග, ග්‍රන්ථ ආදී) සූත්‍ර ගණනාවකින් පෙන්වා දී තිබේ. නමුත් සියලූ දුක් නැති කොට (සබ්බ දුක්ඛ නිස්සරණ) නිවන් ලබා ගැනීමේ පරමාභිලාෂය සංයුත්ත නිකායේ පමණක් නොව සෑම සූත්‍රදේශනාවකම පාහේ දක්නට ලැබෙන බව කිව යුතුය. නිදසුන් ලෙස දර්ශනයන්ගේ විශුද්ධිය පිණිස මාරයා මුළා කරන අන් මඟක් නැති බවත් අරි අටැඟි මඟම පිළිපැදිය යුතු බව දක්වන ධම්මපදයේ ගාථාව දැක්විය හැකිය.

‘‘එසෝ ච මග්ගො නත්ථි මඤ්ඤො දස්සනස්ස විසුද්ධියා
එතං හි තුම්හෙ පටිපජ්ජජථ මාරස්සෙතං පමොහන’’

සියලු සංස්කාර ධර්ම අනිත්‍යය (සබ්බේ සංඛාරා අනිච්චාති), දුක්ඛය (සබ්බෙ සංඛාරා දුක්ඛාති) හා සියලූ ධර්ම අනාත්මය (සබ්බෙ ධම්මා අනත්තානි) යනුවෙන් නුවණින් දැක (යදා පඤ්ඤාය පස්සති) මේ දුකෙහි කලකිරෙන්නේ ද (අථ නිබ්බින්දති දුක්ඛෙ) එය විශුද්ධිය පිණිස හේතු වන බව (එස මග්ගො විසුද්ධියා) බෞද්ධ විශ්වාසයයි. චිත්ත පාරිශුද්ධිය ජනිත කරගැනීම සඳහා බෞද්ධයා අනුගමනය කළ යුතු අධිශීල, අධිචිත්ත, අධිපඤ්ඤා සංඛ්‍යාත අනුපූර්ව ශික්ෂා අර්ථ ක්‍රියාකාරිත්වයෙන් අනුපදා පරිනිබ්බානය පෙන්වන සප්ත විශුද්ධියක් මජ්ඣිමනිකායේ රථවිනීත සූත්‍රයේ පෙන්වා දෙයි. එනම්,

 

1 ශීල විශුද්ධිය

2 චිත්ත විශුද්ධිය

3 දෘෂ්ටි විශුද්ධිය

4 කංඛාවිතරණ විශුද්ධිය

5 මග්ගාමග්ග ඤාණ දස්සන විශුද්ධිය

6 පටිපදා ඤාණ දස්සන විශුද්ධිය

7 ඤාණ දස්සන විශුද්ධිය ආදියයි.

 

කායික, වාචසික පරිශුද්ධියෙන් ඇරැඹී අධ්‍යාත්මික විමුක්තිය යටතේ ගැනෙන සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අරහත් යනාදි මාර්ගඵලවලින් අවසන් වන්නේ මානසික පවිත්‍රතාව දක්වා අනුගමනය කළ යුතු අනුක්‍රමික ක්‍රියා සන්තතියක් උපයෝගී කර ගැනීමෙන් බව එයින් පැහැදිලි වේ. පුද්ගල මනස අපවිත්‍ර කරන විඝාත පරිලාහයක් හෙවත් විනාශක පරිදහනයක් ලෙස හැඳින්වෙන ආස‍්‍රව දුරු කළ හැකි ක්‍රම හතක් සබ්බාසව සූත්‍රයේ දී පෙන්වා දී තිබේ. එනම්,

 

1 දර්ශනයෙන් (දස්සනා)

2 සංවරයෙන් (සංවරා)

3 ප්‍රතිසේවනයෙන් (පටිසේවනා)

4 ඉවසීමෙන් (අධිවාසනා)

5 පරිවර්ජනයෙන් (පරිවජ්ජනා)

6 මුදාහැරීමෙන් (විනෝදනා)

7 භාවනාවෙන් (භාවනා)

මෙම අපිරිසුදු ක්ලේශ ධර්මයන් නිසා මතුවන කායික - මානසික ගැටලු (නොහොත් රෝග) 44ක් සල්ලේඛ සුත්‍රයේ සඳහන් වන්නේ ඒ ඒ ධර්මයන්ට ප්‍රතිපක්ෂ ගුණයන් මඟින් සිත පිරිසුදු කරගැනීමට උපදෙස් දෙමිනි. එබැවින් පුද්ගල මනසෙහි පවිත්‍රත්වය අවධාරණය කරන බුදුසමය මඩෙහි ගැලුණු ඇතු මෙන් කෙලෙස් දුදුලෙන් ගොඩ නැඟීමට උපදෙස් දෙන්නේ පවිත්‍රත්වය විෂයෙහි සිත ආරක්ෂා කළ යුතු බව දක්වමිනි.

