බත් හා කොස් | සිළුමිණ

බත් හා කොස්

පසුගිය බ්‍රහස්පතින්දා රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීහු අසනීප නිවාඩු ගෙන කොළඹ ආවෝ ය; කොළඹ ආ ඔවුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටට එක් රොක් වූයේ උද්ඝෝෂණයකට ය. ඔවුන් කීවේ ඉල්ලා ඇති පරිදි තමන්ගේ වැටුප් දීමනාව සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලෙස ය.

රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන්ගේ වැටුපට ඔවුන්ගේ ශ්‍රේණිය අනුව මාසිකව රුපියල් 15,000 සිට 50,000 දක්වා වූ මුදලක් අමතර දීමනාවක් ලෙස ගෙවන මෙන් ඉල්ලා පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමට සන්දේශයක් ඉදිරිපත් කරන ලදී. ඊට අවශ්‍ය නිර්දේශය ජාතික වැටුප් හා කාර්ය මණ්ඩල කොමිසම විසින් ලබා දී තිබුණි. එහෙත් සමාන්තර සේවා 13ක් තිබිය දී රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන්ට පමණක් වැටුප් අමතර දීමනාවක් ගෙවීම බරපතළ විෂමතාවක් ඇති කරන නිසාදෝ ඊට තීන්දුවක් නොදී එය සලකා බැලීමට අමාත්‍ය මණ්ඩල උප කමිටුවක් පත් කරන ලදි. පසුගිය බ්‍රහස්පතින්දා රාජ්‍ය පරිපාලන නිලධාරීන් උද්ඝෝෂණය කළේ මේ අමාත්‍ය මණ්ඩල සන්දේශය කඩිනමින් අනුමත කරන ලෙස ඉල්ලමිනි.

ඒ සඳහා පසුගිය දා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශයේ ඒ දීමනාව හඳුන්වන්නේ "බහුවිධ කළමනාකරණ හා මෙහෙයුම් දීමනාව" ලෙසිනි. එසේම ඒ දීමනාව ලබාදීම සාධාරණීකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයේ සදහන් කර ඇත්තේ "ශ්‍රී ලංකා පරිපාලන සේවයට සුවිශේෂී හැකියාවන්ගෙන් යුත් ඉහළ ධාරිතාවක් සහිත පිරිසක් ආකර්ෂණය කර ගැනීම සදහා ඒ සේවයේ නිලධාරීන් දිරි ගැන්වීම" ලෙසිනි. අමාත්‍ය මණ්ඩල සන්දේශයේ අරමුණ අති විශිෂ්ට ය; අගය කළ යුතුය. ඊට හේතුව වන්නේ එය යහපත් අරමුණක් බැවිනි.

පසුගිය වර්ෂයේ දී හිටපු ජනාධිපති ලේකම්වරයකු වූ ලලිත් වීරතුංග හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියෙක් අධිකරණය මඟින් වරදකරු කරන ලදී. මේ මෑතක දී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ අයි. කේ. මහානාම අති විශාල අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් විය. ඊට අමතරව ලිංගික අල්ලස් ගැනීම්, මුදල් අල්ලස් ගැනීම් ආදී අශ්ලීල හැසිරීම්වල යෙදෙන පරිපාලන සේවා නිලධාරිහු බොහෝ ය. මේ සියලු නිලධාරීහු ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු වෙති.

එහෙත් තමන්ගේ සේවාවේ නිලධාරීන් විසින් සිදු කරන මේ කිසිම වරදක් සම්බන්ධයෙන් පරිපාලන සේවා සංගමය ස්වයං විවේචනයක යෙදෙන අවස්ථාවක් දකින්නට ලැබී නැත. එහෙව් තත්ත්වයක දී සේවාවේ ගුණාත්මකභාවය සඳහා වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටීම හාස්‍යයට හේතුවකි. රාජ්‍ය පරිපාලන සේවා සංගමයට තම සාමාජිකයන් ගුණාත්මකව ඉහළ ධාරිතාවකින් හා සුවිශේෂ හැකියාවන්ගෙන් පිරි පුද්ගලයන් බවට පත් කරන්නට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ සේවාව සම්බන්ධයෙන් ස්වයං විවේචනයක් සිදු කර ප්‍රතිසංවිධානයකට කටයුතු කිරීමය.

ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය පරිපාලන සේවය පවතින්නේ අපේ රටට වඩා ඉහළ මට්ටමක ය. එසේ වී ඇත්තේ වැඩි වැටුප්, දීමනා හා වරප්‍රසාදයන් ඔවුන්ට ලබා දීමෙන්ම නොවේ. සේවාවට ඇති කැපවීම, දක්ෂතාව හා බුද්ධිය ඒ සදහා අවශ්‍ය ම සාධකයන් ය. අපේ රටේ රාජ්‍ය පරිපාලන සේවාව සදහා බඳවා ගැනීමේ දී සුදුසුකම වන්නේ ඕනෑම උපාධියක් හිමි ව තිබීමයි. එහෙත් වෙනත් දීප ව්‍යාප්ත සේවාවන් සදහා බඳවා ගැනීමේ දී හුදු උපාධියක් පමණක් තිබීම කිසිම අවස්ථාවක සුදුසුකමක් වන්නේ නැත. ඒ සඳහා පන්ති සමර්ථතා හා පශ්චාත් උපාධි සලකා බැලේ. බඳවා ගත් පසුව ද ස්ලීඩා ආයතනය මඟින් ළාමක හා බොළඳ අවිධිමත් පුහුණුවක් ලබාදීම හැර විශිෂ්ට කළමනාකරුවන් බිහිවන පරිපූර්ණ පුහුණුවක් ලබා නොදීම බරපතළ අඩුවකි.

