රටින් පනින ‘බුද්ධිය’ | සිළුමිණ

රටින් පනින ‘බුද්ධිය’

‘රට පැන්න සරසවි ඇදුරන්ගෙන් කෝටි අසූවක පොල්ලක්!’ යනුවෙන් පසුගිය සිකුරාදා අපගේ සහෝදර පුවත්පත වන ‘රැස’ ස්වකීය ප්‍රධාන සිරස්තලයෙන් හෙළිදරවු කොට තිබිණි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ස්වකීය පශ්චාද් උපාධිය හැදෑරීම සඳහා විදෙස්ගත වන්නේ තම විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුමක් අස්සන් කිරීමෙන් අනතුරුව ය. විදේශ අධ්‍යාපනය හදාරන කාලය තුළ ඔවුන් හට මෙරට රජය විසින් වැටුපක් ගෙවනු ලබන අතර, වාර්තා වන අන්දමට මේ වන විට මෙලෙස පශ්චාද් උපාධිය සඳහා විදෙස්ගත වී පෙරළා මෙරටට නොපැමිණි ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව 486කි. ඒ අනුව රජයට සිදු වන පාඩුව ආසන්න වශයෙන් රුපියල් මිලියන 813කි.

තුන් වැනි ලෝකයේ රටවල් හෙවත් සංවර්ධනය වෙමින් පවත්නා රටවල් වශයෙන් හඳුන්වනු ලබන රාජ්‍යවලට මුහුණ දීමට සිදු වන බරපතළ ඛේදවාචකයක් ලෙස මේ ‘බුද්ධිගලනය’ හඳුන්වා දිය හැකි ය. රටක බුද්ධිමතුන් තම මවුබිම හැර ගොස් වෙනත් රටකට සේවය කිරීම කාලයක සිට සිදු වන ක්‍රියාවලියකි. පෞද්ගලිකව ගත් විට එය ඔවුන්ට වාසිදායක වුව ද, එයින් පොදුවේ රටකට සිදු වන අවාසිය, අගතිය සහ අසාධාරණය මෙතෙකැයි කිව නොහැකි ය.

ශ්‍රී ලංකාවට ද ‘බුද්ධිගලනය’ යනු දශක කීපයක් තිස්සේ බලපාන ගැටලුවකි. හැත්තෑව දශකයේ පමණ සිට එකී බුද්ධිගලනය රටට තරමක් දැනෙන ආකාරයට සිදු වූ අතර, අද එය ජාතික ගැටලුවක් දක්වා දුර-දිග ගොස් තිබේ. එහෙත් එය ජාතික ගැටලුවක් ලෙස හඳුනාගෙන අවශ්‍ය පිළියම් යොදන්නට මෙතෙක් මෙරට පාලකයෝ අපොහොසත් වූහ.

රාජපක්ෂ ජනපති සමයේ මෙරට සරසවි ඇදුරන් විශාල සටනක් ගෙන ගියේ අධ්‍යාපනයට වෙන් කරනු ලබන ප්‍රතිපාදන 6%ක් කරන ලෙස ඉල්ලමිනි. එහෙත් අතිශය විසුළුසහගත ස්වරූපයෙන් ඒ ආණ්ඩුව විසින් එය නොතකා හරිනු ලැබිණි. යහපාලන ආණ්ඩුව පත් වූ විගස රට ගොඩනැඟීම වෙනුවෙන් සහාය වන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සියලු බුද්ධිමතුන්ගෙන් විවෘත ඉල්ලීමක් කළේ ය.

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව හැත්තෑව දශකය අවසන් වන තුරු ද අප රටේ විශ්වවිද්‍යාල රැඳී තිබුණේ ඉතා ඉහළිනි. මෙරට විශ්වවිද්‍යාල මඟින් අලුත් සාහිත්‍ය නිර්මාණ, අලුත් නාට්‍ය මෙන් ම අලුත් බීජ වර්ග, පැළෑටි වර්ග වැනි දේ ද බිහි විණි. අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විදේශ සරසවිවල ඉහළ පිළිගැනීමක්‌ ද හිමි විණි.

රටකට හිමි භෞතික සම්පත් ප්‍රමාණය, ඒ රාජ්‍යයට හිමි ප්‍රාග්ධන ශක්තිය, රටේ පවතින මානව සම්පත යන කරුණු තුන රටක සංවර්ධනය තීන්දු කරන මූලික සාධක ත්‍රිත්වයයි. මේ අතුරින් මානව සම්පත නූතන රාජ්‍ය පාලනයේදී වඩාත් වැදගත්ම සාධකය ලෙස සලකනු ලැබේ. භෞතික සම්පත් හා ප්‍රාග්ධන හැකියාව ඇතත් මානව සම්පතින් දුර්වල රටවල් වේගවත් සංවර්ධනයක් ළඟා කර ගන්නේ නැති බැවිනි. ශ්‍රී ලංකාව සෙසු බොහෝ අසංවර්ධිත රාජ්‍යයන්ගෙන් වෙන් වන හේතු රාශියක් වෙයි. අදාළ සෑම ක්ෂේත්‍රයකම පුහුණු ශ්‍රමිකයන් සිටීම ඉන් ප්‍රමුඛ ය. වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු ශිල්පය, තාක්ෂණවේදය, පරිගණක තාක්ෂණය, ගණකාධිකරණය යනාදි ඕනෑම ක්ෂේත්‍රයකදී ලෝකයේ ඕනෑම රටක වෘත්තීයවේදියකු සමඟ කරට-කර තැබිය හැකි දක්ෂයෝ පිරිසක් අපට සිටිති.

කෙසේ වෙතත් උසස් අධ්‍යාපනය හෝ වෙනත් අවශ්‍යතාවකට වි‍දෙස්ගත වන අපගේ වෘත්තීයවේදීන් ඇතැමකු මෙරට තුළදී උගත්කමට සලකනු නොලැබීම, නිදහසේ සේවය කිරීමට පරිසරයක් නැතිකම, ආර්ථික ප්‍රශ්න, දේශපාලන බලපෑම් යනාදි හේතු එකක් හෝ කිහිපයක් හෝ මුල් කොටගෙන පෙරළා සිය රටට පැමිණෙන්නේ නැත.

ශ්‍රී ලංකාව නිදහස් අධ්‍යාපනය ලබා දී දක්ෂ දරුවන් පෙරට ගන්නා රටකි. දරුවකු මූලික වසර 13 පාසල් යන තුරු රජය දරන වියදම රුපියල් ලක්ෂ ගණනාවකි. ඔහු සරසවියට පිවිස උපාධිය ලබන තුරු මෙරට අන්ත අසරණයාගේ පටන් සැම පුරවැසියෙක් ම ඔහු වෙනුවෙන් කිසියම් හෝ දායකත්වයක් දරයි. සරසවි වරම් ලබා උපාධිය ලබන පිරිසගෙන් යම් කොටසක් ආචාර්යවරුන්, මහාචාර්යවරුන් බවට පත් ව කල ඔවුන්ට වැඩිදුර විදෙස් අධ්‍යාපනය ලබන්නට ආණ්ඩුව නැවත ද සහනයක් සහ අනුග්‍රහයක් සලසා දෙයි. එය පිහිට කොටගෙන විදෙස්ගත වන අයකු ස්වකීය අභිලාශයන් මුදුන්පත් කොටගෙන නැවත පෙරළා මවුබිමට නොඑන්නේ නම්, ඔහු හෝ ඇය උපන් රටට කරන අසාධාරණය සුළු-පටු නැත.

Comments