බිනර මාසය ඔබට කොහොම ද? | Page 2 | සිළුමිණ

බිනර මාසය ඔබට කොහොම ද?

- බිනර මාසයේ ග්‍රහ මාරු 1ක් පමණයි; එය 17දා සවස 13.30ට සිදු වේ
- යුක්තිගරුක අය වැඩි වන කාලයක්

2023 වසර ද ටිකෙන් ටික ගෙවී යන බව දනවමින් ආරම්භ වන සැප්තැම්බර් මාසය ඔබ බොහෝ පොතපත පරිහරණය කරන පොත්පත් පුවත්පත්වලට ඇළුම් කරන ස්වභාවයක් දක්නට ලැබෙයි. ග්‍රහ මාරු, ග්‍රහ යුද්ධ කිසිවක් නොමැති එලඹෙන මාසය තුළ එකම ග්‍රහ මාරුවක් පමණක් දක්නට ලැබෙයි. ඒ රවි ග්‍රහයා කන්‍යා රාශියට පිවිසීම වන අතර එය 17 දින සවස 13.30ට සිදුවේ. වක්‍ර ගමනේ යෙදුණු බුධ ශුක්‍ර වැනි ග්‍රහයින්ගේ නිවෘත වීමක් දැක්වෙන අතර ග්‍රහලොව ධර්මිෂ්ඨ ගුරු ග්‍රහයාගේ වක්‍ර ගමන ආරම්භ වේ. ඒ නිසා අප සමාජය තුළ ගුණ ගරුක බව යුක්ති ගරුක බව ජීවිතයට ළඟා කර ගන්නා අය වැඩියෙන් දක්නට ලැබෙනු ඇත. මානුෂිකත්වයෙන් යුතුව ධර්මය අවබෝධයෙන් කටයුතු කරන පිරිස තරමක් වැඩි බව විහාරස්ථානවලදී දැකගත හැකි වේ. කෘෂිකර්මාන්තය, ස්වර්ණාභරණ මැණික් ආදී ව්‍යාපාරවල යෙදෙන අයට මෙන්ම දැනුම බෙදා හරින අංශවලටද (පොත්පත්, පුවත්පත්) වැනි ප්‍රකාශන අංශවලට ද වැඩි ආදායමක් ලබා ගැනීමට මාර්ග විවර වේ. දරුවන්ගේ අධ්‍යාපනික දැනුම මතක ශක්තිය වර්ධනය වන අතර ඔවුනට අභියෝගාත්මක විභාගවලට නොබියව මුහුණදීමේ ශක්තිය ද ඇතිවේ.

මේෂ - යහපත් වාසනාවන්ත කාලයක්

ගෘහ ජීවිතය :- සැප්තැම්බර් මාසය උදාවන විට ඔබගේ කේන්ද්‍රයේ ග්‍රහ ගෝචරය අයහපත් නොවේ. ගුරු රාහු ලග්නයේත් ශ.ච 11 වැන්නේත් ශුක්‍ර සිවුවැන්නේත් ර. බු 5 වැන්නේත් කුජ 6 වැන්නේත් කේතු 7 වැන්නේත් පිහිටියේය. ඒ අනුව ඔබ ධර්මිෂ්ඨ ගතිගුණවලින් යුතුව අන්‍යයන්ට උදවු උපකාර කරන කුටුම්බය තුළ සමදානකාමී දිවියක් ගත කරනු ලබයි. අනාගත දියුණුව පිණිස වෙහෙසෙයි. ගේ දොර ඉඩකඩම් යාන වාහන ලැබීම් මෙන්ම විදෙස් ගමන්වලට ද භාග්‍ය ඇති කරයි.

රැකියාව :- රැකියා ස්ථානයේ අධිපති සෙනසුරු අයස්ථානය වූ 11 වැන්නේ සිටීම අනුව මහජන සබඳතා ඇති පීඩිත ජනතාවට මාහැඟි සේවයක් ඉටුකළ හැකි රැකියාවලට අවතීර්ණ වේ. ජලය උපයෝගී කරගෙන කරනු ලබන රැකියා අංශවලින් ලාභ ප්‍රයෝජන හිමිකර දෙයි. මැණික්, මිනිරන් ආදී පොළොවෙන් හමුවන වාසනාවන්ත ලැබීම් පෙන්වයි.