කාර්යාලගත කරන නවක පරිපාලකයන් තුළ නිර්මාණශීලී ලක්ෂණ වන ප්‍රශ්න කිරීම, නිර්මාණශීලී ව විවේචනය කිරීම හා නව අදහස් ඉදිරිපත් කිරීම රෝපණය කිරීම සදහා කිසිම වැර වීරියක් දරන්නේ නැත. සිදු කරන්නා වූ එක ම කාර්යය වනුයේ ජ්‍යෙෂ්ඨයා කියන දේ ප්‍රශ්න කිරීමකින් තොරව කරන පිරිසක් නිෂ්පාදනය කර ගැනීම පමණි. යමෙකු හිතුවක්කාරකමකට පවතින දේ විවේචනය කරන්නට, ප්‍රශ්න කරන්නට ගියහොත් ඔවුට අනිවාර්යෙන් ලැබෙන දඬුවම වන්නේ “බ්‍රහ්ම දණ්ඩනයට” ලක් කිරීමයි.

රටේ නීතිය උල්ලංඝනය කළ රාජ්‍ය පරිපාලන නිලධාරීන් ව විවේචනය කර ඔවුන් තම සේවාවේ අනාගත භාරකරුවන්ට ආදර්ශයක් නොවන්නට කටයුතු කිරීම රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන්ගේ හෝ ඒ සංගමයේ හෝ භාවිතය නොවීම අතිශය කනගාටුවට කරුණකි. එවිට ආධුනික සමාජිකයන් කල්පනා කරන්නේ ද අල්ලස් ගෙන, හොරකම් කර හෝ වෙනත් නීති විරෝධී කටයුතු හෝ කිරීම නිවැරැදි භාවිතයක් ලෙස ය. එය ජ්‍යෙෂ්ඨයන් තේරුම් නොගැනීම අභාග්‍යයකි. මෙවැනි පරිසරයක ගුණාත්මක සේවාවක් ප්‍රාර්ථනා කිරීම අර්ථ විරහිත ක්‍රියාවකි.

වර්ෂ 2006 වන තුරු රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ වැටුප් අතර විශාල වෙනස්කමක් නොවීය. එහෙත් 6/2006 චක්‍රලේඛය මඟින් මාණ්ඩලික නිලධාරීන්ගේ හා රජයේ සේවයේ සෙසු නිලධාරීන්ගේ වැටුප් අතර පැහැදිලි වෙනසක් ඇති කරන ලදි. ඊට අමතරව මාණ්ඩලික නිලධාරීන්ට විශේෂ දීමනා වර්ග කිහිපයක් ම ලැබේ. දුරකථන, ඒ ඒ රැස්වීම් වලට සහභාගීවීම වැනි රාජකාරීන් සඳහා දීමනා ද වර්ෂ පහකට වරක් මෝටර් රථයක් මිල දී ගැනීම සදහා බලපත්‍රයක් ද ලැබේ. සමහරු ඒ බලපත්‍රය අවම වශයෙන් රුපියල් ලක්ෂ විස්සකට පමණ විකුණා ඒ මුදල ලබා ගනිති. මීට අමතරව නිලධාරියා සේවය කරන්නේ කොළඹ අග නගරයේ කාර්යාලයක නම් සේවා ස්ථානය අනුව විදේශ සංචාරයන්හි යෙදීමේ අවස්ථාව ද ලැබේ. එවිට බොහෝ නිලධාරීන් කරන්නේ විදේශ සංචාරයේ දී වියදමට ලබාදෙන "පොකට් මනි" පවා ඉතුරු කරගෙනවිත් වංචා කිරීමයි.

රාජ්‍ය පරිපාලන නිලධාරීන් රට මුහුණ දී ඇති භයානක තත්ත්වය තේරුම් නොගෙන වරායේ කම්කරුවන් හා ලංගම කම්කරුවන් ලෙස වැඩි වැටුප් ම ඉල්ලීම ලජ්ජාවට කරුණකි. ඔවුහු අවම වශයෙන් තමන් සමඟ එකට වැඩ කරන සමාන්තර සේවා වල නිලධාරීන්ගේ වැටුප ගැනවත් උනන්දු නොවෙති. එසේවූ කල ලක්ෂ පහළොවක් වූ තමන්ගේ යටත් නිලධාරීන්ගේ වැටුප ගැන උනන්දු නොවීම පුදුමයක් නොවේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ බරපතළ අර්බුදයක් පවතී. එය වැටුප් ප්‍රශ්නයකට ලඝු කිරීම තක්කඩිකමකි. අර්බූදයේ සැබෑ ප්‍රශ්නය වන්නේ ගුණාත්මක හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නොවීමයි. ඊට පිළියම් සෙවීම සදහා රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන් මීට වඩා බොහෝ දුර කල්පනා කළ යුතුව ඇත.

Comments