දේශීය වෙදකමේ ගුණයට පරිසරය හරස් වීද? | සිළුමිණ

දේශීය වෙදකමේ ගුණයට පරිසරය හරස් වීද?

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

දේශීය වෙදකම සම්පූර්ණයෙන්ම ගොඩනැඟී තිබෙන්නේ පරිසරය පදනම් කරගනිමිනි. සොබා දහමෙන් දායාද වූ ගස්වැල්, ගෙඩි, පොතු යනාදි ද්‍රව්‍ය සහ සොබා දහමේ ශක්තීන් ඖෂධ සඳහා යොදා ගැනීම දේශීය වෛද්‍ය ක්‍රමයේ සුවිශේෂි අනන්‍යතාව යි. මිනිසා ද සොබා දහමේ කොටසක් ලෙස දැක්විය හැකිය.

එනම් මිනිසා නිර්මාණය වී තිබෙන්නේ සොබා දහමේ පදාර්ථවලිනි. මිනිසා ස්වභාව ධර්මයට අනුව ජීවත් වීම දේශීය වෙදකමේ සාකච්ඡාවට භාජනය වන වැදගත් කරුණක් වන්නේ එම නිසාය.

මිනිසාගේ සෞඛ්‍යය රඳා පවතින්නේ පරිසරය මතය. පරිසර දූෂණය මිනිසාගේ ශරීර සෞඛ්‍යයට සෘජු වශයෙන් සහ වක්‍ර වශයෙන් බලපායි. රසායනික ද්‍රව්‍ය ජලයට මුදා හැරීමෙන් ඇති වන වකුගඩු රෝග, වායූ දූෂණය වීමෙන් ඇති වන ශ්වසන රෝග, උණුසුම් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වන චර්ම රෝග, පරිසරය පිරිසුදුව තබා නොගැනීමෙන් ඇති වන ඩෙංගු රෝගය සෘජු වශයෙන් ඇති වන ‍රෝග කීපයක් පමණි. පරිසරය විපරීත් වීම නිසා කෘෂිකර්මාන්තය විනාශ වී දුර්භීක්ෂ හටගනී.

එම සාගත තත්ත්වය නිසා මන්දපෝෂණය ඇති වේ. මන්දපෝෂණය නිසා ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව නැති වී විවිධ රෝගවලට ගොදුරු වේ. එමෙන්ම කාලගුණික විපර්යාසයන් නිසා නොනැවතී ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් ඇතිවන ස්වාභාවික විපත් බලපෑමෙන් පාචනය වැනි ලෙඩ රෝග ව්‍යාප්ත වේ. මේ ආකාරයට ඇති වන ලෙඩරෝග, පරිසරය වක්‍රාකාරව බලපෑමෙන් ඇති වන සෞඛ්‍ය ගැටලු ලෙස දැක්විය හැකිය.

මීට අමතරව වර්තමානයේ බොහෝ දෙනකු ගෙවතු වගාවෙන් සහ සිය කුඹුරුවල වගා කිරීමෙන් බැහැර වී ඇති බැවින් රටට අවශ්‍ය කෘෂි අස්වැන්න සඳහා දෙමුහුන් බීජ වගා කරනු ලැබේ. කෘෂි රසායනික පොහොර ඇතුළු කෘමි නාශක , වල් නාශක භාවිත කෙරේ. සොබා දහමට එරෙහිව සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් නිසා ඇති වන ලෙඩ රෝග බිහිසුණුය. දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා වැනි විවිධ රෝග වැලඳීමට කෘෂි රසායනික භාවිතය හේතු වන බව අද තහවුරු වී තිබේ.

“ඉස්සර මිනිස්සු මේ කිසිම දෙයක් නොදැන පරිසරයට දේවත්වයෙන් සැලකුවා. ස්වාභාවික පරිසරයට ආදරය කළා. ආරක්ෂා කළා. ඒ නිසා පරිසරය විනාශ වුණේ නැහැ. අද කාලේ වගේ මිනිසුන් ලෙඩ ‍වුණේ නැහැ. වාරි කර්මාන්තයට වන්දනාමාන කළා. ඒ නිසා පරිසරය සූරාගෙන ගියේ නැහැ. පරිසරයට වර්ධනය වෙන්න ඉඩ දුන්නා. සිරිපාදේ යන ගමන වාරයට විතරයි යන්නේ. අවාරයට යන්නේ නැහැ. එයින් සිද්ධ වුණේ අවාරයේ පරිසරයට වැඩෙන්න ඉඩ ප්‍රස්ථාව ලබා දීම.

