
රුපියල් කෝටි දසලක්ෂයකට වැඩි ණය බරක් හිස මත තබා ගත් ශ්‍රී ලංකාවට, තම ඉදිරි මඟ යහපත් කර ගැනීම හමුවේ ඇත්තේ සුළු පටු අභියෝගයක් නො වේ. ජීවන වියදමට සරිලන ආදායමක් ලැබීම හා විරැකියාවට විසඳුමක් සොයා ගැනීම ජාතික වශයෙන් සංවේදී ගැටලුව වන අතර, ජාතික සංහිඳියාව ඉදිරිගාමී ගමනට අත්‍යවශ්‍ය ම සාධකයක් වී තිබීම ද සැලකිල්ලට ගැනීම අනිවාර්ය වේ. මේ ගැටලු හා අභියෝග වෙතින් මඟ හැර යා නොහැකි අවස්ථාවකට විසඳුම් තව දුරටත් පමා කරන්නට නොහැකි අවස්ථාවකට, රට පැමිණ තිබේ. 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරය විවෘත කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් ද මේ බව අවධාරණය කෙරුණු අතර, අද අප පසු වන්නේ විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල බලය උරගා බලන්නට සුදුසු මොහොතක නොවන බව ද ජනාධිපති තුමා මෙහිදී පැවසීය. දැනට පවතින සෑම ආකාරයක ම බල තරගයකින් ම අපේක්ෂා භංගත්වයට පත් වන්නේ රටේ ජනතාව බව සඳහන් කළ ජනාධිපති තුමා පළමු ව ජාතික ආණ්ඩුවේ පක්ෂ අතර පවතින බල අරගලයත්, දෙවනුව ආණ්ඩුව හා විපක්ෂය අතර පවතින බල තරගයත් සමනය කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව ද අවධාරණය කළේ ය.
තනි පක්ෂයක බලය සහිත ආණ්ඩු පිහිටුවූ ඉතිහාසය දෙස බලන විට, දේශපාලනව හෝ ආර්ථිකව හෝ සමාජීයව හෝ රට ඉදිරියට ගැනීම වෙනුවෙන් කළ දැනෙන වෙනසක් නැත. අඩසියවසක් තරම් කාලයක් සමඟ සසඳන කල ආසියාවේ සෙසු රටවල් විවිධ අතින් ඉදිරියට යද්දී, ශ්‍රී ලංකාව එක තැනක පල් වන තැනට වැඩ සැලසීමට පක්ෂ අතර බල තරගය තීරණාත්මකව බලපෑවේ ය. කොටින් ම මෙරට දේශපාලන පක්ෂ බලය අත්පත් කර ගත් පසු ව ද මහජන මුදලින් දේශපාලනය කළා මිස රට ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් කළ දෙයක් නැති තරම් ය. එය කොතරම් ඛේදවාචකයක් වී තිබේ දැ යි, වත්මත් තරුණ පරපුරේ ඒකායන සිහිනය වන යහපත් ජීවිතයක් උදෙසා නම් මේ රටින් පිට ව යා යුතු ය යන ඉච්ඡාභංගත්වයෙන් පැහැදිලි කරයි. එනම්: මෙරට දේශපාලනයේදී ප්රමුඛ වූයේ බල අරගලය ම පමණි.
සිංහලේ අන්තිම රජු ඉංග්‍රීසීන්ට අල්ලා දෙන අවස්ථාවේ විද්‍යමාන වන, ‘අනෙකාට ඉඩ නොදිය යුතුයි‘ යන සංස්කෘතික ව ම මුල් බැස ගත් මෙරට සමාජීය ආකල්පය දේශපාලනව ද තහවුරු කිරීම අදත් පක්ෂ හෝ කණ්ඩායම් හෝ අතර දක්නට ඇති බල අරගලයේ උපතයි. රට ගොඩනඟන වැඩපිළිවෙළක් වෙනුවෙන් මිස, පක්ෂයක් හෝ නායකයකු හෝ රකින දේශපාලනයක් වෙනුවෙන් ජාතික අරමුණ පටු කරන්නට හා ඒ වෙනුවෙන් කාලය නාස්ති කරන්නට දැන් කාලය ඉතිරිව නැති අතර, රටට බරවායක් වී ඇති මේ පක්ෂ දේශපාලනයේ බල අරගලයට කිසිදු ඉඩක් නොදෙන යුග පෙරළියක් ම අවශ්‍යව ඇත.
මීට වසර 200කට ඉහත ඉංග්‍රීසීන් අප රට කුමන්ත්‍රණකාරීව අල්ලා ගත් බව පසක් කර ගත් එදා සිංහලයන් ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව කැරලි ගසන්නට වූයේ ජාතික සමගිය නැති කරමින් දේශීය දේශපාලනයට අනවශ්‍ය බල අරගලයක් ඈඳීම ද කුමන්ත්රණයේ කොටසක් බව අවබෝධයෙනි. එකී අනවශ්‍ය බල අරගලය අදත් දේශපාලන පක්ෂ - කණ්ඩායම් විසින් නඩත්තු කරනු ලැබීම වෙනුවෙන් මතු වන මහජන විරෝධය විවිධාකාරයෙන් පුපුරා යන බව දකින්නට වීදි පුරා දිනපතා ඇවිළෙන උද්ඝෝෂණ ආදිය වුව ද සෑහේ. වෘත්තීය අරගලයක දී පවා, පොදු යහපත වෙනුවෙන් ඇති ඉල්ලීම්වල දී පවා, උඩ මතු වන්නේ අතිශය පුද්ගලවාදී බල අරගල ම නො වේ ද? මේ බල අරගලයට එරෙහිව අද නැඟෙන ලොකු ම කැරැල්ල ‘මේ රටේ ඉඳල වැඩන් නෑ‘ යන, රට හැර යන ඉච්ඡාභංගත්වයකට, විශේෂයෙන් ම උගත් තරුණ පරපුර පත් ව සිටීම යි.
ඉතිහාසයෙන් සම්ප්‍රදායෙන් උරුම වූ වටිනා දෑ වර්තමානයට ගළපා ගැනීම රටක් ලෙස සාමූහික ව කල්පනාවට ගැනීමේ දීත්, මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම් සෙවීමේ දීත් අතිශය වැදගත් වෙයි. දේශපාලනය බල අරගලයට යොමු කරන විට එය ද මඟ හැරෙයි. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්රකාශනය මඟින් අවධාරණය කරන පරිදි, හත්වැනි පාර්ලිමේන්තුවේ අගමැතිවරයා නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයට ආසන 47ක් පමණක් හිමි ව තිබිය දී හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 142ක් හිමිව තිබිය දී පවා රටේ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා සම්මුතියකට ඒම එක් අතකට සංස්කෘතික ව මේ රටට උරුම සම්මුතිවාදය මල්ඵල ගැන්වීමකි. ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා තවත් වටිනා පනත් කිහිපයක් සම්මත කර ගත්තේ එතැනදී බල අරගලය ඉස්මතු නොවූ බැවිනි. රට ජාතිය ප්රමුඛ ව දේශපාලනය කරනවා නම් පවතින ක්‍රමය තුළම අවස්ථා ඇති බව එමඟින් පෙන්නුම් කේරේ.
පුද්ගලවාදී ව මතු කරනු ලබන බල අරගලය තව දුරටත් ඉවසන්නට රටේ ජනතාව සූදානම් නැති බව මහජන මුදලින් දේශපාලනය කරන දේශපාලකයන් වහා අවබෝධයට ගත යුතු ය.