උපන් දවසෙන් හෙළි වන ඔබේ ගතිගුණ | සිළුමිණ

උපන් දවසෙන් හෙළි වන ඔබේ ගතිගුණ

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී විදුහල්පති

උපුල් ජයශ්‍රී ද සිල්වා

දවස් හතක් එකතු වෙලා "සතිය" සති හතරක් එකතු වෙලා හැදෙන මාසය, මාස දොළසක් එකතු වී හැදෙන අවුරුද්ද නැතිනම් වර්ෂය ලෝකයේ දින වකවානු මනින්න යොදා ගන්නා නිශ්චිත ක්‍රමවේදය ලෙස සැලැකේ. ඒවා කවදාවත්ම කොතැනකදීවත් වෙනස් වන්නේ නැත. එසේම ඒවා සෑම ජන කොට්ඨාසයකටම සෑම රටකටම මෙන්ම සෑම කාලයකටම පොදු වුණු බෙදීමකි. ඉතින් මේ ලෝකේ උපත ලබා ඉන්න ඕනෑම කෙනෙක් ඉපදෙන්නෙ මේ සතියේ දින හතෙන් එකක් තුළය. හැබැයි ඒ කුමන දිනයක උපන්නත් ඒ අයට සුවිශේෂ ගතිගුණ සහ හැඩරුව ආදිය පිහිටන බව ඔබ නොදන්නවාත් ඇති. ඒ එම දිනය අනුවය. උදාහරණයක් සඳහන් කළහොත් සඳුදා උපන් කෙනෙකුට පිහිටන විශේෂ හැඩරුව සිකුරාදා උපන් අයට ඇත්තේ නැහැ. සෙසු දවස්වල තිබෙන ගුණංගත් එසේමය.

* ඔබ උපන්නේ සඳුදා (සඳු) දිනයක නම්

ඔබේ දෑස් අන්‍යයන්ගේ ආකර්ෂණයට ලක් වේ. බොහෝ අය ඔබ දැක්ක ගමන් කියයි "අනේ ඔයාගේ ඇස් දෙක හරිම ලස්සනයි" "එයාගේ ඇස් හරි අමුතුයි" කියා. ඒ තරමටම ඔබට හිමි වන්නේ සුවිශේෂි නෙත් යුගලකි. වැඩි වශයෙන් සුදු පාට ඇඳුම් පැලඳුම් අඳින්නත් සඳුදා උපන් ඔබ වඩා කැමැත්තක් දක්වයි. මේ අයගේ හිසකෙස් ඉතා තුනිවට පිහිටනවා. අනෙක් අයගේ සිත් පැහැර ගන්නා ආකාරයට කතා කිරීමේ හැකියාව ඇති මේ අය කිසිම විටෙක කිසිම කෙනෙක්ගේ සිත් රිදවා තලා පෙළා කටයුතු කරන්නට කැමති නැහැ. ඉතා ඥානවන්ත අය වුවත් මේ අය සෑම විටෙකම තමාට වඩා වැඩිමහල් කාන්තාවන් සහ පුරුෂයන් පිළිබඳ හිතේ ප්‍රේමයක් ඇතිකර ගන්න පෙලඹේ. ඒ වගේම මේ අය සෙම් රෝගවලට ගොදුරු වන්නෙත් ඉතාම පහසුවෙනි.

* ඔබ උපන්නේ අඟහරුවාද හෙවත් කුජ දිනක නම්

ඔබ ඉතා රෞද්‍ර පෙනුමෙන් යුතු නෙත් සඟලකට උරුමකම් කියන්නෙකි. මේ අයගේ බැල්ම හරිම අසාමාන්‍යය. ඇස් දෙක රතු පාටට හුරු මේ අයගේ ශරීරය එතරම් උසින් වැඩී නැත. ස්වභාවයෙන් ශරීරය තරමක් මහතය. එහෙත් වයසට වඩා තරුණ පෙනුමකින් හෙබි මේ අයගේ සිතිවිලි නම් ඉතාම නපුරුය. මොන දේ වුවත් පුංචි දේටත් කෝප වන මේ අය උපතින්ම ගෙන එන සටන්කාමිත්වය තුළත් හැම දේටම එඩිතරව ඉදිරියට යන්නේ ඉතා ශක්තිමත් අය විදියටය.