අධ්‍යාපනය :- 5 අධිපති රවි 5 වැන්නේම පිහිටියේ දැනුමට අධිපති වන බුධ සමඟය. ඒ අනුව අධ්‍යාපනය ලබන සියලු දරුවන්ගේ දැනුම මතක ශක්තීන් වර්ධනය වන ග්‍රහබල පවතී.

සෞඛ්‍යය :- සෙම රෝග, ලේ දෝෂ, උණ රෝග ආදියට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.

අපල අවම වීමට අභිසම්භිධාන පිරිත උදේ සවස තමා විසින්ම කීමත් වැදගත් වේ. ශ්‍රවණය කිරීම තුළින් ද අපල දුරු වේ.

වෘෂභ - කලා අංශයට වැඩිපුර නැඹුරුවේ

ගෘහ ජීවිතය :- ලග්නාධිපති 3 වැන්නේත් යෝගකාරක කුජ 10 වැන්නේත් ගෝචරව ඇත. කිසිවෙකුටත් අතනොපා සියලු කටයුතු ධෛර්යයෙන් යුතුව කර ගැනීමට වෙහෙසවන ඔබ කලාත්මක අංශවලට වැඩි කැමැත්තක් දක්වනු ලබන වකවානුවකි. අඹුදරුවන් සම්බන්ධ සියලු වගකීම් නොපැකිලව ඉටු කරයි. ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන තමා ඇසුරු කරන සමාජය තුළ හැසිරෙයි. අන්‍යයන්ට ගුරුහරුකම් දෙයි.

රැකියාව :- 10 වැන්නේ ශනි චන්ද්‍ර දෙදෙනාගේ යෝගය පෙන්වන හෙයින් කරන කියන රැකියාව කුමක් වුවත් එය යුක්ති ගරුකව සාධාරණව ඉටුකිරීමට බලයි. කෘෂිකාර්මික අංශ, ජලය උපයෝගී කරගෙන කරනු ලබන කර්මාන්තවලින් වැඩි පල ප්‍රයෝජන ලබයි. විදෙස් රැකියාවලට ඉඩ ඇති අතර මෙරටෙහිම වුවත් ඇවිදිලි වැඩිවේ. අතමිට මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවේ.

අධ්‍යාපනය :- 5 අධිපති 4 වැන්නේ සහ කුජ ග්‍රහයා 5 වැන්නේ ගෝචරව සිටියදී ආරම්භ වන මාසය ලිපි ලේඛන තුලින් ජයග්‍රහණය ලබයි. විද්‍යා අධ්‍යාපනය, පරිගණක තාක්ෂණය, ඉංජිනේරු වැනි සියලු අංශවල ඉගෙනුම් කටයුතු කරන දරුවන් හට හැකියාවන් ඔප් නංවා ගැනීමට හැකිවේ.

සෞඛ්‍යය :- සෙම් රෝග මෙන්ම චර්ම රෝග ආදියට ද ඉඩ ඇත. මේ කාලය තුළ සෞඛ්‍ය තත්වය ගැන සොයා බැලීම වැදගත් වේ. අවේලාවේ ගමන් බිමන් යාමෙන් කරදර ඇතිවිය හැකි අතර නොකළ වරදවලට චෝදනා ලැබීමට පුළුවන.

අපල අවම කරගෙන සිය බලාපොරොත්තු අරමුණු කරා යාමට දසදිසා පිරිත උදේ සවස කියන්න. ශ්‍රවණය කරන්න. කරඳ කොළ මත පහන් තබා සිකුරාදා දිනවල බෝධිපූජා තබන්න.

මිථුන - ලිපි ලේඛන අංශවල ජයග්‍රහණ

ගෘහ ජීවිතය :- ඉතාම බුද්ධිමත් අයුරින් තම ජීවිතය ගෙන යනු ලබන මේ මාසය තුළ ඔබගේ ග්‍රහ රටාවන් සුවිශේෂී වේ. ලග්නාධිපති වික්‍රමස්ථානයේත් යෝගකාරක සිකුරු දෙවැන්නේත් ගෝචරව ඇත. කරන කියන කටයුතුවල උනන්දුවෙන් නිරත වන වචනයෙන් බොහෝ දෙනෙක් අවනත කර ගත හැකි කාල වකවානුවකි.

