මේ හොඳම වෙලාවයි | සිළුමිණ

මේ හොඳම වෙලාවයි

ලෝකයේ බලකඳවුරු කේන්ද්‍රගත කරගන්නා ප්‍රධාන සාධකය වන්නේ ආර්ථිකයයි. එදා යුරෝපීයයන් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර තම ආධිපත්‍යය සැහැසි ආකාරයෙන් ව්‍යාප්ත කරන්නේත් අද යුරෝපය, ඇමෙරිකාව, චීනය, ඉන්දියාව වැනි රටවල් නූතන සමාජයට ගැළපෙන මුහුණුවරින් තම දේශපාලන බල ආධිපත්‍යය පතුරවා හරින්නේත් මේ ආර්ථික සාධකය මුල් කොටගෙනය.

ලෝකය යන හැටියට සහ එක් එක් අවශ්‍යතා මතු වන හැටියට මේ නියාමය වෙනස් කිරීම අසීරුය. මේ ආර්ථිකය මුල් කරගත් ගෝලීය දේශපාලනයේ මූල ආකෘතියේ ලක්ෂණ එක් එක් රටවල භූ-දේශපාලනය තුළද ඒ අයුරින්ම දැකිය හැකි වන්නේය. ‘ඇමෙරිකානු ජනතාව ඇමෙරිකානුවන්ට මුල් තැන දෙනවා’ යැයි කී ඩොනල්ඩ් ට්‍රම්ප් පත් කරගන්නේත්, රුසියාව ගැන දැඩි හැඟීමකින් කටයුතු කළ ව්ලැදිමීර් පුටින් එරට ජනතාව යළි-යළිත් ජනපති පදවියට ගෙන එන්නේත්, ආර්ථිකය ගැන දැක්මක් ඇති බවට බහුතර ඉන්දීය ජාතිකයන් පිළිගන්නා නරේන්ද්‍ර මෝදි එරට අගමැති වන්නේත් ඒ නිසාය. අද ඉතාලියේ ජනතාවගේ ආර්ථිකය ගැන වැඩි-වැඩියෙන් කතා කරන එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මැටියේ සැල්විනි කෙරෙහි ඉතාලි ජනතාවගේ පවතින ආකර්ෂණයටද හේතුව එයයි. ඒ අනුව බලන කල රටේ ජනතාවගේ ආර්ථිකය බොහෝ විට ඒ රටේ දේශපාලන බලයේ තීරණාත්මක හැරවුමකට යොමු කරවන සාධකයක්ය යන්න අදටත් ලෝකය හමුවේ පවතින යථාර්ථයකි.

අපේ රටේත් මේ වන විට සිදු කෙරෙන දේශපාලන සංවාද-මතවාද අතරද නිසැකවම ප්‍රමුඛ කරුණ වී ඇත්තේ ආර්ථිකයයි. විශේෂයෙන් මේ දිනවල ඇමෙරිකානු ඩොලරය හමුවේ රුපියලේ අගය අවප්‍රමාණය වීම මත රටේ ආර්ථිකය ගැන පුළුල් සංවාදයක් නිර්මාණය වී තිබේ. එය රටේ අවසානය බවට ඉඟි පළ කිරීමට පවතින රජයට විරුද්ධ දේශපාලනික මත දරන්නන් අසාර්ථක උත්සාහයක යෙදුණද, ආර්ථික විද්වතුන් මේ වන විටත් ප්‍රකාශ කර ඇත්තේ අප සැලසුම්සහගත ලෙස නිසි දැක්මකින් කටයුතු කළ හොත් ආර්ථිකය සුබදායක ලෙස හසුරුවාගත හැකි බවය. පවතින ආර්ථිකය පිළිබඳ තම අදහස් ප්‍රකාශ කළ ප්‍රාමාණික විද්වතකු වන්නේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය දුෂ්නි වීරකෝන්ය. ඇය පසුගියදා ප්‍රකාශ කොට තිබුණේ අපනයනය සහ ආයෝජන ඉලක්ක කරගත් දැක්මක පිහිටා කටයුතු කිරීමෙහි ඇති වැදගත්කමය. එහිදී ඇය අවධාරණය කර තිබුණේ නිසි ප්‍රතිපත්තියක් මත පිහිටා, රටක් ලෙස අපේ අපනයන සහ ආයෝජන වපසරිය පුළුල් කිරීමේ අනවරත වූ දැක්මකින් කටයුතු කිරීමේ වැදගත්කමය. විශේෂයෙන් 2019ත් 2021ත් අතර වසර දෙක තුළ අපට රටක් ලෙස දැවැන්ත විදේශ ණය කන්දක් ගෙවා දැමීමට සිදුවීමත්, ඒ අතරේ ලෝකයේ රටවල් අතර පවතින විවිධ වෙළෙඳ ඝට්ටන, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑම, ඇමෙරිකාව අනුගමනය කරන මූල්‍ය ප්‍රතිපත්ති වැනි අපට පාලය කළ නොහැකි බාහිර සාධකද මේ වන විට මෝදු වෙමින් පැවතීමත් හේතුවෙන් මේ තත්ත්වය පෙරටත් වඩා අපට අභියෝගාත්මක වී තිබේ. එවැනි පසුබිමක විදේශ සංචිත නිදහස් කිරී‍මෙන් පමණක් ඩොලරය රැකගෙන ගැලරිය පිනවීමේ හැකියාවක් නැත. රජය මේ තත්ත්වය මැනවින් අවබෝධ කරගෙන සිටින අතර, හුදෙක් පිනවීමේ ප්‍රතිපත්තියෙන් ඉවත්ව ආර්ථික විද්‍යාත්මක මූලධර්මයන්ට අනුවම මේ අභියෝගයට මුහුණ දෙන්නට කටයුතු කිරීම දිගුකාලීනව රටේ ජනතාවට අස්වැසිල්ලක් වනු ඇත.

