
ඉතිහාසයේ මෙරට ආණ්ඩු පෙරළි සිදු වූයේ සරල කාරණා ලෙස ලඝු කළ හැකි හේතු මතය. හාල් සේරුව, ඇට අට, සමෘද්ධිය, තුනයි පනහට පාන් වැනි ‘සිල්ලර’ සහ ‘කුසට දැනෙන’ කාරණ ඒ අතර විය. ඉතිහාසයේ ප්‍රථම වතාවට එයින් ඔබ්බට ගිය, නිදහස, සමානාත්මතාව, සංහිඳියාව වැනි ප්‍රජාතන්ත්‍රීය කාරණ මුල්තැන්හි තබාගෙන ආණ්ඩු පෙරළියක් සිදු වූවා නම් ඒ 2015 ජනවාරි 8 වැනිදාය. එය සහමුලින්ම ශිෂ්ට සමාජයක ජීවත් වීමෙහි ප්‍රාර්ථනාවෙන් ඔදවැඩුණු මිනිසුන්ගේ සක්‍රිය මැදිහත් වීමක ප්‍රතිඵලය විය. එදින මෙරටට හිමි වූයේ ‘යහ පාලනය’ කියන වචනය පමණක් නොවේ. එය ඉන් ඔබ්බට ගිය සමාජ පෙරළියක විසල් ලකුණක් විය. යහ පාලන සංකල්පය බටහිරින් ලද දෙයක් ලෙස සමහරුන් අර්ථ ගැන්නුවද එය මිථ්‍යාවකි. ඉතිහාසය දෙස බැලීමේදී ශ්‍රී ලංකාවේ යහ පාලන සංකල්පය මෙරට ක්‍රියාත්මකව පැවැති බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ.
2015 අගෝස්තු 17 වැනිදා පවත්වන ලද ශ්‍රී ලංකාවේ 8 වැනි පාර්ලිමේන්තු මහ මැතිවරණය ද ඉතා සාමකාමි මහ ඡන්දයක් බවට පත් කළේ යහ පාලනයයි. මැතිවරණයකට පෙරාතුවත්, පසුවත් පෙළපාළි අරගල, මිනීමැරුම් ආදි විවිධ සිද්ධි රැසක් ඇති වීම පෙර පැවති රටාවය. එහෙත් 2015 අගෝස්තු 17 වැනිදා පැවැත්වූ මහ මැතිවරණයේදී ඉතා සාමකාමි තත්ත්වයක් උදා වීම යහ පාලනයේදී සිදු වූ තවත් වැදගත් මෙන්ම පරමාදර්ශි ක්‍රියා පද්ධතියකි. එතැන් සිට පෙරට ආ කල කවුරුන් විවේචනය කළද, යහපාලනයෙන් මෙරටට ලැබුණු දෑ බොහෝය. පාර්ලිමේන්තුව වූකලි රටේ පරමාදර්ශි, කේන්ද්‍රීය තැන්නකි. විද්වත් පිරිසකගෙන් ඒකාබද්ධ වූ පාර්ලිමේන්තුව මේ රටේ හැම අංශයකම ප්‍රවර්ධනයක් ඇති කරන භූමිකාවකි. එහි ගෞරවය රැකගන්නට කටයුතු කිරීම යහ පාලනයේ මූලික අභිප්‍රායයි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තේමා කරගත්තේ ‘රටකට ඕනෑ මෛත්‍රී යුගයක්’ යන ආකර්ෂණීය පාඨයයි. සැබවින්ම එය ශ්‍රී ලාංකිකයන්ට ආමන්ත්‍රණය කිරීමට ගැළපෙන නිර්මාණයක් වූවා සේම එහි ප්‍රශස්ත බවක්ද තිබිණි. පුද්ගල සාධක මත චින්තන පාලනයක් තිබූ රටකට යහ පාලනය නවමු අත්දැකීමක් විය.
පුද්ගල වන්දනය, රාජ තේජස, විසල් පෞරුෂය වැනි බාහිර කාරණා කෙරෙහි ආසක්තව සිටි සමාජයකින් හැට දෙලක්ෂයක් තම කඳවුරට නතු කරගැනීමම අරුමයකි. සකල මැතිවරණය පුරා නීති උල්ලංඝනය කළත් මහින්ද පිලට ජය ගත හැකි නොවීය. ඒ යහ පාලනයේ ශක්තියයි. පිරිහුණු, පසුගාමි රටක් හැටියට අන්තර්ජාතික වශයෙන් ගොඩනැඟෙමින් තිබූ ප්‍රතිරූපය වෙනස් වීමේ ප්‍රතිඵලය වූයේ අන්තර්ජාතික සහයෝගය විශාල වශයෙන් ලැබීමය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් ලෝක මට්ටමෙන් තිබුණේ අඳුරු චිත්‍රයකි. තෙවසරකට පෙර දේශපාලන පෙරළිය සිදු වූයේ ඉතිහාසය පුරා පසමිතුරු දේශපාලනයක නියැළුණු පාර්ශ්ව දෙකක සම්මුතියෙනි. පොදු අපේක්ෂකයා එක් පක්ෂයකිනි. ඔහු නියෝජනය කළේ ආණ්ඩු පක්ෂයයි. ඔහු එහි මහලේකම් ධුරය හෙබවීය. ඔහු දිනවීම සඳහා තම නායකත්වය යටතේ මුළු ශක්තිය යොදවා පක්ෂය මෙහෙයවූයේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහය. ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා සමඟ පක්ෂයෙන් එළියට ආ කුඩා කණ්ඩායම බිහිසුණු ඒකාධිපතියකුට එරෙහිව ගත් තීන්දුව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ ඓතිහාසික කැප කිරීමකි.
ඒ දේශපාලන පෙරළිය සිදු නොවූයේ නම් මේ කුඩා කණ්ඩායමට අත් වන ඉරණම සිතාගැනීමට පවා අසීරුය! රටක ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ අපේක්ෂාව වන්නේ ‘මේ මගේ රටයැයි’ ලොවට ආඩම්බරයෙන් පැවසිය හැකි රටක් බිහි කිරීමය. ලෝකයේ අඳුරු කොන්වල හුදෙකලා වූ ගෝත්‍රික සහ ඒකාධිපති රටවල් සමඟ අපට පෙරට යා නොහැකි බව මහින්ද යුගය ඔප්පු කොට තිබේ. පවුල්වාදය, ඒකාධිපතිවාදය, අවිධිමත් පාලන රටාව, ප්‍රජාතන්ත්‍රවිරෝධි කටයුතු, අල්ලස, දූෂණය, ජාතිවාදය වැනි අව-කරුණු මතින් මහින්ද ආණ්ඩුව දිනෙන් දින පිරිහිණි. අවසන් ප්‍රතිඵලය ලෙස එය පරාජය විණි. යහ පාලන ආණ්ඩුව බිහි වන්නේ සමස්ත ජනයා වෙත දයාබර දෑතක් දිගු කරමිනි.
ආණ්ඩුව තම වගකීම දෙවුරට ගැනීමත්, ජනතාව දෙස විමසිල්ලෙන් සිටීමත් අත්‍යවශ්‍යය.