රැකියාව :- ඔබ ලිපි ලේඛන පොතපත පුවත්පත් සම්බන්ධ ආයතනයක වැඩ කටයුතු කරන්නේ නම් අධික අවිවේකී කාල වකවානුවකි. බොහෝ උනන්දුවෙන් අවබෝධයෙන් හා වගකීමෙන් ක්‍රියා කළ යුතු අවදියක් ද වෙයි. කෘෂිකාර්මික අංශවලින් ද ලාභ ප්‍රයෝජන හිමි වේ. ස්වයං රැකියාවල දියුණුවක් දක්නට ලැබෙයි. ඔබගේ ග්‍රහ රටාවන් අනුව විනෝදයට මුදල් වැය කරන්නට සිත් දෙන බැවින් මුදල් පාලනයක් ඇතිකර ගැනීම වැදගත් වේ.

අධ්‍යාපනය :- ගායන, වාදන, නර්තන හැකියා බෙහෙවින් වර්ධනය කර ගත හැකි අතර කථිකත්වය දියුණු වේ. විභාගවලට නොබියව මුහුණදීමට හැකි බුද්ධි මට්ටමක් ඔබ සතු මේ කාලයේ පොතපත පරිහරණයෙන් මතක ශක්තියෙන් අභියෝග ජය ගැනීමට හැකි යහපත් මානසිකත්වයක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය :- අවිවේකී බව නිසා සෞඛ්‍ය තත්ත්වය දුර්වල විය හැකි බැවින් ඒ පිළිබඳ උනන්දු වීම වැදගත්ය. චර්ම රෝග, මළබද්ධය වැනි අපහසුතාවයන්ට මුුහුණ දීමට සිදුවිය හැකිය.

අපල අවම කර ගැනීමට කොහොඹ පැළයකට සත්කාර කිරීමත් කුඩා දරුවනට දැනුම හා රැකවරණය දීමත් සහනදායී පිළිවෙත්ය.

කටක - වාහන සිහින සැබෑවේ

ගෘහ ජීවිතය :- සැහැල්ලුවෙන් ජීවිතය ගෙවෙන එහෙත් බැරෑරුම් වගකීම් සහිත අවදියකි. සිකුරු ලග්නගතව සිටීමෙන් සිනහ මුසු මුහුණින් යුතුව කල්ගත කළත් ඒරාශ්ඨකයක් ද පවතින බැවින් ගැටලුවලට මුහුණ පෑමට සිදුවිය හැක. පදිංචි ස්ථානයේ අලංකරණය හෝ ඉඩකඩ වැඩි කර ගැනීමේ අදහසින් යම් වෙනසක් සිදුකරන්නට බලයි. යාන වාහන පිළිබඳ සිහින රැකියාව :- බොහෝදුරට ඔබ කරගෙන යන රැකියාවන්ට අමතරව කෘෂිකාර්මික කටයුතුවලට නැඹුරුවීමක් ද ඒවායින් පල ප්‍රයෝජන ද ගත හැකි වේ. මැණික් පතල් ස්වර්ණාභරණ අංශවල නියැලෙන අයට ද වාසිදායක අවස්ථා හිමිකර දෙනු ලබයි. ලියන කියන අංශවල, මුද්‍රණ කර්මාන්තවල අයට ද අතමිට සරුවන කාල පරිච්ඡේදයකි. ඇවිදිලි බහුලවේ.

අධ්‍යාපනය :- අධ්‍යාපනයේ නිරත වන ඔබට පරිගණක තාක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය වන කාල සීමාවක් මෙන්ම එම අංශවලින් ඉගෙනගන්නා දරුවනට විභාගවලින් ජයග්‍රහණ කිරීමට ද සුදුසු වාතාවරණයක් ඇති කරයි. සියලු අංශවල ඉගෙනගන්නා අධිෂ්ඨාන ශක්තිය ධෛර්ය උපදවන ග්‍රහබල මේ කාලය තුළ පවතී.

සෞඛ්‍යය :- සෙම් රෝග, උණ බහුල කාලයක් විය හැකි බැවින් ද කටක ලග්නය හිමි ඔබට ඒවා වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත.