‘‘අප්පමාදරතා හොථ සචිත්තමනු රක්ඛථ
දුග්ගා උද්ධරථතත්ථා නං පංකෙ සන්නෝව’’

බොහෝ පින් ඇති පුද්ගලයකු වුව ද මරණාසන්න කාලයේ කෙලෙසුන්ගෙන් දූෂිත වූ සිතින් විසුවහොත් ඔහු නරකයෙහි උපදනා බව (චේතෝපදෙස හේතු පන භික්ඛවේ ඒවමිධෙකච්චෙ සත්තා කායස්ස භේදා ජරාමරණා අපායං දුග්ගතිං විනීපාතං නිරයං උපපජ්ජන්ති) අංගුත්තරනිකායේ දැක්වේ. නමුත් කෙලෙස්වලින් ආරක්ෂා කරගත් පුද්ගල මනස නිසා කායික - මානසික පමණක් නොව සමාජය දක්වා පැතිරුණු ආනිසංස රැසක් අත්විඳීමට සමත් වන බව මෙත්තානිසංස ආදී සූත්‍ර දේශනාවලින් පෙනෙයි.

යමෙක් සිය සිත කිලිටි නොකර මනා කොට රැකගන්නේ ද එයින් ලැබෙන යහපත තම මවු-පිය ඥාතින්ගෙන් ලබන යහපතට වඩා උතුම් ය. ඒ බව,

‘‘නතං මාතා පිතා කයිරා - අඤ්ඤේ වාපීච ඤාතකා
සම්මා පණිහිතං චිත්තං - සෙය්‍යයො නං තතො කරේ’’ යනුවෙන් දක්වා ඇත.

මුව විට දක්වා තෙල් පිරවූ පාත්‍රයක් තෙල් නොඉසිරෙන ලෙස සිහියෙන් රැගෙන යන ආකාරයට කිසි කලෙකත් නොගිය නිවසට යෑමට කැමති තැනැත්තා සිය සිත කිලිටි නොවන ලෙස සිහියෙන් ආරක්ෂා කර ගත යුතුය. ඒ බව, ‘‘සමතිත්තික අනවසෙසකං ජාතකහලතෙලපත්තංයථා පරිහරෙය්‍ය ඒවං සචිත්ත මනුරෙක්ඛෙ පත්ථයාතො දිසං අහත පුබ්බං’’ යනුවෙන් දක්වා ඇත.

ප්‍රසන්නවත් පැවැත්ම සඳහා කායික පාරිශුද්ධිය අවධාරණය කරන බුදුසමය නිර්වාණගාමී ප්‍රතිපදාව විෂයෙහි සංසාරගත දුක ප්‍රහාණය කිරීමට කෙලෙස්වලින් සිත මුදාගත යුතු බව පෙන්වා දෙයි.

මේ යටතේ අපවිත්‍ර කාරකවලින් සිත පිරිසුදු කර ගැනීම විශුද්ධිය යන පදයෙන් ද අපවිත්‍ර කාරකවලින් සිත නිදහස් කරගැනීම විමුක්ති යන පදයෙන් ද විග්‍රහ කර තිබෙන අයුරු දැකිය හැකිය.පරම නිෂ්ටාව අභිප්‍රාය කොටගත් පුද්ගලයා පවිත්‍රත්වය අතරින් ද මනසට විශේෂ තැනක් ලබා දිය යුතුය.

එබැවින් පවිත්‍රත්වය විෂයෙහි බෞද්ධ සංකල්පයෙන් බුදුසමය මිනිස් මනස පිළිබඳ අතිශය ගැඹුරු විග්‍රහයක් සිදු කර ඇති බව මෙයින් පැහැදිලි වේ.

Comments