අපි පරිසරය ක්‍රමානුකූලව පරිහරණය කළ යුතුයි. පරිසරයට ආදරය කළ යුතුයි. අද ජීවත් වෙන අය හිතන්නේ තමුන්ගේ ගෙවත්ත ගැන විතරයි. තමුන්ගේ වත්ත පිටිය පිරිසුදු කරනවා. ආරක්ෂා කරනවා. හැබැයි පිට තැන් විනාශ කරනවා. ඒ විදිහට හිතන තාක් කල් අපිට පරිසරය ආරක්ෂා කරන්න බැහැ.” යනුවෙන් විස්තර කළේ දේශීය වෛද්‍ය ඩැනිස්ටර් එල්.පෙරේරා ය.

දූෂිත පරිසරය මිනිසාගේ ශරීර සෞඛ්‍යයට සෘජු සහ වක්‍රාකාරව බලපෑමෙන් ලෝකයේ ජනතාව රෝගී වීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානය යොමු කර ඇත. ජගත් පාරිසරික සමුළුව විසින් කාබන් පිය සටහන් අඩු කිරීමේ වැදගත්කම ලොවට පැහැදිලි කරනු ලබන්නේ එම නිසාය.

කාබන් පිය සටහන් යනු, මිනිසා එදිනෙදා පරිභෝජනය කරන මෙවලම් සහ උපකරණ සමස්ත ජනගහනයෙන් බෙදීමෙන් ලැබෙන අගයට ය. කාබන් පිය සටහන් අවම කිරීම යනු තාක්ෂණික උපාංග හා මෙවලම් පරිභෝජනය අඩු කර ස්වාභාවික පරිසරයට සමීප වීමයි. අතීතයේ අපට උරුම වූයේ කාබන් පිය සටහන් අඩු ජීවන රටාවකි. එය අපේ මුතුන් මිත්තන්ගේ නිරෝගි දිවියට ඉවහල් විය.

පරිසරය විනාශ වීමෙන් මිනිසා රෝගී වන බව තේරුම්ගත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනෙස්කෝව “හරිත සෞඛ්‍යය” (Green Health) සංකල්පය හඳුන්වා දී ඇත. එහෙත් දේශී වෙදකම බිහි වුණේ “හරිත සෞඛ්‍යය” අපට අලුත් සංකල්පයක් නොවේ. පරිසර හිතකාමී වෛද්‍ය ක්‍රමයක් ඇතුළත් වන දේශීය වෙදකමට පරිසර දූෂණය ප්‍රබල ලෙස බලපානු ඇත. දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලබා ගන්නා ගස්වල මුල්, කොළ, පොතු, පැළෑටි, ගෙඩි වැනි කොටස්වල ද බැරලෝහ වැනි රසායනික ද්‍රව්‍ය තැන්පත් වී තිබිය හැකිය. එවිට දේශීය වෛද්‍ය ක්‍රමයට ආවේණික ඖෂධවල නිසි ගුණ නොලැබී යා හැකිය.

අද බොහෝ දෙනෙක් දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්නේ සෙසු ප්‍රතිකාරවලින් විවිධ සංකුලතා ඇති වන බැවිනි. එහෙත් ගස්වල මුල්, කොළ, පැළෑටි, පොතු දූෂණය වී තිබීමෙන් ඉන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යනු ඇත.

පරිසරයට ආදරය කිරීම සහ පරිසරය ආරක්ෂා කිරීම සමාජයේ වගකීමක් බව අවබෝධ කර ගත යුත්තේ එබැවිනි. පරිසරය දූෂණය කරමින් නිරෝගි පරම්පරාවක් බිහි කළ නොහැකිය.

සාකච්ඡා කර සටහන් කිරීම
හර්ෂා සුගතදාස

Comments