අපල අවම වීමට සඳුදා දින නිර්මාංශව බෝධිපූජා තබන්න. පත්තිණි මෑණියන්ට පින් දෙන්න. කිරි දෙන මව්වරුනට පැටවුන් ලද තිරිසන් සතුනට ආහාර ජලය දෙන්න.

සිංහ - රැකියා ව්‍යාපාර දියුණු වේ

ගෘහ ජීවිතය :- සියලු යහපත් බලාපෙරොත්තු පල දරන අණසක පතුරුවමින් අන්‍යයන්ගේ සේවකයන්ගේ සහයෝගය ලබාගන්නා අවදියකි. ලිපි ලේඛන කටයුතු සම්බන්ධ සුබ පණිවුඩ ලැබෙන්න ඉඩ ඇත. විදෙස් හිතවතුන්ගේ ආධාර උපකාර ද හිමි වේ. ගේදොර යාන වාහන ලැබීම්වලට භාග්‍ය ඇති ඉදිරි මාසය පදිංචි ස්ථානයේ සහ ගෙදරදොර දියුණුව පිළිබඳව වෙහෙසෙයි.

රැකියාව :- 10 වැන්න වූ රැකියා ස්ථානයේ අධිපති 12 වැන්නේ ද රැකියා කාරක සෙනසුරු 7 වැන්නේ ද ගෝචර වෙමින් ආරම්භ වන මාසය ඔබට ලාභ ප්‍රයෝජන හිමි වේ. විසිතුරු සුඛෝපභෝගී භාණ්ඩ අලෙවියෙන් ද විදෙස් සබඳතා සහිතව කෙරෙන අපනයන ක්ෂේත්‍රයෙන් ද ව්‍යාපාර අංශවලින් ද තැන්පත් ධනයක් වර්ධනය කර ගැනීමට හැකි වේ. කෘෂිකාර්මික අංශවලින් ද ප්‍රගතියක් දැක්වේ.

අධ්‍යාපනය :- ඉගෙනගන්නා දරුවනට උසස් අධ්‍යාපනයට අවතීර්ණ වීමට සුදුසු වාතාවරණයක් ගොඩනැඟෙනු ඇත. 9 වැන්න වූ උසස් අධ්‍යාපනය පවතින සුබ භාවයක ගුරු රාහු සමඟ තැන්පත් වීමෙන් තත්ත්වය උසස් කරයි. ඉදිරියේ වන විභාගවලින් සමත් වෙයි. ඔබේ කැපවීම ද ධෛර්යය ද වර්ධනය කරයි.

සෞඛ්‍යය :- ස්නායුගත අසනීප මතුවීමට පුළුවන. සෙම් රෝග මෙන්ම උෂ්ණාධික රෝග ද පැවතිය හැකිය.

අපල අවම කර ගැනීමට වචන පාලනය, ඉවසීම ඇතිකර ගත යුතුය. සූර්ය පිරිත කීම ශ්‍රවණය කිරීම තුළින් පෙරවරුවේ ජීවිතය ආලෝකවත් කරගෙන දවස ආරම්භ කරන්න.

කන්‍යා - එඩිතරව ඉදිරියට යන කාලයකි

ගෘහ ජීවිතය :- යෝග කාරක සිකුරු අයස්ථානයේ පිහිටා ආරම්භ වන මාසය අයහපත් නොවේ. ආර්ථිකමය ලාභයන් මෙන්ම වෙනත් ලැබීම් ද සහිතයි. කිසිවෙකුටත් නොනැමෙන එඩිතර ගතියක් ශක්තියක් ඔබට මේ කාලය තුළ ඇති වේ. ලිපි ලේඛන කටයුතුවලින් පල ප්‍රයෝජන හිමිවේ. සහජ දක්ෂතා ඔප්නැංවෙන ඒවායින් රාජ්‍ය මට්ටමේ ඇගයීම් ලැබිය හැකි කාලයක් වෙයි. පදිංචි ස්ථානයේ දියුණුවට අදාළ වැඩ කටයුතු සිදු කරයි. අතහැර දමා තිබූ වැඩ කොටස් යළි නංවාලයි.