ඒ සමඟම ආචාර්ය දුෂ්නි වීරකොන් පමණක් නොව, බොහෝ ආර්ථික විද්‍යා විද්වතුන් අවධාරණය කරන පරිදි අපනයන සහ ආයෝජන මූලික කරගත් ක්‍රමෝපායයකට වේගයෙන් ප්‍රවිෂ්ට වීමේ අවශ්‍යතාවක් ඇත. එක් පැත්තකින් ඊට අදාළ මාවත් සකස් වෙමින් තිබේ. පසුගියදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අනාවරණය කළේ පසුගිය මාස 05ක කාලයක් තුළ රුපියල් කෝටි 530කට ආසන්න මුදලක් මේ රටේ ව්‍යවසායක පරපුර වෙත මුදා හැර ඇති බවයි. මේ මුදල් බෙදී ගියේ මහා පරිමාණ ව්‍යවසායකයන් කිහිප දෙනකු අතට නොව, රටේ එකොන-මෙකොන විසිරුණු සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතරෙහිය. මේ ණය වෙනුවෙන් රජය මහජන මුදලින් කොටි 52ක් පමණ පොලී සහන බරක්ද දරයි. මුදල් අමාත්‍යවරයා ශපථ කරන්නේ එළඹෙන නොවැම්බර් මුල් සතියේ ඉදිරිපත් කරන 2019 අයවැයෙන්ද ඔවුන්ට තවදුරටත් සහන දෙන්නට කටයුතු කරන බවයි. මේ ව්‍යවසායකයන් බහුතරයක් අප මෙහෙයවිය යුත්තේ රටේ වර්තමානයේ පවතින ආර්ථික අභියෝගයෙන් මිදෙන්නටය. එනම්: විශේෂයෙන් ඔවුන් වෙතින් අපනයනය ඉලක්ක කරගත් නව ව්‍යවසාය නව නිෂ්පාදන හෝ අගය වැඩි කිරීම් සිදු විය යුතුය.

අපනයනය හැරුණු කොට අපට ආර්ථික වශයෙන් ඊළඟට ඇති අවස්ථාව වන්නේ ආයෝජනයි; විශේෂයෙන් විදේශ ආයෝජනයි. එහිදී ශ්‍රී ලංකාවේ ආයෝජනයට උනන්දු වන රටවල් කවුරුද යන්න සැඟවිය හැකි රහසක් නොව්. ඒ තුළ ගෝලීය දේශපාලන බල අධිකාරියේ තමන්ගේ පංගුව පිළිබඳ මහත් විමසිල්ලෙන් පසු වන චීනය, ඉන්දියාව වැනි රටවල්ද පුමුඛ පෙළේ හිඳියි. මේ රටවල් දෙකම මේ වන විට ලෝකයේම ආයෝජකයන්ගේ අවධානය හිමි කරගත් වෙළෙඳපොළ අවස්ථා වැඩි වූ රටවල් දෙකකි. ඔවුන් හමුවේ දේශපාලනික දෙස්-දෙවොල් තැබීම පසෙක තබා, අප ඔවුන්ගෙන්ද අපේ අපනයන සහ ආයෝජන කෙරෙහි තවදුරටත් අවස්ථා විවර කරගැනීම පිළිබඳ සැම විටම කල්පනා කළ යුතුය. සෑම රටක්ම තම ආර්ථික අභිලාශ හමුවේ සූක්ෂ්ම ක්‍රමෝපාය අනුගමනය කරන්නාක් මෙන්, අපද රටක් ලෙස ඔවුන් සමඟ සූක්ෂ්මව ගනු-දෙනු කොට අපේ අරමුණු මුදුන්පත් කරගැනීම රටේ කාගේත් න්‍යායපත්‍රය විය යුතුය. ඒ සඳහා අප්‍රමාදි වීමට මේ හොඳම වෙලාවයි.

Comments