* ඔබ උපන්නේ බදාදා (බුද) දිනක නම්

මේ අය ඉතා සැහැල්ලු සිත් ඇති හරිම සරල සාමාන්‍ය ජීවිතයක් ගත කරන පිරිසකි. ඉතාම කාරුණික වචනවලින් හැම විටකම කතා කරන මේ අයගේ සිත් ඉතාම පහසුවෙන් තමන් වෙතට ඇද ගැනීමේ ශක්තිය තිබේ. ඉතාම නිරහංකාර ගතිගුණ ඇති අය විදියට හඳුනා ගැනේ. සාහිත්‍යයට හා ලේඛන කලාවට කැමැත්තක් දක්වන මේ අය ඒවාට දක්ෂතා ද දක්වයි. විවිධ ශාස්ත්‍ර ගැන ඉගෙන ගන්න විශාල උනන්දුවක් දක්වන මේ අය විශේෂයෙන්ම කැමැති ගුප්ත ශාස්ත්‍ර වගේ දේවලට හැම වෙලාවෙම වංචා සහගතව කටයුතු කරන බදාදා දවසේ උපදින අයගෙ චාටු කතාබහට අනෙක් අය රැවටෙන්නෙත් ඉතාම පහසුවෙනි.

* ඔබ උපන්නේ බ්‍රහස්පතින්දා (ගුරු) දිනක නම්

මේ අයට උපතින්ම හිමි වන්නේ දිදුලන පැහැපත් සමකි. කළු පැහැයෙන් යුතු වුවත් ඔබේ සම දැකීමට ප්‍රියමනාප පැහැපත් විදියට පිහිටා තිබේ. හිසකෙස් තඹ පැහැයට හුරු මේ අය ඥානවන්තය. සෑම දෙයක් ගැනම හරිම බුද්ධිමත්ව දුරදිග බලා කටයුතු කරන මේ අය ඉතා ධාර්මික දිවියක් ගත කරයි. සන්සුන් ගති ලක්ෂණ ඇති බ්‍රහස්පතින්දා උපන් අයට නම් සෙම් රෝගවලින් පීඩාවිඳින සෙම් සහිත සිරුරක් හිමිය.

* ඔබ උපන්නේ සිකුරාදා (කිවි) දිනක නම්

මේ අයට උපතත් සමඟම හිමිවන වටිනා දායාදයක් ලෙස දීප්තිමත් නෙත් සඟල සැලැකිය හැකිය. මේ ඇස් දීප්තිය නිසා අන් අයගේ ආකර්ෂණය මේ අය වෙත නිරන්තරයෙන් හිමිවේ. ඔබ සිකුරාදා දවසක ඉපදුණු ගැහැනු ළමයකු නම් ඔබ ඉතාම වාසනාවන්තය. මොකද ඔබට දිගු වරලසකට හිමිකම් කියන්න පුළුවන්කම තිබේ. පිරිමි කෙනෙක් වුවත් ඔබේ කොණ්ඩය ඉක්මනට දිගට වැඩේ. සෑමවිටෙම විච්චූරණ වැඩවලට මහත් සේ කැමැති මේ අයට පළල රවුම් මුහුණක් හිමිය. කටුක ගතිය වැඩි නිතර විනෝදයෙන් කල් ගෙවන මොවුන් කැපී පෙනෙන්නත් හරිම කැමැතිය.

* ඔබ උපන්නේ සෙනසුරාදා (ශනි) දිනක නම්

මේ අයගෙත් හිසකෙස් ඉතා දිගට වැඩේ. අත්පා දිග හීන්දැරි සිරුරකට හිමිකම් කියයි. මේ අයගේ දත් පිහිටන්නේ පළලින් වැඩිවන විදියටය. කිසිම දෙයක් ගැන තැකීමක් නොකරන මේ අයගේ ජීවිතය ගත කරන්නේ ඕනෑවට එපාවට ලෙසිනි. ඒ නිසාම බොහෝ දුක් කරදරවලට මුහුණ දෙන්නට මේ අයට සිදු වෙයි. එහෙත් මේ අය අන් අය අනුකරණයේදී නම් හරිම හපන්කමක් පෙන්වයි.

* ඔබ උපන්නේ ඉරිදා (ඉරු) දිනක නම්

මේ අයට තියෙන්නෙ හතරැස් මුහුණත් ඇස්වල පෙනුමත් ඒ තරම් ප්‍රසන්න නැත. ධෛර්යවන්ත ගති ලක්ෂණවලින් යුක්ත මේ අය කිසිම දෙයක් ඉදිරියේ කඩා වැටෙන්නේ නැත. ඒ නොසැලෙන ශක්තිය සේම මේ අයට ස්ථිර අදහස් සහ ස්ථිර ප්‍රතිපත්ති තියෙනවා. මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් හිමි මොවුන් ඉතා ගුණගරුක අයය. බුද්ධිමත් වුවත් සමහර වෙලාවට නපුරු සිතිවිලි සේම කෲර ගතිවලිනුත් සිත පිරි තියෙන්නට පුළුවනි.

 

Comments