රැකියා :- විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටි අයට ඒ පිළිබඳ සුබ ආරංචි ලැබෙන අතර කෘෂිකාර්මික අංශවල නියැළෙන අයට සුබපල අත්වේ. භූමිය සම්බන්ධයෙන් කෙරෙන සියලු වැඩ කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. ලිපි ලේඛන කටයුතුවල සහ පොත පත පුවත්පත් මුද්‍රණ කර්මාන්ත ආදියේ නියැළෙන අයටද වාසිදායකය.

අධ්‍යාපනය :- ප්‍රාථමික අංශවල පමණක් නොව උසස් අධ්‍යාපනය ලබන සියලු දරුවනට සුබපල ගෙන දෙන කාලයකි. සාහිත්‍යමය අංශවල ජයග්‍රහණ ලබයි. කලා කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි.

සෞඛ්‍යය :- ආමාශගත රෝග උණ ලේ දෝෂ ආදියට ඉඩ ඇත. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ.

අපල අවම කර ගැනීමට තමන්ගේ වැඩ කටයුතු බලා හදාගෙන සිටීම සෑහේ. අන්‍යයන්ට උදවු උපකාර කිරීම අයහපත් ලෙස බලපෑම් කරන්නට ඉඩ ඇත. බදාදා දිනය නිර්මාංශ වන්න. ආගමික වතාවත් හොඳින් සිදු කරන්න.

තුලා - ස්වෝත්සාහයෙන් ජයග්‍රහණය

ගෘහ ජීවිතය :- ලග්නාධිපති 10 වැන්නේත් යෝග කාරක සෙනසුරු 5 වැන්නේත් පිහිටා ආරම්භ වන මාසය ඔබට බොහෝ වැඩ කටයුතුවල නිමාවක් දැකගත හැකි කාලයකි. ලෙඩ රෝග තරමක් දුරට අඩු වී යයි. ගේ දොර පදිංචි ස්ථානයේ දියුණුව පිණිස වැඩ කටයුතු කර ගනී. උත්සාහය දැඩි අධිෂ්ඨානය අත්නොහරියි. නිතරම වැඩක යෙදෙයි. අන්‍යයන්ගේ සහයෝගය නොමැතිව ඔවුන්ට කරදරයක් නොවී සිටීමේ චේතනාව බලවත් බැවින් ජයග්‍රහණ ලබයි.

රැකියාව :- රැකියා කටයුතු සම්බන්ධයෙන් බලන කල සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය සමාජසේවා පිළිබඳ ආයතනවල සේවය කිරීම් තුළින් ලාභ ප්‍රයෝජන අත්වෙයි. කෙතරම් වෙහෙස මහන්සි වුවද සැහැල්ලුවෙන් විනෝදයෙන් ඒවායේ නිරත වෙයි. ඔබට නව රැකියාවකට යොමු වීමට අවශ්‍ය නම් ලාභ ප්‍රයෝජන ලබන්නට හැකි හොඳම කාලයද මෙය වෙයි. රන් ආභරණ මැණික් සම්බන්ධයෙන් ද ලාභ ඉපයීමට හැකි ව්‍යාපාර වේ.

අධ්‍යාපනය :- ශනි චන්ද්‍ර යෝගය 5 වැන්නේ පිහිටීම අනුව ප්‍රාථමික අධ්‍යාපනය ලබන දුවා දරුවනට තරමක අසීරු කටයුතු යෙදෙන්නට ඉඩ තිබේ. සා. පෙළ , උසස් පෙළ දරුවනට නම් එය ගැටලුවක් නොවේ. ඒ නිසා කුඩා දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට මාපියන්ගේ සහයෝගය අනවශ්‍ය වේ.

සෞඛ්‍යය:- මුත්‍රා දෝෂ, වකුගඩු සම්බන්ධ සහ තුනටියේ අමාරු සෑදීමට ඉඩ ඇති බැවින් ජලය ප්‍රමාණවත් පරිදි පානය කිරීමට උනන්දු වන්න. අපල අවම කර ගැනීමට දස දිසා පිරිත උදේ සවස කීම ශ්‍රවණය කිරීම, කරඳ වෘක්ෂයකට සත්කාර කිරීම සුදුසු වේ.

