
2016 වසරේ මැයි මාසයේ මහා විපතක් සිදු විය. 2017 වසරේ මැයි මාසයේ ද එසේ ම විය. ඒ තරමට ම නොවූවත් 2018 වසරේ මැයි මාසය ද ආපදා මාසයක් බවට පත් ව ඇත. ක්‍රමයෙන් සෑම වසරක ම මැයි මාසය ආපදා මාසයක් බවට පත් වෙමින් තිබේ. ආපදාවලට ලක් ව මිය යන්නන්ට ජීවය දිය නොහැකි ය. එහෙත් ආපදාවන්ට ලක් වී නිරුපද්‍රැත ව සිටින්නන්ගේ ජීවිත අලෝකවත් කළ හැකි ය.
2016 හා 2017 වසරවල දී ආපදා කළමනාකරණය ඉතා කනගාටුදායක විය. එහෙත් උගත් පාඩම් නිසා දෝ 2018 ආපදා කළමනාකරණය සතුටුදායක මට්ටමක පවතී. සහන සේවා සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට රුපියල් මිලියන ගණනින් ප්‍රතිපාදන වෙන් කර ඇත. ආපදා රක්ෂණ සේවාව නිසා මිය යන්නකුට රුපියල් ලක්ෂය බැගින් වූ වන්දි පිරිනැමේ. භෞතික ආපදාවන්ට ද රජය මඟින් වන්දි ලබා දේ. එසේ ම වෙනත් මහජන අවශ්‍යතා සඳහා ද සහන සේවා සූදානම් කර ඇත. හානිය අහෝසි කළ නොහැකිමුත්, එය අවම කළ හැකි ය. ඒ සඳහා රජය පියවර ගනිමින් සිටියි.
එහෙත් ආපදා කළමනාකරණය පිණිස යහපත් යන්ත්‍රණයක් නොවීම සලකා බැලිය යුතු කරුණකි. රජයට අතිවිශාල නිලධාරීන් පිරිසක් සිටිය ද ඒ නිලධාරීන් බලමුළු ගැන්වූ හරිහමන් යන්ත්‍රණයක් නැත. විශේෂයෙන් කලින් ගමකට සිටියේ ග්‍රාම නිලධාරිවරයා පමණි. එහෙත් මේ වන විට නිලධාරීහු අවම වශයෙන් හතර දෙනෙක් විවිධ විෂයයන්ට අදාළව සිටිති. දැන් මේ නිලධාරීන් යොදවා සකස් කර ගත් ශක්තිමත් ආපදා කළමනාකරණ යන්ත්‍රණයක් අවශ්‍ය ව ඇත.
එවැන්නක් නොවීමේ ප්‍රතිඵලය වී ඇත්තේ ඇඟේ ඇම්ම ඇති නිලධාරීන් සිටින තැන පමණක් ශක්තිමත් ව ආපදා කළමනාකරණය සිදු වීම යි. එවැනි නිලධාරීන් නොසිටින ස්ථානයන්හි ආපදා කළමනාකරණය අඩාළ ව පවතී. රාජ්‍ය සේවයේ සාපේක්ෂ ව හොඳ ම යන්ත්‍රණය ඇත්තේ මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලියට යි. දැනට ආපදා කළමනාකරණය සඳහා ද අනියමින් යොදා ගනු ලබන්නේ ඒ යන්ත්‍රණය යි. එහෙත් යහපත් හා කාර්යක්ෂම ආපදා කළමනාකරණයක් සඳහා මැතිවරණ පැවැත්වීමේ රාජ්‍ය යන්ත්‍රණය වැන්නක් වහා සකස් කර ගැනීම ආපදා කළමනාකරණ බලධාරීන්ගේ වගකීම යි.
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය යන්න විපතට පත් වූවන්ට සහන සැලසීමේ කාර්යයට ලඝු කර ගෙන තිබීම තවත් අගතියකි. එය කෙටිකාලීන විසඳුමක් මිස, රටක පැවැත්ම සදහා අත්‍යවශ්‍ය දිගුකාලීන ක්‍රියාමාර්ගයක් නම් නො වේ. එබැවින් ආපදා කළමනාකරණයේ දිගුකාලීන අරමුණ විය යුත්තේ ආපදා වළක්වා ගැනීම හෝ අවම කර ගැනීම හෝ වන්නේ ය. එවැනි ඉලක්කයකින් තොර ව රටක සංවර්ධනය ශීඝ්‍ර ජවයකට තල්ලු කළ නොහැකි ය. ඊට හේතුව වන්නේ වන්දි, සහන හා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ජාතික ආදායමේ සැලකිය යුතු ප්‍රතිශතයක් වෙන් කිරීමට සිදු වීම යි.