වෘශ්චික - උසස් නිලධාරින්ගේ ප්‍රසාදය

ගෘහ ජීවිතය :- ලග්නාධිපති කුජ අයස්ථානයේ ගෝචර වීමක් රවි 10 වැන්නේ වීමත් සඳු 4 වැන්නේ වීමත් සුබපල උදා කරයි. අගහිඟයක් නොමැතිව සතුටින් සැපෙන් කල් ගෙවීමටත් ගෘහ ජීවිතයේ ගැටලු අවම කර ගැනීමටත් දියුණුව පිණිස කටයුතු කිරීමටත් හැකි වනු ඇත. ලිපි ලේඛන කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් පෙන්වයි. ඇසුරු කරන සමාජය තුළ ප්‍රියමනාප පුද්ගලයෙක් බවට පත්වෙයි.

රැකියාව :- කරන කියන රැකියාව කුමක් වුවත් එය අකුරටම ඉටු කිරීමට ඔබට හැකියාව ලැබේ. රාජ්‍ය අංශවලදී උසස් නිලධාරීන්ගේ ප්‍රසාදයට ලක්වේ. උදවු උපකාර හිමි වේ. මෙතෙක් රැකියාවක් නොලැබ සිටියේ නම් එයටද භාග්‍ය මතු කරයි. ලේඛන වෘත්තියේ මුද්‍රණාල සහ ලිපි ලේඛන සම්බන්ධ රැකියා ක්ෂේත්‍රවලින් වැඩි වාසිදායක තත්ත්වයක් මතු කරයි.

අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන දුවා දරුවනට තම ඉලක්ක අභියෝග කරා යාමට හැකි මතක ශක්තිය දැනුම වර්ධනය කරන ග්‍රහබල ඇත. විවිධ භාෂා හැකියාවන්ගේ දක්ෂතා මතු කරයි.

සෞඛ්‍යය :- මුත්‍රා ආසාධන කොඳුඇටපෙළේ වේදනා මතුවිය හැකිය. හෘදය සම්බන්ධයෙන්ද ගැටලු මතුවිය හැකියි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න.

අපල අවම කර ගැනීමට ලේ දෝෂ ඇති අයට ශල්‍යකර්මවලට බඳුන් වූ අයට අක්ෂි රෝගීන්ට උපකාර කරන්න. අභිසම්භිධාන පිරිත නිතර කියන්න අසන්න.

ධනු - යහපත් බලාපොරොත්තු සඵල වේ

ගෘහ ජීවිතය :- ලග්නාධිපති ගුරු 5 වැන්නේත් ධර්මකර්මාධිපති යෝගය භාග්‍යස්ථානයේත් පිහිටා තිබීම යහපත්ය. කුජ දිග් බලයෙන් යුතුය. ඒ අනුව ධනු ලග්න හිමි ඔබගේ සියලු යහපත් බලාපොරොත්තු මුදුන් පමුණුවා ගැනීමට හැකි කාල පරිච්ඡේදයකි. පදිංචි ස්ථානීය දියුණුව නව නිවාස දේපළ යාන වාහන හිමි වීමටද භාග්‍ය පවතී. ගෘහ ජීවිතයේ සතුට සැනසීම ඇත.

රැකියා :- දැනට ඔබ කරගෙන යන්නා වූ රැකියාවේ වගකීම් නිසිලෙස ඉටු කිරීමට හැකි ධෛර්ය ශක්තිය ගොඩනැඟේ. කිසිවෙකුටත් ගැති නොවී සිටීමටත් තරුණ ජවයෙන් යුතුව කටයුතු කිරීමටත් ඔබට හැකි වනු ඇත. ලැබීම් සහිත කාලයක් බැවින් යම් ඉතිරියක් කර ගැනීමට උනන්දු විය යුතුයි. විදෙස් රැකියා ඉල්ලුම් කළ අයට සුබපල ගෙන දෙයි.

අධ්‍යාපනය :- ඉගෙනීමෙහි යෙදෙන දරුවන්ට කුමන ක්ෂේත්‍රයක අධ්‍යාපනය ලැබුවත් ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකි කාලයකි. පොත පත දැනුම පරිගණක භාවිතය තුළින් නව දැනුම් සම්භාරයක් උකහා ගැනීමට හැකි වේ. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවනට බාධක අවහිර යෙදෙන්නට හැකි බැවින් දෙමාපිය සහයෝගය අත්‍යවශ්‍ය වේ.

සෞඛ්‍යය :- නිතර නිතර උණ සහ සෙම් රෝග මතුවිය හැකි බැවින් ශීත කළ ආහාර, අවේලාවේ ස්නානය සුදුසු නොවේ.

අපල අවම කර ගැනීමට බෝ මළුව පිරිසිදු කිරීම පමණක් වුවත් සෑහේ. කහපාට මල් පූජා කරන්න. පැන් කළ දමන්න.

මකර - දුර බැහැර ගමන්

ගෘහ ජීවිතය :- පුණ්‍ය කටයුතුවලට මුල් තැනක් දෙමින් ඔබ ගෙදර දොර පැවැත්ම නිසි ලෙස සිදු කරයි. රාහුද සිවු වැන්නේ ගමන් ගැනීම නිසා පාදවල පා ඇඟිලිවල ප්‍රවේසම පිළිබඳව සිතීම වැදගත්ය. මානුෂීය ගුණ ධර්ම ඔබ තුළ පැවතුණත් ඇසුරු කරන අය සමඟ වචන හුවමාරුවද ප්‍රවේසමෙන් සිදු කළ යුතුව ඇත. දුර බැහැර ගමන් යෙදෙන්නට හැකියාව ඇත. අන්‍යයන් ඔබ ගැන ප්‍රශංසාත්මකව කතා කරනු ඇත. ගෘහස්ථ දියුණුව පිණිස වැඩි අවධානයක් යොමු කරයි. ඒවායේ ප්‍රතිඵල භුක්ති විඳින්නට ලැබෙයි.

රැකියා:- රාජ්‍ය අංශවල රැකියාවනට වැඩියෙන් පුද්ගලික අංශයේ රැකියා හා ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන ලද හැකි කාලයකි. පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවලට වැඩිපුර යොමුවන කාලයක් ද වේ. කෘෂිකාර්මික භෝග වගාවද පල ප්‍රයෝන ගෙන දෙයි.

අධ්‍යාපනය :- ව්‍යාපාර, අධ්‍යාපනය, කලාව, සංගීතය, නර්තනය වැනි විෂයන්ට වැඩි නැඹුරුතාවයක් පෙන්වන අතර දරුවන්ගේ එම හැකියාවන් වර්ධනය වන කාලයකි. උසස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ ගණිතමය හැකියාව වැඩි වර්ධනයක් දක්වයි. විභාගවලින් ජයග්‍රහණ ලබයි.

සෞඛ්‍යය :- අක්ෂි රෝග, පාදවල වේදනා, රක්තවාත වැනි අසනීපවලට ඉඩ ඇත. අපල අවම කර ගැනීමට සෙනසුරාදා දිනය නිර්මාංශව සිට කපුටන්ට සහ තිරිසන් සතුනට ආහාර ජලය දෙන්න. රතන සූත්‍රය උදේ සවස කියන්න, ශ්‍රවණය කරන්න.

කුම්භ - අභියෝගවලට නොබියව මුහුණ දෙයි

ගෘහ ජීවිතය :- ගෘහස්ථ ජීවිතයේ අවිවේකය බලපවත්වන බැවින් යම් යම් ගැටලු මතු වීමට ඉඩ ඇත. එහෙත් අත් නොහැර අභියෝගවලට මුහුණ දෙයි. චිත්ත ශක්තිය ධෛර්ය නොනැසී පවත්වාගෙන යයි. ගෙදර දොර දියුණුව පිණිස අදාළ වැඩ කටයුතු සියල්ල කර ගනී. සහෝදර බැදීම් වර්ධනය වේ. නවතා තිබු වැඩ නැවත ආරම්භ කරයි. ව්‍යාපාරික ස්ථාන කෘෂිකාර්මික කටයුතුවල ප්‍රගතිය පිණිස උනන්දු වෙයි.