ස්වාභාවික ආපදා වැළැක්විය නොහැකි බවට සමාජයේ මතයක් පවතී. එය ප්‍රචලිත මතයක් මිස සත්‍යය ම නො වේ. පැවැති වැහි රටාව වෙනස් වී විකෘති වැහි රටාවක් ඇති වී ඇත්තේ ස්වාභාවික සංසිද්ධියක් මත නො වේ. ඒවා එසේ වූයේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි; පරිසර පද්ධතිය වෙනස් වීමෙනි. එනිසා තවදුරටත් විකෘති කාලගුණ අත්දැකීම් ඇති නොවන්නට නම් පරිසර පද්ධතියේ තුල්‍යතාව මිනිසා විසින් වෙනසකට භාජනය නොකළ යුතු ව ඇත.
එහෙත් ධනේශ්වර සංවර්ධනය සමඟ පරිසර පද්ධතියේ තුල්‍යතාව අහෝසි වීම නෛසර්ගික ලක්ෂණයකි. ධනේශ්වර සංවර්ධනය මේ මොහොතේ ක්ෂණිකව හා ජාතිකවාදි ව අත්හළ නොහැකි ය. එසේ නම් කළ යුත්තේ මහජන අභිලාශයන් උපරිමයෙන් ඉෂ්ට වන පරිදි ධනේශ්වර සංවර්ධනය කළමනාකරණය කර ගැනීම යි. එහෙත් මෙගා සංවර්ධන ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමේ දී පරිසරය සම්බන්ධයෙන් දක්වන්නේ අල්ප වූ විමසිල්ලකි. බොහෝ විට පරිසරය සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්වීම රටේ සංවර්ධනයට බාධාවක් ලෙස දකින මිනිස්සු ද සිටිති. එහෙත් පරිසරය ගැන උනන්දු නොවී සංවර්ධනයක් බලාපොරොත්තු නොවිය හැකි බව ඔවුන් තේරුම් නො ගනිති.
විශේෂයෙන් අධිවේගි මාර්ග ඉදි කිරීමේ දී අවම පරිසර වාර්තා හෝ සැලකිල්ලට ලක් වන්නේ නැතැයි විටින් විට වාර්තා විය. එසේ ම කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දී ද පරිසරය කෙරෙහි දැක්වූ උනන්දුව පිළිබඳ මැසිවිලි රැසක් මතුවිණි. සංවර්ධනය යන්න ම පරිසරය වෙනස් කරන ක්‍රියාදාමයක් බව ඇත්තකි. එහෙත් පරිසර පද්ධතියට අවම හානියක් සිදු කරමින් සංවර්ධනය ද සම්පූර්ණ කර ගත යුතු ව තිබේ.
ධරණීය සංවර්ධන ඉලක්කයන් ජාතික වශයෙන් පමණක් නො ව, අන්තර්ජාතික ව ද සාකච්ඡාවට ලක් වන විෂයයකි. ලෝකය පුරා ස්වාභාවික සම්පත් විනාශ වෙමින් පවතින්නේ ධරණීය සංවර්ධනය කෙරෙහි දක්වන අල්ප වූ උනන්දුව නිසා ය. සංවර්ධනයේ නියමුවන් ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම හාස්‍යයෙන් යුතුව දැකීම අභාග්‍යයකි. ඒ නිසා එක් අතකින් ඔවුන් කරමින් සිටිනුයේ අපරාධමය වරදකි.
රටක් ලෙස අප පළමු ව කළ යුත්තේ සංවර්ධන උපායමාර්ග සකස් කර ගැනීමේ දී පරිසර පද්ධතියේ තුල්‍යතාව ආරක්ෂා කර ගන්නා වූ උපාය උපක්‍රම අඩංගු සංකල්පීය රාමුවක් සකස් කර ගැනීම යි. රටට ආදරය කරන සියලු ක්ෂේත්‍රවල බුද්ධිමතුන්ගේ දායකත්වය ලබා ගැනීම එහි දී අවශ්‍ය ම වේ. එවැනි සංකල්පීය රාමුවක් අනතුරු ව ක්‍රියාත්මක රීති රාමුවක් බවට පත් කර ගැනීමෙන් ධරණීය සංවර්ධනය සදහා වූ ප්‍රවේශයක් ඇති කර ගත හැකි ය.
කෙටිකාලීන වශයෙන් ආපදා කළමනාකරණය යහපත් ලෙස සිදු කරමින්, දිගු කාලීන ව බුද්ධිමතුන් මහන්සි විය යුත්තේ ධරණීය සංවර්ධනය සඳහා වූ උපායමාර්ග ක්‍රියාත්මක තලයට ගෙන ඒමට යි. එය අද ප්‍රමුඛ කාර්යයක් බවට පත් ව ඇති බව රජය ද තේරුම් ගත යුතු ය.