රැකියා :- මැණික්, ස්වර්ණාභරණ, කෘෂිකාර්මික අංශවලින් ලාභ ප්‍රයෝජන වැඩිපුර හිමිවේ. සුඛෝපභෝගී භාණ්ඩ රෙදිපිලි අලෙවිය මේ කාලය තුළ පල දරයි. ඔබ දැනට කරගෙන යන රැකියා වෙනුවෙන් ඇවිදිලි වැඩි වේ. කම්කරු ජනතාවට නිසි ඇගයීමක් හිමි විය යුතු බැවින් එම ක්ෂේත්‍රවල නියළෙන සේවකයනට සාධාරණ වැටුප් ලැබෙනු ඇත.

අධ්‍යාපනය :- ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා සියලුම දරුවන්ට සුබඵල පමුණුවන ග්‍රහචාරයක් දක්නට ලැබෙයි. ඉංග්‍රීසි අධ්‍යාපනය, පරිගණක තාක්ෂණය වැනි අංශවල පිබිදීමක් දක්නට ලැබෙයි.

සෞඛ්‍යය :- උෂ්ණාධික රෝග නහර ගැටගැසීම් ආදියේ වේදනා ගෙන දෙයි. සෙම් රෝග හටගනී. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නොසලකා හැරීම ඔබගේ ස්වභාවයයි. ඒ ගැන උනන්දු වන්න.

අපල අවම කරගත යුත්තේ ඒරාෂ්ඨටකයක්ද පවතින බැවිනි. සෙනසුරාදා දිනය නිර්මාංශ වන්න. නුග කොළ මත පහන් තබා බෝධිපූජා සිදු කරන්න. විෂ්ණු දෙවියන්ට පිං දෙන්න.

මීන - විදෙස් ගමන් සාර්ථක වේ

ගෘහ ජීවිතය :- ආර්ථික අපහසුතාවයන් මඟ හැරී යන ඔබගේ කුටුම්බ සංරක්ෂණය හොඳින් සිදු කෙරෙන කාල සීමාවකි. යුග දිවිය තුළ යම් යම් මතභේද ඇතිවන මුත් ඒවා තාවකාලික වේ. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු පල දරයි. විදෙස්ගත හිත මිතුරන්ගෙන් උදවු උපකාර පවතින අතර විදෙස්ගත රැකියාවන්ට ඉල්ලුම් කර තිබුණේ නම් ඒවාටද භාග්‍ය ඇත. දරුපල විවාහ ආදියේ ප්‍රමාද වීම් පැවතුණේ නම් මේ කාල පරිච්ඡේදය සුබපල උදා කර දෙයි. වාසනාවන්ත කාලයකි.

රැකියාව :- විශේෂයෙන් දුවා දරුවන් රැකියා සඳහා හෝ විදේශ ගමන් බලාපොරොත්තුව සිටියේ නම් ඒවාට සුබ කාලයකි. ඇවිදිලි සහිත කාල වකවානුවක් බැවින් ඔබ දැනට කරගෙන යන වෘත්තිය තුළ කැපවීමක් කරන්නට සිදු වෙයි. ව්‍යාපාරික අංශවලට සුබ පල උදාකරයි. ඒවායින් ඔබ බලාපොරොත්තු වන ආකාරයේ ලාභ ප්‍රයෝජන අත් කර ගැනීමට හැකි වේ. කෘෂිකාර්මික කටයුතු පිළිබඳ විශේෂ දියුණුවක් ඇත.

අධ්‍යාපනය :- ඉගෙනීමෙහි යෙදෙන දරුවන්ගේ කලා හැකියාවන්ට ඇගයීම්වලට ලක්වෙයි. එම දක්ෂතා වැඩි දියුණු වෙයි. ඉංග්‍රීසි අධ්‍යාපනය වෙනත් භාෂා හැකියාවන් වර්ධනය වේ. උසස් විභාග ජයග්‍රහණ කිරීමට අවශ්‍ය දැනුම මතක ශක්තිය ගොඩනැඟෙයි.

සෞඛ්‍යය :- ලේ අඩුකම, හෘද රෝග, චර්මගත රෝග ඇති විය හැකිය.

අපල අවම කර ගැනීම සඳහා කහපාටට හුරු බෙලිමල්, රණවරා වැනි පාන වර්ග සකසා ගිලන්පස තබන්න. භික්ෂුන් වහන්සේලාට පිළිගන්වන්න.

Comments